fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යල කන්නයට රසායනික පොහොර ගේන්න ණයවර ලිපිත් ඇරලා

    යල කන්නයට රසායනික පොහොර ගේන්න ණයවර ලිපිත් ඇරලා

    ඉදිරි යල කන්නය සඳහා අවශ්‍ය රසායනික පොහොර ආනයනය කර කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වාරිමාර්ග කටයුතු අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අදාල නිලධාරීන් හට උපදෙස් දී තිබේ.

    එමෙන්ම යල කන්නය සඳහා අවශ්‍ය ඝන කාබනික පොහොර හා දියර පොහොර හිඟයකින් තොරව, කඩිනමින් ලබා දෙන බව ද හෙතෙම සඳහන් කළේ පොහොර සැපයුම්කරුවන් හා අමාත්‍යාංශ නිලධාරීන් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පවත්වන ලද සාකච්ඡාවකට එක් වෙමිනි.

    යල කන්නය ඉලක්ක කරගනිමින්, රසායනික පොහොර ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි මේ වන විට ද නිකුත් කර ඇති බව සඳහන් කරන ලද අමාත්‍යවරයා, එම පොහොර ආනයනය කොට රජයේ පොහොර සමාගම් හරහා කඩිනමින් බෙදාහැරීමට කටයුතු කරනු ලබන බව ද පෙන්වා දුන්නේය.

    කාබනික පොහොර සැපයුම්කරුවන් පෙන්වා දුන් ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සැපයුම්කරුවන්ගේ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය හරහා නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇති බවයි.

    පසුගියදා ආරම්භ කළ “සෞභාග්‍යා ගෙවතු වගා සංග්‍රාමය” වැඩසටහනෙහි ප්‍රගතිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් වෙත වාර්තාවක් ලබා දෙන මෙන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබා දුන්නේය.

    මෙම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, අමාත්‍යාංශ ලේකම්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්, කාබනික පොහොර සැපයුම්කරුවන්,රසායනික පොහොර සැපයුම්කරුවන් සහ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දිස්ත්‍රික් ලේකම්වරැ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු පිරිසක් ද සහභාගි වූහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.