fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහාචාර්ය රොහාන් ගුණරත්නට සී.අයි.ඩී.ය නොතිසි ඉල්ලයි

    මහාචාර්ය රොහාන් ගුණරත්නට සී.අයි.ඩී.ය නොතිසි ඉල්ලයි

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන සුවිශේෂි විමර්ශනයකට අදාලව ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා වැදගත් තොරතුරු දන්නා අයෙක් බැවින් ඔහු දන්නා තොරතුරු ලබා ගැනීමට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොතිසි නිකුත් කරන්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අද ඉල්ලීමක් කර තිබේ.

    ලිඛිතව කළ එම ඉල්ලීම මෙසේය.

    "2022.03.09 වන දින දෙරණ නාලිකාවේ පැවති අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන් සඳහා සහභාගි වූ ජාික ආරක්ෂක අධ්‍යන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා එම වැඩසටහනේදී මෙම නඩුවට අදාලව සිදුකරන ලද විමර්ශන සම්බන්ධයෙන් සහ ගරු අධිකරණයට ඉදිරිපත්කර ඇති වැඩිදුර වාර්තා සම්බන්දයෙන් එහි අන්තර්ගත කරුණු වැරදි සහගත බවට ප්‍රකාශකර ඇත. 2022.02.10 දින ඉදිරිපත් කරන ලද බී. වාර්තාවේ අසත්‍ය තොරතුරු අන්තර්ගත වීම සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධව සහ මෙම විමර්ශනය පිළිබඳව එම වැඩසටහනේ කරන ලද ප්‍රකාශය පරිශීලනය කිරීමේදී මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා මෙම විමර්ශනයට අදාලව වැදගත් තොරතුරු දන්නා බව නිරීක්ෂණය වේ. එබැවින් මෙම විමර්ශනය සඳහා ඔහු දන්නා තොරතුරු ලබා ගැනීමට අවශ්‍යව ඇත. "

    "එබැවින් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වගන්තිය ප්‍රකාරව 15 වන මහල, සුහුරුපාය, බත්තරමුල්ල, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය රොහාන් ගුණරත්න යන අයට මෙම අධිකරණයේ පෙනී සිටීමට නොතිසියක් නිකුත් කරන මෙන් ගුරු අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි."

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතා වාචිකවද අධිකරණය හමුවේ අද කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා විසින් මෙම විමර්ශනයට අදාලව ගරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති වැඩිදුර වාර්තා හා එම වාර්තාවල අන්තර්ගත කරුණු අසත්‍ය බවත් එම කරුණු අභියෝගයට ලක්කරමින් එම වැඩසටහනේදී ප්‍රකාශකර ඇති බවත්ය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම ඉල්ලීමට අදාල නියෝගය ලබන 08 වෙනිදාට ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් ලබාදෙනු ඇතැයි වැඩ බලන මහේස්ත්‍රාත් දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.