fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේවස්ථානයේ තැබූ බෝම්බයට වෛද්‍යවරයෙක් අල්ලයි

    දේවස්ථානයේ තැබූ බෝම්බයට වෛද්‍යවරයෙක් අල්ලයි

    බොරැල්ල සියලු ශාන්තවරුන්ගේ දේවස්ථානයේ තැබූ බෝම්බය සම්බන්ධයෙන් කෙරන විමර්ශනවලට අදාලව විශ්‍රාමික වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    පිළියන්දල වටමාවතේ නිවසක පදිංචිව සිටි එම වෛද්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසිනි.

    දේවස්ථානයේ ආරක්ෂක කැමරා නිරීක්ෂණය කරමින් කතෝලික පල්ලිය විසින් හදුනාගත් බෝම්බකරුව රාජ්‍ය බුද්ධි සේවයේ ඔත්තුවකින් ඇඹිලිපිටියේදී කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කෙරුණු ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ තොරතුරු මත මෙම වෛද්‍යවරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

    ලියනගේ දයාසේන නැමති ඇඹිලිපිටියෙන් අත්අඩංගුවටගත් බෝම්බකරු තමා පල්ලියේ බෝම්බය තැබූ බව පිළිගෙන ඇතැයි පොලීසිය කියයි. ඊට අමතරව නාරාහේන්පිට පුද්ගලික රෝහලේ වැසිකිලියේද බෝම්බය තැබුවේ තමා බව ඔහු කියන බව පොලීසිය සදහන් කරයි.

    එම බෝම්බ දෙකම තමා තැබුවේ වෛද්‍යවරයා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව බවද ලියනගේ දයාසේන නැමැති සැකකරු සදහන් කරන බව පොලීසිය කියයි. එම පුද්ගලයා වෛද්‍යවරයාගේ පිළියන්දල පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක කලක් සේවය කර ඇති බවත් ඒ ඔස්සේ දෙදෙනා දැන හදුනාගෙන සිට ඇති බවත් පොලීසිය සදහන් කරයි. එහෙත් වෛද්‍යවරයාට බෝම්බ තැබීමේ අවශ්‍යතාවය කුමක්දැයි පැහැදිලිව හෙළිවී නැත. වෛද්‍යවරයා පවසා ඇත්තේ තමන් ලියනගේ දයාසේන නැමැති පුද්ගලයාව හදුනන බවය. එහෙත් බෝම්බයක් තැබීමට තමා ඔහුට කිසිවිටකත් උපදෙස් දී නැති බවද ඔහු කියා තිබේ.

    ලියනගේ දයාසේන නැමති මෙම සැකකරු මෙයට පෙර පොලීසියට පවසා තිබුනේ රත්මලානේ පදිංචි මුස්ලිම් ජාතිකයෙක් විසින් එම බෝම්බය තමා අතට ලබාදී එය පල්ලියේ තබන ලෙසට රුපියල් 50,000 ක් දුන් බවය. ලියනගේ දයාසේන නැමැති පුද්ගලයා ගිනි අවි භාවිත කිරීම් සම්බන්ධයෙන් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් කලකට පෙර පොලිස් අත්අඩංගුවට පත්වූවෙක් බව සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.