fbpx
තවත්
    මුල් පිටුවspecial'යකුසා' ජාත්‍යන්තර අපරාධ ජාලයේ නායකයා අමෙරිකාවේදී අත්අඩංගුවට

    ‘යකුසා’ ජාත්‍යන්තර අපරාධ ජාලයේ නායකයා අමෙරිකාවේදී අත්අඩංගුවට

    අස්ථාවර රටවල ආණ්ඩු විරෝධී කැරලිකරුවන්ට දීම සඳහා ගොඩබිමේ සිට ගුවනට එල්ලකරන මිසයිල ප්‍රහාරක ලබාගැනීමට තැත් කළ බව කියන ජපානයේ “යකුසා” නම් සංවිධානාත්මක අපරාධ ජාලයේ නායකයෙකු සහ තායි සැකකරුවන් තිදෙනෙකු අමෙරිකාවේ මෑන්හැටන්හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය 4 සහ 5 දිනවලදී මෙලෙස අත්අඩංගුව‍ෙ ගෙන ඇත්තේ ටකේෂි එබිසාවා, සොම්පාක් රුක්රසරනී, සොම්පොබ් සිංහසිරි, සහ සුක්සාන් ජුල්නාන් යන අයයි.

    අමෙරිකාවේ නිෂ්පාදිත බර අවි ඇතුළු ආයුධ මිලට ගැනීම, ගනුදෙනු කිරීම, මත්ද්‍රව්‍ය සහ අවි ජාවාරම්, මුදල් විශුද්ධිකරණය චෝදනා අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි අමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.

    අමෙරිකානු මත්ද්‍රව්‍ය බලාත්මක කිරීමේ පරිපාලන නියෝජිතයන් විසින් එබිසාවා ගැන ඇසගසාගෙන සිටීම සහ පසුපස හඹායාම අරඹන්නේ 2019 සිට ය. ඒ ජාත්‍යන්තර වශයෙන් මහාපරිමාණ අවි ආයුුධ, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට ය.

    යකුසා යනු ආසියාවේ, යුරෝපයේ සහ ඇමරිකාවේ විසිරී ඇති ඉතා සංවිධානාත්මක, ජාත්‍යන්තර අපරාධ පවුල් ජාලයකි. අවි ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම්, වංචා සහ මුදල් විශුද්ධිකරණය, ගණිකාවන් විකිණීම, තහනම් භාණ්ඩ ජාවාරම් ආදි විවිධ අපරාධ ක්‍රියාකාරකම්වල ඔවුන් නිරත වේ.

    මියන්මාරයේ කැරලිකාර යුනයිටඩ් වා ප්‍රාන්ත හමුදාවෙන් හෙරොයින් සහ මෙතම්ෆෙටමින් විශාල ප්‍රමාණයක් රහසිගත ඒජන්තයෙකුට විකිණීමට මෙම පුද්ගලයින් කටයුතු කර ඇත.

    මේ අතර, එබිසාවා නමැත්තා උත්සහ කර ඇත්තේ රටවල් කිහිපයක දිගුකාලීනව ආණ්ඩු සමඟ සටන් කරමින් ප්‍රතිවිරුද්ධව කැරලි ගසන කණ්ඩායම් කිහිපයකට ස්වයංක්‍රීය අවි, රොකට්, මැෂින් තුවක්කු සහ ගොඩබිමේ සිට ගුවනට මිසයිල මිලදී ගැනීමට ය.

    විමර්ශනය අතරතුර, එබිසාවා වෙත ‘UC-1’ යනුවෙන් හඳුන්වන රහසිගත DEA නියෝජිතයා හඳුන්වා දී ඇත.

    ජපානය, තායිලන්තය, බුරුමය, ශ්‍රී ලංකාව සහ අමෙරිකාව පුරා විහිදී ඇති යකුසා ජාත්‍යන්තර අපරාධ ජාලයේ සහකරුවන්ට මත්ද්‍රව්‍ය සහ ආයුධ ජාවාරම්කරුවෙකු ලෙස පෙනී සිටිමින් රහසිගත DEA නියෝජිතයෙකු (‘UC-1’) එබිසාවා වෙත හඳුන්වා දෙන ලදී.

