fbpx
තවත්
    මුල් පිටුවspecialසහරාන්ගේ වාහනය හිටපු මහජන ආරක්ෂක ඇමති පදින්නේ ඇයි?

    සහරාන්ගේ වාහනය හිටපු මහජන ආරක්ෂක ඇමති පදින්නේ ඇයි?

    පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කල්ලියේ ප්‍රධානියා ලෙස සැළකෙන සහරාන් හෂීම් භාවිතා කළ ලෑන්ඩ් කෘසර් ජිප් රථය, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතාගේ භාවිතයට ගෙන තිබීමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතුව තිබේ.

    මාස දෙකකට පෙර සිට එම වාහනය සරත් වීරසේකර හිටපු අමාත්‍යවරයා භාවිතා කළ වාහන අතර තිබූ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ද තහවුරු කළේය.

    මෙම මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනවලින් සොයාගත් එකක් බවද එම නිලධාරියා සඳහන් කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පැවති මෙම රථය රජයට පවරාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ තිබුණු බවත් එම නිලධාරියා පැවසීය.

    පසුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයට එම රථය ලබාගෙන වෙනත් රථ දෙකක් ඒ වෙනුවෙන් ලබාදී ඇති බවද එම නිලධාරියා කීය.

    මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ගත් එම රථය භාවිතා කළේ එවකට සිටි මහජන ආරක්ෂක අමාත්‍යවරයා බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

    සහරාන් භාවිතා කළ වාහනය මහජන ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදෙමින් ඒ වෙනුවට ජිප් රථයක් සහ කැබ් රථයක් ලබාදෙන බව පොලිස් ගරාජයෙන් දැනුම් දුන්නද මෙතෙක් එම වාහන දෙක ලැබී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    මෙම වාහනයට අමතරව තවත් වාහන කිහිපයක්ම පාස්කු ප්‍රහාරකයන් සතුව තිබී සොයාගත් ඒ අතරින් මෙම වාහනය ඇතුළු කිහිපයක්ම රජයට පවරාගෙන පොලීසියේ පරිහරණය සඳහා මුදාහැර ඇති බවත් එම නිලධාරියා කීය.

    මෙම වාහනය භාවිතා කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිස් කණ්ඩායම විසිනි. විමර්ශන කටයුතු සඳහා ගමන් බිමන් යාමට යොදාගත් මෙම වාහනය දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචිව සිටි වැල්ලම්පිටිය තඹකර්මාන්ත ශාලවේ හිමිකරු වූ ෂැංග්‍රිලා බෝම්බකරුට අයත් එකක් බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කරනු ලැවේ මෙම වාහනය රාජසන්තක කල එකක් බවය. මෙසේ රාජසන්තක කල ත්‍රස්තවාදීන් සතුව සොයාගත් වාහන බොහොමයක් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණයේ ඇති බවද ඔහු පැවැසීය. මෙම වාහනයත් එවැනි එකක් බවත් මේ වන විට එම වාහනය ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පරිහරණය සඳහා මුදාහැර බව පොලිස් ගරාජයෙන් තමාට දැනුම් දුන් බව නිහාල් තල්දූව මහතා කීය.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාව මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට සම්බන්ධකර ගැනීමට උත්සහ දැරුවත් ඔහු විශේෂ ආරක්ෂක රැස්වීමක සිටි බැවින් එය ව්‍යාර්ථ විය.

    පාරිලමේන්තුවේද මේ ගැන කතාබහක් ඇති වූ අතර එහිදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පිළිතුරු දෙමින් සඳහන් කරනු ලැබුවේ තමන් එම වාහනය පරිහරණය නොකල බවය. ඒ ගැන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් විමසූබවත් එම වාහනය විශේෂ කාර්ය බලකායට මුදා හරින ලද එකක් බව ඔහු පැවසූ බවත් මන්ත්‍රීවරයා කීය.


    update – අද පස්වරුවේ මේ පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.