fbpx
තවත්
    මුල් පිටුවspecialජනාධිපති ඉවත් කළ හැකි නෛතික පසුබිම

    ජනාධිපති ඉවත් කළ හැකි නෛතික පසුබිම

    ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය හිස් කිරීම ජනතා විරෝධයකින් කළ හැකි ද යන්න ඇතැමුන් විමසන කරුණකි.

    නීතිවේදීන් පෙන්වා දෙන පරිදි මෙරට ඉහළම නීතිය ලෙස ජනතාව පරමාධිපත්‍යයෙන් පිළිගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

    ඒ අනුව කවුරුන් කුමන ආකාරයෙන් ක්‍රියා කළ ද ජනාධිපති ධූරය හිස් වීම සිදුවිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති කරුණු යටතේ පමණකි.

    මේ අනුව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවතම සංශෝධනය වන 20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධුරය හිස් වන අවස්ථා පිළිබඳ කරුණු කීපයක් පවතී.

    එනම් ජනාධිපතිවරයා මියගිය විට, කතානායකවරයා විට තමාගේ අත්සනක් යවනු ලබන ලිපියකින් ජනාධිපතිවරයා තම ධුරයෙන් ඉල්ලා අස් වූවහොත්, ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ව සිටීම නතර වුවහොත් එවිට ද, ජනාධිපතිවරයා විසින් තෝරා පත් කර ගනු ලැබූ තැනැත්තා ස්වකීය ධුර කාලය මාසයක් තුල ආරම්භ කිරීම පැහැර හැරියොත්, ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත්, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම නිෂ්ප්‍රභා බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියෝගයට ලක් කළහොත් ජනාධිපති ධූරය හිස් වෙයි.

    යම් හෙයකින් ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර ජනාධිපති ධුරය හිස් වුවහොත් ඉන් පසු පාර්ලිමේන්තුව තුළින් එක් මන්ත්‍රීවරයෙක් ජනාධිපති ධුරයට තෝරා ගනු ලැබීමට සුදුසුකම් තිබේ. ඔහුට අනුප්‍රාප්ත ජනාධිපතිවරයා ලෙස කියනු ලැබේ. පාර්ලිමේන්තුව තුළින් තෝරා පත් කරගනු ලබන මෙම ජනාධිපතිවරයාට ධුරය දැරිය හැක්කේ ඉතිරිව ඇති ධුර කාල සීමාව සඳහා පමණි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 (1) ආ වගන්තිය දැක්වෙන පරිදි ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පුරප්පාඩු දිනයෙන් පසු හැකිතාක් ඉක්මනින් කළ යුතුය. ඒ සඳහා මාසයකට පසුවීම නොහැකි ය. එමෙන්ම ජනාධිපතිවරයා තෝරා ගත යුත්තේ නීත්‍යානුකූලව රහස් ඡන්දයෙනි. කෙසේ වෙතත් ජනාධිපති ධූරය හිස් වූ පසුව අනුප්‍රාප්ත ජනාධිපතිවරයා දිවුරුම් දීමට පෙර අතරමැදි කාලය තුළ අග්‍රාමාත්‍යවරයා වෙත ජනාධිපති ධුරයේ කටයුතුවල වගකීම පැවරේ.

    එහිදී අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා ඔහු විසින් අමාත්‍ය මණ්ඩලයේ වෙනත් අමාත්‍යවරයකු පත් කළ යුතුය.

    අග්‍රමාත්‍යවරයා දෙවරක් ධුරය දරා ඇති අවස්ථාවකදී 20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මෙම වගකීම නොපැවරෙන අතර එහිදී 40 ව්‍යවස්ථාව අනුව කතානායකවරයා විසින් ජනාධිපති ධුරය දැරීම, බලතල හා කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීම, අනුප්‍රාප්ත ජනාධිපතිවරයා දිවුරුම් දෙන තෙක් ඉටුකළ යුතුය.

    ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝගයක් දෝෂාභියෝගයක් ගෙන එන්නේ නම් ඒ සඳහා යම් කාලයක් ගත වේ. යෝජනා කිරීම, යෝජනා සම්මත කිරීම, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකින් අත්සන් කර දීම, දැනුම්දීම, ශ්‍රේෂ්ඨාධිකරණය නඩුව විභාග කිරීම, යළිත් පාර්ලිමේන්තුවට එම ක්‍රියාවලිය පැමිණීම ආදී දීර්ඝ ක්‍රියාවලියකින් සමන්විතයි. මෙවැනි දෝෂාභියෝගයක් ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාට එවකට ගෙන ආ නමුත් ඒ සඳහා දිගු කාලයක් ගතවිය.

    ඒ අනුව පවතින තත්ත්වය මත ජනාධිපති ධුරය හිස් විය හැක්කේ ජනාධිපතිවරයා සිය අභිමතය පරිදි ඉල්ලා අස් වුවහොත් (ආ.ක්‍ර.ව්‍ය. 38 (1) අ) හෝ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග ක්‍රියාවලියකින් (ආ.ක්‍ර.ව්‍ය.40 (1) ) ආකාරයට හෝ පමණකි.

    ජනාධිපති ධුරය හිස් කිරීම, එලෙස ධුරය හිස්වූ විට අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරාගැනීම සම්බන්ධයෙන් 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ඇති ආකාරය පහත උපුටා දක්වා ඇත.





    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.