fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහබැංකුව මොනිටර් කරන්න පාර්ලිමේන්තුවට පවරන්න - රනිල්

    මහබැංකුව මොනිටර් කරන්න පාර්ලිමේන්තුවට පවරන්න – රනිල්

    * ඇත්තේ එකම විකල්පයයි
    * ණය අනුපාතය 119% දක්වා ඉහළ ගිහින්
    * ණය හරිගස්සන්න පුළුවන් අය අපි ළඟ නෑ
    * මුල්‍යාධාර – නීති – මුල්‍ය විශ්ලේෂණවලට අය පිටින් බඳවා ගන්න
    * ඒ අය තෝරන වැඩේ තනි අතකට දෙන්න එපා
    * IMF සාකච්ඡාවට මාස 6ක් යාවි
    * ඉන්දීය ණයෙන් දුවන්න පුළුවන් තව සති 6යි
    * මාස 4කට සල්ලි හොයාගන්න වේවි
    * ජනපති සහ රජය පාර්ලිමේන්තුව ගැන විශ්වාස කළ යුතුයි

    මහ බැංකුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අධීක්ෂණ කාර්යභාරයක් පැනවීමට නව නීති සම්පාදනය කිරීම අවශ්‍ය බව හිටපු අග්‍රමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    දැනට ක්‍රියාත්මක වන අත්තනෝමනික හිඟ මූල්‍ය කරණය වැළැක්වීම සඳහා එම පියවර ගත යුතු බව ඔහු අවධාරණය කළේ අද පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ය.

    දැන් රටට ඇත්තේ එකම විකල්පයක් බවත් එනම් සම්මුතියක් පිහිටුවා අප රටට උපකාර කළ හැකි මිත්‍ර ජාතීන් කිහිපයක් වෙත ළඟා වීම බව ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

    ඔහු කියාසිටියේ එම රටවලට ඉන්දියාව, ජපානය, චීනය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එක්ව වැඩ කරන යුරෝපීය සංගමය (EU) ඇතුළත් විය යුතු බවයි.

    2002 සිට 2004 දක්වා කාලය තුළ ආර්ථිකය කඩා වැටී සාම සාකච්ඡා පවත්වමින් සිටියදී මෙරටට එවැනිම එකමුතුවක් තිබූ බව ද රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

    සර්ව පාක්ෂික සමුළුවේදී රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටේ පවතින අර්බුද විසඳා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද සම්පූර්ණ යෝජනාවලිය පහත දැක්වේ.

    “නිදහස් වෙළඳපොල ආර්ථිකයෙන් නිර්මාණය කල මධ්‍යම පන්තිය රජයේ පසුගිය වසර දෙකේ (2) ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ආපසු හැරී ඇති බව දක්නට ලැබේ.

    නිදහස් වෙළඳ පොල ආර්ථිකයේ විකෘති කිරීම් හේතුවෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදාහැරීම සහ පරිභෝජනයට බාධා ඇති විය. අපගේ කෘෂිකාර්මික නිෂ්පාදනය පහත වැටී ඇති අතර එය සැකසුම් කර්මාන්තයට බලපා ඇත. මෙම ප්‍රතිපත්ති හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගෙන් 25%කට ආසන්න ප්‍රමාණයක ව්‍යවසායන් නැවතී ඇති බව අපි දකිමු. රට පුලුල්ව පැතිරුනු විරැකියාවට සහ ඉහල යන ජීවන වියදමකට මුහුණ දී සිටින අතර එම නිසා සාගින්න සහ මන්ද පෝෂණය ද වැඩි වෙමින් පවතී. මිට අමතරව දළ දේශීය නිෂ්පාදිතයට රටේ ණය අනුපාතය 119% දක්වා ඉහළ ගොස් ඇත.

    ශ්‍රී ලංකාව මේ අර්බුදයෙන් ගොඩ ඒමට අවම වශයෙන් වසර 5ක් ගතවනු ඇත. අපි මුහුණ දෙන ප්‍රශ්න දෙක තමයි ඉදිරි වසර 2 තුළ ආර්ථීකය ස්ථාවර කිරීම සහ ආර්ථීක ප්‍රකෘතිය තහවුරු කිරීම.

    ආර්ථික ප්‍රතිපත්ති ආපසු හැරවීම නිසා විදේශීය මෙන්ම දේශීය ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ දමා ඇත. මේ හේතුවෙන් අපේ තරුණ තරුණියන් විශාල පිරිසක් රට හැර යමින් සිටිනවා. හානිය ආපසු හැරවීමට ඇති එකම මාර්ගය වන්නේ රටේ ආර්ථික . ප්‍රතිපත්තියට අදාළ මූලධර්ම සම්බන්ධයෙන් සම්මුතියක් තිබේ නම් පමණි. දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ගත් කල අප ක්‍රියා කළ යුත්තේ මෙම රාමුව තුළය.

