fbpx
තවත්
    මුල් පිටුවspecialආසියාවේ පළමුවරට ඉන්ටර්නෙට් පරිශීලකයන් ආරක්ෂා කරන SafeWebLK ශ්‍රී ලංකාවේදී

    ආසියාවේ පළමුවරට ඉන්ටර්නෙට් පරිශීලකයන් ආරක්ෂා කරන SafeWebLK ශ්‍රී ලංකාවේදී

    ශ්‍රී ලංකාවේ ඉන්ටනෙට් පරිශීලකයන්ට වඩාත් සුරක්ෂිත ඉන්ටනෙට් සේවා ලබා දීමට ගෝලීය ඉන්ටනෙට් සමාගම් සමඟ සාමූහික එකඟත්වයක් ඇති කර ගැනීම ඉලක්ක කර ගත් SafeWebLK වැඩසටහන මාර්තු 16 වනදා කොළඹ දී අරඹා තිබේ.

    මෙරට මිලියන 11කට අධික ජන සංඛ්‍යාවක් ඉන්ටනෙට් භාවිත කරන අතර ඉන් බහුතරයක් ගූගල්, ෆේස්බුක්, යූටියුබ්, ටික්ටොක් වැනි ගෝලීය සේවා නිතර පරිහරණය කරයි. මෙරටින් මතු වන දුස්තොරතුරු සහ වෛරී ප්‍රකාශ මේ තාක්ෂණ වේදිකා හරහා පැතිර යාම හැකිතාක් අවම කිරීමටත්, මෙරට පරිශීලකයන් ඇතැමෙක් සයිබර් හිංසනවලට ලක්වීම අවම කර ගැනීමටත් වේදිකා මට්ටමින් දැනට ක්‍රියාත්මක ස්වයං නියාමන රැකවරණ වඩාත් තියුණු කිරීමට SafeWebLK වැඩසටහනේ අරමුණයි.

    ගෝලීය වෙබ් අවකාශයන් තුළ ශ්‍රී ලාංකික පරිශීලකයන් සිදු කරන පෞද්ගලික සහ පොදු සන්නිවේදන සමහරකින් පුද්ගලයන්ට හෝ සමස්ත සමාජයට සිදු විය හැකි හානි වලක්වා ගැනීමට වේදිකා මට්ටමින් ප්‍රතිචාර දැක්වීම වඩාත් ප්‍රශස්ත කිරීමට ගෝලීය වේදිකාවල ලාංකික අන්තර්ගතය විමර්ශනයට නිශ්චිත ස්වයං නියාමන රාමුවක් බිහිකර ගැනීමට උත්සාහ කෙරෙයි.

    දැනටමත් යුරෝපා සංගමයේ රටවල් 27 මෙන්ම ඔස්ට්‍රේලියාවද මෙබඳු ස්වයං නියාමන චර්යා පද්ධති (industry codes of practice) ක්‍රියාත්මක කරන අතර, නවසීලන්තය ද එබන්දක් සූදානම් කරමින් සිටී.
    SafeWebLK ආසියාවේ රටක එවැනි ස්වයං නියාමන චර්යා පද්ධතියක් ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රථම අවස්ථාවයි.

    අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතාගේ සහ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී SafeWebLK ආරම්භ කරන ලදී.

    එහි දී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා මෙසේ කීවේය.


    “මෙම වැඩසටහනට රජයේ පාර්ශවයෙන් අපි උපරිම සහයෝගය දෙමින් කැපවී සිටිනවා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සියලුම ප්‍රජාතන්ත්‍රවාදී රටවල අත්‍යාවශ්‍ය වනවා. එම අයිතිය නැතිනම් අපිට ජීවත්වන්නට සිදුවන්නේ වහලුන් ලෙසයි. උපරිම ලෙසින් අදහස් ප්‍රකාශ කිරීමටත්, විවේචනයට මෙන්ම උපහාසයටත් ඉඩ දිය යුතු බව අපි විශ්වාස කරනවා. එවැනි ප්‍රකාශන සීමා කරන්න කිසිම අදහසක් නැහැ. නමුත් සමාජයේ යහ පැවැත්මට තර්ජනයක් වන සංවිධානාත්මක වැරදි තොරතුරු සම්බන්ධයෙන් අප යමක් කළ යුතු වනවා. එවැනි අසත්‍ය ප්‍රචාරවලට එරෙහි වීමට සහ ඊට සම්බන්ධ අය වග වන යම් යාන්ත්‍රණයක් අවශ්‍ය වනවා. විශේෂයෙන් ම සමාජ මාධ්‍ය ඇතුළු ඉන්‍ටර්නෙට් භාවිතයන් තුළ වගකීම් සහගත සන්නිවේදනයක් ප්‍රවර්ධනය කිරීමට එය භාවිතා කරන පුරවැසියන් ම මූලිකත්වය ගැනීම වඩාත් සුදුසුයි.”

    ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ කීවේය.

    “ස්වයං නියාමන ක්‍රියාවලිය රජය ලෙසත් ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පුද්ගලිකවත් මම සෑම අවස්ථාවක දීම ප්‍රවර්ධනය කරන යාන්ත්‍රණයක්. සාවද්‍ය තොරතුරු, ව්‍යාජ පුවත්, වෛරී ප්‍රකාශ, සයිබර් හිරිහැර කිරීම් නිසා සන්නිවේදනයේ ආධිපත්‍යය දරන මහා මාධ්‍ය පවා පීඩාවට පත්ව සිටින කාලයක වුවත් අප තවමත් පිළිගන්නවා රාජ්‍ය වාරණයට වඩා ස්වයං නියාමනය වඩාත්ම යෝග්‍ය බව. SafeWebLK කරන මේ මුල පිරීම දේශීය පරිශීලකයන් සහ ජාත්‍යන්තර තාක්ෂණික සමාගම් අතර නියාමන පාලමක් බවට පත්වේවි. එමගින් හොඳ සබඳතාවක් ගොඩ නැගේවි. එය වටිනා කාලීන අවශ්‍යතාවක් ද වනවා.”

    ජාතික වශයෙන් වැදගත් මේ වැඩසටහන සඳහා නායකත්වය සපයන්නේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳව කටයුතු කරන පර්යේෂණ සමාගමක් වන Factum ආයතනයයි.

    SafeWebLKහි ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය රංග කලංසූරිය පවසන්නේ “අප ආරම්භ කළ මෙය ආසියාවේ මේ ආකාරයේ ප්‍රථම වැඩසටහන වනවා. මේ සඳහා සියලු දෙනාගේම දායකත්වය අවශ්‍යයි. ඉන්ටර්නෙට් සේවා ලබා දෙන ජාත්‍යන්තර සමාගම් සහ රජය අප සමඟ මේ වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කිරීම ගැන ඉතා සතුටු වෙනවා” යනුවෙනි.

    ගෝලීය තාක්ෂණික සේවා සමාගම් ඔවුන්ගේ ආසියානු කලාපීය සන්ධානය වන Asian Internet Coalition (AIC) හරහා මෙම ක්‍රියාවලියට සම්බන්ධ වනු ඇත. සන්ධානයේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙෆ් පේන් මහතා දුරස්ථ සන්නිවේදන මාර්ගයෙන් කොළඹ ආරම්භක අවස්ථාවට සහභාගී වී සභාව ඇමතීය.

    ජෙෆ් පේන් කියා සිටියේ “ස්වයං නියාමනයක් ගොඩනැගීම සඳහා ඉන්ටර්නෙට් තාක්ෂණික හවුල්කරුවන් සමඟ AIC එක්ව කටයුතු කිරීමට කැප වී සිටින අතර එමගින් ශ්‍රී ලංකාවේ ඉන්ටර්නෙට් පරිශීලකයන් වඩාත් සුරක්ෂිත කිරීම සඳහා වඩාත් ප්‍රශස්ත ස්වයං නියාමන ක්‍රමවේදයක් ගැන එකඟවීමට අප සහයෝගය පළ කරනවා” යනුවෙනි.

    “ජාත්‍යන්තර නීතියෙන් පිළිගෙන ඇති ප්‍රකාශන සහ භාෂණ නිදහසේ මානව අයිතිය රැක ගන්නා අතරම වඩාත් සුරක්ෂිත ඉන්ටනෙට් අත් දැකීමක් සැමට තහවුරු කිරීමේ වගකීම අප හමුවේ තිබෙනවා. රජයෙන් පනවන නීති, තහංචි හෝ දණ්ඩනවලට වඩා මේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට පරිශීලකයන් වඩාත් වගකීම් සහගත ලෙස ක්‍රියා කිරීමත්, තාක්ෂණ සේවා සපයන ගෝලීය වේදිකා සිය වගවීම තියුණු කිරීමත් සුදුසු බව අපේ විශ්වාසයයි,” SafeWebLK සඳහා උපදේශකයකු වන මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසයි.

    මේ වැඩසටහන සඳහා රාජ්‍ය ආයතන, පුද්ගලික අංශය, සිවිල් සමාජ කණ්ඩායම්, තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්, පර්යේෂණ ආයතන ඇතුළු ක්ෂේත්‍රයේ විශේෂඥයන් සහභාගී වන අතර ඉදිරියේ දී මහජන අදහස් සහ යෝජනා විමසීමේ ක්‍රියාදාමයක් දියත් කිරීමට නියමිතය.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.