fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට සල්ලිවලට වැඩි ගණන් දුන් සමාගමක බලපත්‍රය අත්හිටුවයි

    රට සල්ලිවලට වැඩි ගණන් දුන් සමාගමක බලපත්‍රය අත්හිටුවයි

    ශ්‍රී ලංකා මහබැංකුව විසින් ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම වෙත නිකුත් කළ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රය අත්හිටුවා තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව පවසන්නේ ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් කරන ලද පරීක්ෂණයකින් පසුව මෙම පියවර ගත් බවයි.

    ඒ පිළිබඳ මහබැංකුව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

    “ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් 2022.03.30 දින ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදුකරන ලදී. එකී විමර්ශනයට අනුව, ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් ඔවුන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත තම ගනුදෙනුකරුවන් වෙත ලබා දී විදේශ මුදල් මිලදී ගන්නා බවත්, එමගින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ බලයලත් මුදල් හුවමාරු කරන්නන් වෙත නිකුත් කරන ලද විධානයන් කඩ කරන බවත් නිරීක්ෂණය විය.

    ඒ අනුව, විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමට නිකුත් කර ඇති බලපත්‍රය 2022.03.31 දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව අත්හිටුවීමට මහ බැංකුව තීරණය කර ඇත.

    2022.03.31 දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමට බලයලත් මුදල් හුවමාරු කරන්නෙකු ලෙස මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල යෙදීමට තවදුරටත් අවසර නොමැති බව මෙයින් මහජනතාවට දැනුම් දෙනු ලැබේ. තවද, මෙම අත්හිටුවන ලද කාල සීමාව තුළ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම සමඟ කරන ඕනෑම ගනුදෙනුවක් විදේශ විනිමය පනතෙහි ප්‍රතිපාදන උල්ලංඝණය කිරීමක් ලෙස සැලකෙන බව ද මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

    මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සම්බන්ධයෙන් ස්ථානීය විමර්ශන තීව්‍ර කර ඇති අතර විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති උපදෙස්වලට අනුගත නොවන බලයලත් මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර අත්හිටුවීමට/අවලංගු කිරීමට ද කටයුතු කරනු ඇත.” යැයි ද එම නිවේදන‍යේ සඳහන් විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.