    රට සඳහා වන කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ප්‍රතිපත්ති පිළිබඳව පාර්ලිමේන්තුවේ පක්ෂ ජාතික සම්මුතියකට පැමිණිය යුතුය. මෙය විවෘත සංවාදයක් විය යුතු අතර එහිදී රජය පෙරමුණ ගත යුතු අතර විපක්ෂය ප්‍රතිචාර දැක්වීමට සූදානම් විය. යුතුය. රජයෙන් කිසිම විනිවිද භාවයක් හෝ කැපවීමක් අද වනතුරු අපි දැකලා නැහැ අදාළ දත්ත අපට ලබාදීමට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත.

    කෙටි කාලීනව අපි එක්ව ආර්ථිකය ස්ථාවර කිරීමට කටයුතු කළ යුතුයි. එසේ නොවුණහොත් රට ගැන ජනතාවට තිබෙන විශ්වාසය නැති වෙනවා.

    අපගේ විදේශ විනිමය හිඟය සමඟ කටයුතු කිරීම සහ අපගේ විදේශ ණය ප්‍රතිනිර්මාණය කිරීම යන ක්ෂණික කාර්යයන් දෙකකට රට මුහුණ දී සිටී. රජයක් විදේශ ණය උපලේඛනගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලබන පළමු අවස්ථාව මෙය වනු ඇත. විස්තීරණ අරමුදල් පහසුකම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කළ හැකි අය මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ සිටිති. නමුත් ණය නැවත සකස් කළ හැකි කිසිවෙක් නැත. මූල්‍ය ආධාර සහ නීතිමය සහය පිළිබඳ විශේෂඥ දැනුම ලබා දිය හැකි ප්‍රමුඛ පෙළේ සමාගම් දෙකක් අප ලබාගත යුතුය. මුල්‍ය විශ්ලේෂණ පිළිබඳ විශේෂඥයන්ගේ සේවය ද අපට අවශ්‍ය වේ. මෙම සේවාවන් ශ්‍රී ලංකාවෙන් පිටත ලබා ගත යුතුය, මන්ද අපට හොඳම දේ අවශ්‍ය වනු ඇත.

    මෙම සමාගම් තෝරා ගැනීමේ ක්‍රියාවලිය විනිවිද භාවයකින් සිදු කළ යුතු අතර, මෙය තවත් ප්‍රශ්නකාරී තේරීම් ක්‍රියාවලියක් නොවිය යුතුය. පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගනිමින් රජය තෝරා ගැනීමේ නිර්ණායක නියම කළ යුතුය. මෙය තනි පුද්ගලයෙකුගේ අතේ තැබිය නොහැක.

    මුල්‍ය නීතියේ 5 වැනි වගන්තියේ සඳහන් වන්නේ ‘ ආර්ථික සහ මිල ස්ථායිතාව” සහ “ස්ථාවර මූල්‍ය පද්ධතියක් සහතික කිරීමේ වගකීම මහ බැංකුව සතු බවයි. මහ බැංකුවේ මුදල් මණ්ඩලය සහ මුදල් අමාත්‍යාංශය මෙම අරමුණු ඉටුකර ගැනීමට අසමත් වී ඇත. මුදල් අමාත්‍යාංශයේ මාසික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. දැනට ක්‍රියාත්මක වන අත්තනෝමනික හිඟ මූල්‍ය කරණය වැළැක්වීම සඳහා මහ බැංකුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අධීක්ෂණ කාර්ය භාරයක් පැනවීමට නව නීති සම්පාදනය කිරීම අවශ්‍ය වේ.

    මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එකම උපාය මාර්ගයකට අනුගත විය යුතු අතර ප්‍රසිද්ධියේ එක හඬින් කතා කළ යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව නම් කරන පුද්ගලයා මුදල් අමාත්‍යවරයා වන බැවින් මුදල් අමාත්‍යාංශය මූලිකත්වය ගත යුතුය.

    නව විනිමය අනුපාත බැංකු මත පීඩනයක් ගෙන ඇත. පුද්ගලික බැංකු මේ වන විට ඩොලර් ණය විශාල ප්‍රමාණයක් රඳවාගෙන සිටින අතර රාජ්‍ය බැංකු රාජ්‍ය සතු ව්‍යවසායන් කිහිපයක විශාල විදේශණය ගෙන යමින් සිටී. ඩොලරණය වත්මන් විනිමය අනුපාතිකයට පරිවර්තනය වීම නිසා බැංකුවල ශේෂ පත්‍රය පිළිබඳ ප්‍රශ්නයක් මතුව තිබේ. බැංකු ක්‍ෂේත්‍රය බිඳ වැටීමේ අසන්න මොහොනක සිටින අතර, කඩා වැටීම වැළැක්වීම සඳහා බැංකු සඳහා ආරක්ෂිත දැලක් සම්පාදනය කිරීමට රජය සහතික විය යුතුය.

    රජයේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස මිල ගැලපීම ජනාව මත විශාල බරක් පටවා ඇත. ඒ නිසා මහජනතාවට සහන සැලසීම අත්‍යවශ්‍යයි. IMF විසින් “සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය නිරසාරත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා විශ්වසනීය සහ සුසංයෝගී උපාය මාර්ගයක් නිර්දේශ කර ඇති අතර, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කරන ලද, හොඳින් ඉලක්ක කරගත් සමාජ ආරක්ෂණ දැල් හරහා දරිද්‍රතාවය අඩු කිරීම” නිර්දේශ කර ඇත.

    IMF සමඟ සාකච්ඡා සඳහා අවම වශයෙන් මාස හයක් ( 6 ) ගතවනු ඇති අතර, ඉන්දියානු ක්‍රෙඩිට් ලයින්ස් වෙතින් ලැබෙන සහන ප්‍රතිලාභ මැයි මස මුල් සති දෙකෙන් ඔබ්බට නොයනු ඇත. IMF සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග ගිවිසුමකට එළඹෙන තෙක් ඉතිරි මාස හතර සඳහා රජය අරමුදල් සොයා ගත යුතුය.

    අපට ඇත්තේ එකම විකල්පයකි. එය නම් සම්මුතියක් පිහිටුවා මූල්‍ය ආධාර ඉල්ලා සිටින සහ නව ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට උපකාර කළ හැකි මිත්‍ර ජාතීන් කිහිපයක් වෙත ළඟා වීමයි. මෙම රටවලට ඉන්දියාව, ජපානය, චීනය සහ IMF සමඟ එක්ව වැඩ කරන යුරෝපීය සංගමය (EU) ඇතුළත් විය යුතුය. 2002 සිට 2004 දක්වා කාලය තුළ ආර්ථිකය කඩා වැටී සාම සාකච්ඡා පවත්වමින් සිටියදී අපට එවැනිම එකමුතුවක් තිබුණා.

     

    මෙම රටවල් සමඟ අපගේ සබඳතා පළුදු වී ඇති අතර මෙය ප්‍රධාන වශයෙන් ස්වයං ප්‍රේරකයකි. ඉන්දියාව සහ ජපානය සමඟ ආයෝජන ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමට රජය තීරණය කළා. මේවා විසඳිය යුතුයි. ඒ වගේ ම මේ රජය චීනය සමඟ විසඳා ගත යුතු ප්‍රශ්න ඇති කර තිබෙනවා. යුරෝපා සංගමය සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ බැවින් එම උත්සුකයන් සමඟ කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාව සහ මෙම රටවල් අතර සබඳතා වැඩි දියුණු කිරීමට වහා පියවර ගත යුතුය. රජයට එසේ කළ හැකි නම් විදේශ ආයෝජන ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා රට කෙරෙහි වැඩි විශ්වාසයක් ඇති වන බව අපට පෙනෙනු ඇත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය මගින් රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට පවරා ඇත. කෙසේ වෙතත් මෙතෙක් පාර්ලිමේන්තුව නොසලකා හැර ඇත. අදාළ සියලු වාර්තා ලබා දෙන අනරම්, සියලු වර්ධනයන් පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි. කෝප්, කෝපා ඇතුළු රාජ්‍ය මූල්‍ය කමිටු ශක්තිමත් කළ යුතුයි. එසේම වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාසිකව පාර්ලිමේන්තුව ඇමනීමේ වගකීම මුදල් අමාත්‍යවරයා විසින් භාරගත යුතුය. අවශ්‍ය නම් මේ සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් ද පිහිටුවිය යුතුයි.

    2022 අයවැය තවදුරටත් රටට අදාළ නොවේ. මේ අර්බුදකාරී අවස්ථාවේදී අත්‍යාවශ්‍ය නොවන වියදම් නැවත ඇගයීමට ලක් කර මහජනතාවට සහන සැලසීමට අප වග බලා ගත යුතුයි. 2022 සංවර්ධනයේ වසරක් නොවනු ඇත. නමුත් ඒ වෙනුවට මෙය සහන වසරක් විය යුතුය.

    ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය පාර්ලිමේන්තුව යළි විශ්වාසයට ගත යුතු අතර එසේ නොවුණහොත් ඔවුන්ට පාර්ලිමේන්තුවේ විශ්වාසය අහිමි වනු ඇත.

    අද පාර්ලිමේන්තුවේ සිටියත් නැතත් සියලු පක්ෂ සමඟ රජය සාකච්ඡා ආරම්භ කළ යුතුයි. ප්‍රකෘතිමත් වීමේ නව වැඩ පිළිවෙළක් ආරම්භ කළ හැකි බැවින් අප සියලු දෙනා එකඟතාවකට පැමිණීම අතිශයින් වැදගත් ය. මේ ක්‍රියා මාර්ග ගත යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් අපේ අනාගතය වෙනුවෙන් නොව රටේ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන්.” යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.