    ‘එබිසාවා සහ ඔහුගේ සම-කුමන්ත්‍රණකරුවන් විසින් රහසිගතව කටයුතු කරමින් සිටි DEA නියෝජිතයා (අමෙරිකාවේ ඖෂධ බලාත්මක කිරීමේ පරිපාලන නියෝජිතයකු) සමඟ අධික බර අවි මිලදී ගැනීමට සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් විකිණීමට ගනුදෙනු කළා. ඊට අධිචෝදනා අපි ඔවුන්ට එරෙහිව ගොනු කරනවා’ යැයි අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම ගනුදෙනුවේ මත්ද්‍රව්‍ය තොග නිව්යෝර්ග් වීදිවලින් ගමන අවසන් වන නමුත් බර අවි තොගය සහිත නැව අස්ථාවර රටවල්වල කැරලි කණ්ඩායම් සඳහා නැව්ගත කිරීමට ඔවුන් තීරණය කර තිබූ බව ද අමරිකාව පවසයි.

    යකුසා එබිසාවා යනුු ජපානය පදනම් වූ යකුසා සංක්‍රාන්තිරාජ්‍ය සංවිධානාත්මක අපරාධ ජාත්‍යන්තර ජාලයක්.

    ජුල්නාන් තායි-අමෙරිකානු පුරවැසියෙක් වන අතර සිංහසිරි සහ රුක්රසරනී තායි ජාතිකයෝය.

    විමර්ශනයේදී එබිසාවා විසින් රහසිගත DEA නියෝජිතයාට හෙළිකර ඇත්තේ ජුල්නාන් තායි ගුවන් හමුදාවේ හිටපු ජෙනරාල්වරයකු බවයි.

    එමෙන්ම රුක්රසරනී විශ්‍රාමික තායි හමුදා නිලධාරියකු බවය.

    කෙසේවෙතත් නිව්යෝර්ක් හිදී අත්අඩංගුවට ගන්නා විට ඔවුන් සිව්දෙනා අමෙරිකාවට පැමිණියේ කෙසේද යන්න අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පැහැදිලි කර නැත.

    ‘යකුසා වැනි ජාත්‍යන්තර අපරාධ ජාලයන්ගේ පුළුල් පැතිරීම සියලු ප්‍රජාවන්ගේ ආරක්ෂාවට සහ සෞඛ්‍යයට බරපතල තර්ජනයක්’ යැයි DEA පරිපාලක ඈන් මිල්ග්‍රම් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

    තමා උගුලකට හසුව ඇති බව නොදැන DEA නියෝජිතයන් රහසිගතව ගනුදෙනු කිරීමට උත්සාහ කළ බව කියන මෙම සැකකරුවන් සැලසුම් කර ඇත්තේ අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද බර අවි තොගයක්, ඇෆ්ගනිස්ථානයේ පිහිටි අමෙරිකානු හමුදා මූලස්ථානවලින් සොරාගෙන ලබාගැනීමට සහ නිව්යෝර්ක් වෙළෙඳපොළෙට මත්ද්‍රව්‍ය තොග බෙදාහැරීමට ය.

    57 හැවිරිදි ජපන් ජාතිකයකු වන එබිසාවා, බිහිසුණු ජපන් අපරාධ කල්ලි ජාලයක් වන යකුසා හි නායකයෙකි.

    ඔහු අත්අඩංගුවට ගන්නා විටත් බහු ජාතික අපරාධ මෙහෙයුමකට නායකත්වය දුන් බවට විශ්වාස කෙරේ.

    එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ඔහුව හැඳින්වූයේ ආයුධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ විශාල භූමිකාවක් දරන්නකු ලෙසය.

    මෙම අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා, DEA නියෝජිතයන් රඟදක්වා ඇත්තේ මියන්මාර කැරලිකරුවන් සමඟ ගනුදෙනුවේ අතරමැදියාගේ භූමිකාව ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.