fbpx
තවත්
    මුල් පිටුවspecialඅරගලය ජයටැඹ කරා කෙසේ ගමන් කරමුද?

    අරගලය ජයටැඹ කරා කෙසේ ගමන් කරමුද?

    අපි සැම ජීවන අරගලයක නිරතුරුවම නිරත වන්නෙමු. ජීවිතය පවත්වා ගැනීමටත්, ජීවිතයේ අපේක්ෂිත  අභිමතාර්ථ සාක්ෂාත් කරගැනීමටත් සැවොම අඩු වැඩි වශයෙන් අරගල කරති. ජයග්‍රාහී අරගලයක් නොනිමි ගමනක් ලෙස හැඳින්විය හැක. කෙටිකාලීන අරමුණු ලඟා කරගැනීමෙන්  බොහෝවිට අරගලය මන්දනය කරගන්නෙමු. දිගු කාලීන අරගලයක සරතැස නිවාලීම, අරගලයේ සැබෑ අරමුණ කෙරේ තීක්ෂණ දැක්ම සහ අප්‍රතිහත ධෛර්යය අත්‍යවශ්‍යය වේ.

    සමහර විට අරගලයක් සාර්ථක කර ගැනීමට කෙටිකාලීන අරමුණු සෙමෙන් ජයග්‍රහණය කිරීමටද, විටෙක වේගවත්ව ගමන් කිරීමටද සිදුවේ. අරමුණු ලඟා කරගැනීමේ වේගය හුදු තම උත්සාහය පමණක් මත රඳා නොපවතී. එය තමා සතුව පවතින සම්පත්, දක්ෂතා වැනි අභ්‍යන්තර සාධක මෙන්ම, අතිමහත් බාහිර සාධක මත රඳා පවතී. අරගලයක තාවකාලික ජය පරාජය අරගලයේ දිශානතිය කෙරේ යම් බලපෑමක් තිබුනද දක්ෂ අරගලකරුවා අටලෝ දහමෙන් කම්පා නොවී අඛණ්ඩව අරගලය රැගෙන යයි.

    උපතින්ම අරගලකරුවෙක් වන සත්‍යගවේෂී අරගල පිලිබඳ තම මතය මෙසේ දක්වයි

    1. අරගලය දිගු ගමනකි. එය අප්‍රතිහත ධෛර්යය සහිතව යා යුත්තකි.
    2. අරගල මාවත සුමට නොවූවකි. අටලෝ දහමෙන් කම්පා නොවී අඛණ්ඩව යායුතුය.
    3. අරගලය පොදු වූවක් වුවද, අරගලකරුවා ගමන් කරන්නේ තනිවමය.
    4. අරගලය බුද්ධිමත්ව කළයුතුය. නැතහොත් ලෝකයා විසින් අරගලය විනාශ කරනු ඇත.
    5. අරගලය සඳහා නිශ්චිත අරමුණක් තිබිය යුතුය. නැතහොත් වෙනත් අරමුණු වලින් මූලික අරමුණ වැසී යනු ඇත.
    6. අරගලය පහසු දෙයක් නොවේ. අපහසුතා දරමින් ලෞකික ලෝකය වෙනස් කලේ අරගල කරුවන්මය. ලෝකෝත්තර අරගලය වන නිවන් මාර්ගයේ තනිවම ගමන් කරන්නේ ද අරගල කරුවන්මය.
    7. ලෞකික අරගලයන් සමග ලෝකෝත්තර අරගලය කළ නොහැකි යැයි සිතීම මිත්‍යාවකි. එහෙත් ලෞකික අරගලයට වඩාත් යොමුවීමේදී ලෝකෝත්තර අරගලය අපට අමතක වීම ස්වාභාවිකය. එය ලෝක ස්වභාවයයි. ලෞකික අරගලය අවසන් කොට, ලෝකෝත්තර අරගලය සිදුකිරීමට තැත්කිරීම ප්‍රායෝගික නොවේ. හැකි පමණින් ලෞකික අරගලය සමග ලෝකෝත්තර අරගලය සමගාමීව සිදුකිරීම නැණවතාගේ හැකියාවයි. 

    ලෝකෝත්තර අරගලය

    ලෞකික අරගලයට නිසි මාවතක් නොපෙනුනද, ලෝකෝත්තර අරගලයට ඇත්තේ එකම මාවතකි. ලෞකික හෝ ලෝකෝත්තර  හෝ වේවා අරගලය සාර්ථක කර ගැනීමට ඉහත දැක්වූ ලක්ෂණ සිහියේ තබාගැනීම සහ එළඹගත් සිහියෙන් යුතුව කටයුතු කිරීම වැදගත් ය. එය ලෞකික මෙන්ම ලෝකෝත්තර අරමුණු සාක්ෂාත් කරගැනීමට වැදගත්වේ.

    ලෞකික අරගලයට විවිධ මාවත් තිබුනද, ලෝකෝත්තර අරගලය සඳහා ඇත්තේ එකම මාවතකි. එනම්, ලෝකය සහ ලෝකය පිළිබඳව තමා මවාගත් සිතුවිලි මායාවක් ලෙස දැක සිහියෙන් ඉවත් කිරීමයි. එලෙසටම “මේ මොහොතේ” ජීවත් වීමයි. ලෝකෝත්තර අරගලය සිදුකරන නැණවතා, ලෝකයේ අසාරවත්කම සහ වෙනස්වන සුළු බව (අනිත්‍යය), පුද්ගල ස්වභාවයක් නොමැති බව (අනාත්මය) සහ ඒ දැක්ම තුලින් දුක් සහගත සසර ගමනට නැවතුම් තිත තබයි. එනම් මෝහය (නොදැනීම හෙවත් මෝඩකම) නිසා සසර ගමනට ඇලීම් (තන්හාව) සහ ගැටීම් (ද්වේශය) තුලින් රැස් කරගත් ගමන් වියදම් යථාභූත ඥානයෙන් බැහැර කර ගැනීමෙනි.

    ලෞකික අරගලයට යොමුවන අප සැමට, තම ලෞකික සහ ලෝකෝත්තර අරගලය සාර්ථක ව ජයගැනීමට ලැබේවා.

    එඤ්ඤං

    සත්‍යගවේෂී
    (සත්‍යගවේෂී නාමරූප ධර්මතාවක් ලෙස පමණක් මෙත්සිතින් දකිත්වා)

    සත්‍යගවේෂී

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.