fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'විදේශිකයන්ට පමණි' ලේබලෙන් ගියොත් බලපත්‍රයත් අවලංගුයි

    ‘විදේශිකයන්ට පමණි’ ලේබලෙන් ගියොත් බලපත්‍රයත් අවලංගුයි

    සංචාරක ආයතන විසින් ‘විදේශිකයන්ට පමණි’ ප්‍රතිපත්තියෙන් ශ්‍රී ලාංකික පුරවැසියන්ට එරෙහිව අනුගමනය කරන වෙනස් කොට සැලකීමේ ක්‍රියා සම්බන්ධයෙන් වාර්තා වුවහොත් ඒවායෙහි බලපත්‍ර අවලංගු කිරීම වුවද සිදුකරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පෙන්වා දෙන්නේ මෙවැනි පැමිණිලි ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පියවර ගෙන ඇති බවත් ය.

    දේශීය සංචාරකයින් දුෂ්කර කාලවලදී මෙරට සංචාරක කර්මාන්තය සමඟ සිට ඇති අතර එය පුරාවටම මෙම කර්මාන්තයට සහයෝගය දැක්වූයේ අපගේ පුරවැසියන් බව එම අධිකාරිය සිහිපත් කරයි.

    ඒ සඳහා කර්මාන්තයේ පාර්ශවකරුවන් ලෙස සංචාරක ක්ෂේත්‍රය කෘතඥ විය යුතු බව ද නිවේදනයේ දැක්වේ.

    කඩ සාප්පු, පොදු අවන්හල් වෙත ප්‍රවේශ වීම සම්බන්ධයෙන් ආබාධිතභාවය, වගකීම්, සීමා කිරීම් හෝ හෝටල්, පොදු විනෝදාත්මක ස්ථාන සහ ආගමික ස්ථාන ආදියෙහිදී කොන්දේසි පැනවීමේදී වෙනස් කොට සැළකීම නොකළ යුතු බව ඔවුහු පෙන්වා දෙති.

    විධිමත් පැමිණිල්ලක් තිබේ නම් සහ වෙනස්කම් කර ඇති බව පෙනී ගියහොත්, සංචාරකයින් දැනුවත් කිරීම සහ එම ආයතන වෙන්කරවා ගැනීමෙන් වැළකී සිටින ලෙස මාර්ගගත සංචාරක ආයතනවලට දැනුම් දීම ඇතුළුව බලපත්‍රය අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට පසුබට නොවන බව ද එම අධිකාරිය කියයි.

    ඒ අතරම, එම අධිකාරිය දේශීය සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින්නේ සංචාරක දේපළ හොඳින් රැකබලා ගන්නා ලෙසත්, හෝටල් අවශ්‍යතාවලට අනුකූල වන ලෙසත් ය.

    දේපළ ගැන සැලකිල්ලක් නොදක්වන හෝ ආයතනවල ප්‍රකාශිත අවශ්‍යතාවලට අනුකූල නොවන එවැනි අමුත්තන්ට එරෙහිව සංචාරක ආයතනවලට පැමිණිලි කළ හැකි අතර එවැනි අමුත්තන්ට එරෙහිව අධිකාරිය විසින් අවශ්‍ය පියවර ගනු ඇති බව ද එහි දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.