fbpx
තවත්
    මුල් පිටුවspecialප්‍රියන්ත කුමාර ඝාතනයට පාකිස්ථානයේ 6කට මරණ දඬුවම - 7ක් මියෙන තුරු හිරේට

    ප්‍රියන්ත කුමාර ඝාතනයට පාකිස්ථානයේ 6කට මරණ දඬුවම – 7ක් මියෙන තුරු හිරේට

    පාකිස්ථානයේ සියල්කොට්හි දී ශ්‍රී ලාංකිකයකු වූ ප්‍රියන්ත කුමාර අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් 6 දෙනෙකුට මරණ දඬුවම නියම කිරීමට ලාහෝර් හි ත්‍රස්ත විරෝධී අධිකරණය පියවර ගෙන තිබේ.

    මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 7 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇතැයි එරට වාර්තා පවසයි.

    තවත් සැකකරුවන් 76 දෙනෙකුට වසර 2 ක සිරදඬුවම් පමුණුවා තිබේ.

    මෙම ඝාතන නඩුවේ පුද්ගලයන් 89 දෙනෙකුට අධිචෝදනා ගොනු කෙරුණි.

    ඉන් නව දෙනෙකු බාලවයස්කරුවන් ය.

    පසුගිය වසරේ, පාකිස්ථානයේ පන්ජාබ්හි සියල්කොට් නගරයේ කර්මාන්තශාලාවක කළමණාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි 48 හැවිරිදි ශ්‍රී ලාංකික පුරවැසියෙකු වන ප්‍රියන්ත කුමාරට කුරිරු මැර පිරිසක් පහර දී මරා දමා ගිනි තැබූහ.

    එවකට අගමැති ඉම්රාන් ඛාන් මෙම ප්‍රචණ්ඩත්වය හෙළා දකිමින් අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන බවට සපථ කළේය.

    ත්‍රස්ත විරෝධී අධිකරණය විසින් කොට් ලක්පට් බන්ධනාගාරයේ නඩු විභාගය අවසන් කරන ලදී.

    දිනපතා විභාග වූ මෙම නඩුවේ පැමිණිල්ල සහ විත්ති පාර්ශ්වය යන දෙපාර්ශ්වයම තම දේශන අවසන් කර තිබුණි.

    විමර්ශන නිලධාරීන්ගේ සහ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ද සටහන් කර ගෙන තිබුණි.

    විනිසුරු නතාෂා නසීම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති නඩු විභාගයේදී පැමිණිල්ල විසින් ඇසින් දුටු සාක්ෂිකරුවන් 46 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

    ඊට අමතරව ඝාතනය සිදුවූ ස්ථානයේ සවිකර තිබූ සීසීටීවී කැමරා 10ක දර්ශන මෙන්ම විත්තිකරුවන් 55 දෙනෙකුගේ ජංගම දුරකථනවලින් ලබාගත් වීඩියෝද සාක්ෂි ලෙස ඉදිරිපත් කර තිබේ.

    රජයේ අභිචෝදක අබ්දුල් රවුෆ් වත්තූගේ ප්‍රධානත්වයෙන් යුත් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් විමර්ශනය සහ නඩු විභාගය අවසන් කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.