fbpx
තවත්
    මුල් පිටුවspecialයුරෝපා ප්‍රතිපත්ති ගැන චීන ජනපතිගේ අපේක්ෂාව

    යුරෝපා ප්‍රතිපත්ති ගැන චීන ජනපතිගේ අපේක්ෂාව

     යුරෝපා පාර්ශ්වය ස්වාධීන ප්‍රතිපත්තියක් ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියට ගෙනයනු ඇතැයි චීන ජනපතිගෙන් අපේක්ෂා පළවේ.

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, යුරෝපා කවුන්සිලයේ සභාපති Charles Michel මහතා සහ යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය සමග සාකච්ඡාවක් පවත්වයි.

    ඊයේ (01) රාත්‍රි එම සාකච්ඡාව වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ.  චීනය හා යුරෝපා සංගමය අතර පුළුල් පොදු අවශ්‍යතා හා ගැඹුරු සහයෝගිතා පදනමක් පවතින බවත් , චීනය යුරෝපා සංගමය කෙරේ ස්ථාවර හා අඛණ්ඩ ප්‍රතිපත්ති අනුගමනය කරන බවත්, ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේ ය.

    යුරෝපා පාර්ශ්වය බාහිර බලපෑම්වලින් තොරව චීනය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගෙන, චීනය සමග ස්වාධීන ප්‍රතිපත්තියක් පිළිපදිමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇතැයි බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය.

    යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයා සහ යුරෝපා කොමිසමේ සභාපතිනිය එහිදී කියා සිටියේ, චීනය ලෝකයේ ඉතා වැදගත් ධ්‍රැවීය බලවතෙකු බවයි. චීනයේ ජාත්‍යන්තර ස්ථානය හා භූමිකාව මෙන්ම යුරෝපා-චීන සබඳතා ඉතා වැදගත් කොට සලකන බව එම දෙපළ සඳහන් කර තිබේ.

    එම සාකච්ඡාවේදී යුක්රේන අර්බුදය කෙරෙහි ද අවධානය යොමු කෙරිණ. චීන ජනාධිපතිවරයා ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, එම අර්බුදය නිරාකරණය කිරීමට සාම සාකච්ඡා අතිශය වැදගත් බවයි. තවත් විශාල මානුෂීය අර්බුදයක් ඇති වීම වැළැක්වීම, යුරෝපා සහ ආසියා-යුරෝපා මහද්වීපවල දිගුකාලීන සාමයක් ගොඩ නැගීම සහ ප්‍රා‍‍දේශීය ගැටුම් උග්‍ර වීම වැළැක්වීම, චීන ජනාධිපතිවරයාගේ අදහස් අතර ප්‍රධාන වේ.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.