fbpx
තවත්
    මුල් පිටුවspecialආදරවන්ත සටනේ මහින්දෙ රණසිංහ තැබූ වැඩිම ලකුණු වාර්තාවට වසර 50යි

    ආදරවන්ත සටනේ මහින්දෙ රණසිංහ තැබූ වැඩිම ලකුණු වාර්තාවට වසර 50යි

    මහින්ද – රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ සටන මෙරට පාසල් මහා තරග ඉතිහාසයේ වර්ණවත් පරිච්ඡේදයකි. මහින්ද විද්‍යාලය මෙන්ම රිච්මන්ඩ් විද්‍යාලය බිහි කළ ලෝ පතළ ක්‍රිකට් විරුවන් නිසා 1905 දී ඇරඹි ආදරවන්තයන්ගේ සටන ලොවට ක්‍රිකට් තරු බිහි කරන මහා මංල්‍යයකි.

    කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකක් නොපැවැත්වුණු මහින්ද රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ සටන මෙවර යෙදී ඇත්තේ අප්‍රේල් මස 8 හා 9 දෙදිනටයි. මෙවර තරගවාරය හා ඉතිහාසට එක්වන තවත් වාර්තාවක් වී ඇත්තේ මහින්ද-රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ සටනේ තැබු වැඩිම ලකුණු වාර්තාවට මෙවර තරගයේ දී පනස් වසරක් ගතවීමයි.

    මෙම ඉතිහාසගත වාර්තාවේ හිමිකරු වන්නේ එදා රිච්මන්ඩ් විද්‍යාලයට හිමිවන්නට තිබු මෙම වාර්තාවේ අභිමානය පැය 24ගතවන්නට මත්තෙන් මහින්ද විද්‍යාලයට ලබා දුන් කීර්තිමත් ආදි ශිෂ්‍ය පී.එච්.කේ.එච්.රණසිංහයි.

    මෙයට වසර 50කට පෙර 1972 වසරේ මහින්ද රිච්මන්ඩ් මහා ක්‍රිකට් තරගය පැවැත්වෙන තුරුම මහා ක්‍රිකට් තරගයේ වැඩිම ලකුණු වාර්තාවට එතෙක් හිමිකම් කියුවේ මහින්ද පිළ වෙනුවෙන් 1939 මහා ක්‍රිකට් තරගයේ ලකුණු 155ක් හිමිකරගත් සිරිසේන හෙට්ටිගේය.

    පසුව දේශපාලනයට පිවිසි සිරිසේන හෙට්ටිගේ තැබූ වාර්තාව වසර 33ක් පැවති අතර මෙම වාර්තාව 1972 තරගයේ පළමුව බිඳ දමනු ලැබුවේ රිච්මන්ඩ් විද්‍යාලයේ අංක තුන පිතිකරු ප්‍රසාද් කාරියවසම්ය.

    මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් අංක 03 පිතිකරු ලෙස පිටියට පිවිසි ප්‍රසාද් කාරියවසම් ලකුණු 156ක් ලබා ගනිමින් සිරිසේන හෙට්ටිගේ තැබූ වාර්තාව බිඳ දැමුවේ තරගයේ වාසිය රිච්මන්ඩ් පිලට නතු කර දෙමිනි.

    මෙහි දී ප්‍රසාද් කාරියවසම්ගේ ලකුණු 156 සමඟ රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු පුවරුව පළමු ඉනිමට ලකුණු 274ක් විය.

    මෙම ලකුණු සංඛ්‍යාව හඹායාම එතරම් පහසු නොවනු ඇතැයි බොහෝ දෙනා සැක පළ කළ ද මහින්ද විද්‍යාලය වෙනුවෙන් අංක 03 පිතිකරු ලෙස පිටියට පිවිසි පී.එච්.කේ.එච්.රණසිංහ රිච්මන්ඩ් ප්‍රීති ප්‍රමෝදයට වැඩි කල් යාමට ඉඩ තැබුවේ නැත.

    ලකුණු සියය ඉලක්කය පසු කළ පී.එච්.කේ.එච් රණසිංහ එතෙක් පැවති වාර්තාව බිඳ දමමින් ලකුණකින් ඉදිරියට තබා තිබූ රිච්මන්ඩ් විද්‍යාලයේ ප්‍රසාද් කාරියවසම්ගේ ලකුණු 156ක වාර්තාව බිඳ දමා ලකුණු 162ක් තමන්ගේ නම ඉදිරියෙන් ලියා තැබුවේ මහින්ද ප්‍රේක්ෂකයෝ අමන්දානන්දයට පත්කරමිනි.

    මහින්ද විද්‍යාලයෙන් ගිලිහුණු වාර්තාවේ අභිමානය පැය 24ක් යන්නට මත්තෙන් මෙසේ නැවත මහින්ද පිළට ලබා දුන් රණසිංහගේ ලකුණු 162 සමඟ මහින්ද ලකුණු පුවරුව එදා ලකුණු 359ක් බවට පත්විණි.

    එදා පටන් මෙවර පැවැත්වෙන තරගය දක්වා දක්වා වසර 50ක කාලයක් ගත වුව ද රණසිංහගේ වාර්තාව බිඳ නොවැටිණි.

    “අපගේ මහා තරග ඉතිහාසයේ වැඩිම පුද්ගලික ලකුණු සංඛ්‍යාවේ සාඩම්බර හිමිකරු වීම ගැන මම අතිශයින් සතුටු වෙනවා. මේ වාර්තාවට මේ වසරේ 50 වැනි සංවත්සරය සැපිරෙනවා. මගේ ජයග්‍රහණය අගය කිරීම සඳහා හෙට (පෙබරවාරි 19) වැනි දින කොළඹ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ දී මා වෙනුවෙන් විශේෂ උපහාර උළෙලක් සංවිධානය කර තිබෙනවා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස 96 ක්‍රිකට් ලෝක කුසලානය දිනා දුන් නායක අර්ජුන රණතුංග මහතා එක්වෙනවා. මහින්ද විද්‍යාලයට මෙවර හොඳ කණ්ඩායමක් සිටිනවා. අපේ බලාපොරොත්තුව මෙවර තරගය ජයග්‍රහණය කරන්න.”යැයි මෙවර ආදරවන්තයන්ගේ සටන පිළිබඳ අදහස් පළ කරමින් පී.එච්.කේ.එච් රණසිංහ පැවසීය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.