fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්හතුරුසිංහගේ ගිවිසුමේ වැරදි හදන්නත් කෝටි 3ක් ගිහින් - COPE

    හතුරුසිංහගේ ගිවිසුමේ වැරදි හදන්නත් කෝටි 3ක් ගිහින් – COPE

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා බඳවා ගැනීමට අදාළ ගිවිසුම දෝෂ සහිත වීම නිසා ඊට නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වනවිට රුපියල් මිලියන 30 ක් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වෙයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්ය සාධනය පිළිබඳව පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම ඊයේ කැඳවා තිබූණි.

    2019 වසරේ මූල්‍ය ප්‍රකාශනවලට පැවැති උපචිත වියදම් රුපියල් 18,857,016 ක් හා ගෙවිය යුතු ශේෂවල ඇතුළත් ක්‍රීඩාංගන ණයහිමියෝ රු.26,664,834ක් හා වෙනත් ගෙවිය යුතු ශේෂ රු.38,152,606ක් සහ වෙනත් ණයගැතියෝ රු 937,645ක් මුලාශ්‍ර ලියවිලි නොමැතිවීම හේතුවෙන් 2020 වසරේදී ගිණුම්වලින් කපාහැර තිබීම සම්බන්ධයෙන් කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දෝෂාරෝපණය කළේය.

    මීට වගකිව යුතු නිලධාරීන් ඇතුළු අදාළ පාර්ශ්ව වෙනුවෙන් කඩිනමින් නෛතික ක්‍රියාමාර්ග ගතයුතු බවටද කාරක සභාව නිර්දේශ කළේය.

    ක්‍රීඩා අමාත්‍යංශය විසින් පත්කරන ලද අතුරු කමිටුවේ කාලසීමාව තුළ අදාළ බලධාරීන්ගේ අනුමැතිය නොලැබුනු රුපියල් මිලියන 26ක් අගය වූ ව්‍යාපෘති 04 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතහැර දමා තිබෙන බවද කාරක සභාවේදී අනාවරණය විය.

    2015 වසරේ සිට 2019 වසර දක්වා වූ කාලපරිච්ජේදයකට අදාළ රු. 10,292,337ක් වූ තරඟ අත්තිකාරම් සහ 2007, 2008, 2016 හා 2017 යන වසරවල ක්‍රිකට් සංගම්වලට දෙන ලද රු.7,764,050ක ඉදිකිරීම් අත්තිකාරම් නිරවුල් කිරීමකින් තොරව දිගින් දිගටම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

    එමෙන්ම 2014, 2015, 2016 සහ 2017 වසර වලට අදාළ එකතුව රු. 18,785,305ක් වූ ගෙවිය යුතු ණයහිමි ගිණුම් 69 ක් 2020 වසරේදී මූල්‍ය ප්‍රකාශනවලින් කපාහැර තිබීම සම්බන්ධයෙන් ද කාරක සභාවේදී අනාවරණය විය.

    මේ පිළිබඳව වහාම සොයාබලන ලෙස ද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම්දුන්නේය.

    දේශීය ක්‍රීඩා පිටි සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදිකිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා 2010 වසරේ සිට පැවත එන රු. මිලියන 16ක් වූ අත්තිකාරම් ගෙවීම් ගිණුම් ශේෂ 01 ක් 2020 වසරේ වසරේ ගිණුම්වලින් කපාහැර තිබීම සම්බන්ධයෙන් ද කාරක සභාව සිය නොසතුට පළ කළේය.

    ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නිසිපරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙවැනි ගැටලු රැසක් මතුව ඇති බවත්, පිළිගත් රාමුවක් තුළ ආයතනය ක්‍රියාත්මක විය යුතු බවත් කාරක සභාවේ මතය විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.