fbpx
තවත්
    මුල් පිටුවspecialකාලය ඉතිරි කිරීම ජයග්‍රහණයේ මාවතයි

    කාලය ඉතිරි කිරීම ජයග්‍රහණයේ මාවතයි

     

    කාලය රන් හා සමානය. මේ නිසා කාලය ඉතිරි කිරීම ඉතාමත් වැදගත් වේ. කාල කලමණාකරණය මගින් නොහිතන වාසි රාශියක් ලඟා කරගත හැකි බව අප අමතක කරගත් කරුණකි. දිනකට පවතින පැය විසිහතර මැනවින් කලමණාකරණය කරගත් පුද්ගලයා ජීවන ගමන ජය ගනී. කාල කලමණාකරණය පිළිබඳව බොහෝ ලිපි සහ පොත් ඇතත්, ඒ පිළිබඳව  සරලව ඔබවෙත දක්වන්න කැමැත්තෙමි.

    කාලය ඉතිරි කරගන්නේ කෙසේද?

    1. දිනයේ වැඩ කටයුතු ලේඛණගත කොට, ප්‍රමුඛතාව හෝ යම් සැලසුමකට අනුව නිම කිරීම.
    2. දිනයේ නිමාවේදී දිනයේ ඉටුකල වැඩ සමාලෝචනය කිරීම.
    3. වැඩකටයුතු සරළව ඉටුකල හැකි ආකාර සිතීම සහ එය ක්‍රියාත්මක කිරීම.
    4. සිහියෙන් යුතුව දෛනික කටයුතු ඉටු කිරීම.
    5. කාලය කා දමන ක්‍රියාවලි හඳුනාගෙන ඒවා දුරු කිරීම.
    6. සිත සන්සුන් කරවන ක්‍රියාවක යෙදීම සහ ආතතිය දුරු කිරීම
    7. ඉදිරි දිනය සැලසුම් කිරීම සහ සන්සුන් මනසින් නින්දට යාම.

    ඉහත කරුණු තව දුරටත් සළකා බලමු.

    1. දිනයේ වැඩ කටයුතු ලේඛණගත කොට, ප්‍රමුඛතාව මත හෝ යම් පූර්ව සැලසුමකට අනුව ඒවා නිම කිරීම.

    අපි බොහොමයක් විට සැලසුමක් නොමැතිව දවස ගෙවන්නෙමු. මෙනිසා අනවශ්‍ය ලෙස අපගේ වටිනා කාලය වැය වේ. මේ හේතුවෙන් දවස අවසන හෙම්බත්ව නිදාගන්නෙමු. අපගේ ජීවන ඉලක්ක හමුවේ පරාජයට පත්වන්නෙමු. අපේක්ෂිත ඉලක්ක ලඟා කරගත නොහැකිවීමේ ආතතිය හේතුවෙන් වන සෞඛ්‍යමය අවදානමකට දිනෙන් දින  ලක්වන්නෙමු.

    නිසි සැලසුමකට අනුව දවස ගෙවන්නේ නම්, අපගේ ජීවිතය සාර්ථක වීම නියතය.

    1. දිනයේ නිමාවේදී දිනයේ ඉටුකල වැඩ සමාලෝචනය කිරීම.

    දිනයේ සැලසුම, දිනයේ අවසන සමාලෝචනය කිරීම තුලින් එළඹෙන නව දිනය යහපත් කරගත හැක. තත්ත්ව කළමනාකරණ විෂයේදී Plan (සැලසුම්කරණය), Do (සිදුකිරීම), Check (සමාලෝචනය/පරීක්ෂාව) , Action (නව සැලසුම ක්‍රියාත්මක කිරීම) හෙවත් PDCA චක්‍රය ජීවිතයට එක්කර ගත යුතුය.

    තත්ත්ව කළමනාකරණය තුලදී Continual improvement (අඛණ්ඩව වැඩිදියුණු කිරීම) ලෙස සංකල්පයක් ඉදිරිපත් කර ඇත්තේ මෙනිසාය. ඉහත PDCA චක්‍රය අනුව නිරන්තරයෙන් පුරුද්දක් ලෙස කටයුතු කිරීම මගින් විශාල දියුණුව ක් ලඟා කරගත හැක.

    1. වැඩකටයුතු සරළව ඉටුකල හැකි ආකාර සිතීම සහ එය ක්‍රියාත්මක කිරීම.

    ලෝකයේ ක්‍රියාවලි සරළ කිරීම පිළිබඳව නිරන්තරයෙන් මිනිසා වෙහෙසෙයි. මෙහි ප්‍රතිඵල සමස්ත මානව සංහතියේ ප්‍රගමනයට දායක වේ. අතීතයේ දින ගණනක් ගතවූ ක්‍රියාවලි අද අසුරු සැනකින් ඉටුකර ගැනීමට අද මිනිසා දක්ෂවී ඇත.

    1. සිහියෙන් යුතුව දෛනික කටයුතු ඉටු කිරීම.

    එදිනෙදා බොහොමයක් කාර්යයන්  වේගවත්ව  සිදු කිරීමට පුද්ගලයාගේ සිහියෙන් යුතු බව ඉවහල් වේ. ඉටු කරන කාර්යයන් පළමු අවස්ථාවේ දීම නිවැරදිව සිදුකිරීම සඳහා එළැඹී සිටින සිහිය අත්‍යවශ්‍ය වේ. යම් කාර්යයක් දෙවරක් කිරීමට සිදුවීම තුලින් කාලය, ධනය ඇතුලු වටිනා සම්පත් රැසක් විනාශ  වී යාම දැක්විය හැක.

    1. කාලය කා දමන ක්‍රියාවලි හඳුනාගෙන ඒවා දුරු කිරීම.

    කාලය කා දමන එදිනෙදා ක්‍රියාවලි නිරවුල් මනසින් යුතුව හඳුනා ගත යුතුය. එය ඇබ්බැහි වීම්, අකාර්යක්ෂම ක්‍රියාවලි, පුද්ගලිකව බලපාන්නාවූ ආතතිමය හෝ මානසිකමය වියවුල් විය හැක.

    නිරන්තරයෙන් තම කටයුතු විචාරය කිරීමෙන් සහ සිහියෙන් සිටීම තුලින් මෙම අනිසි තත්ත්ව කලමණාකරණය කිරීම පහසුය.

    මුල් අවස්ථාවේදී කාලය කා දමන ක්‍රියාවලි දුරලීම අතිශයින්ම අපහසු විය හැක. එහෙත් එම අපහසුතාව “තමා විසින් ඇතිකර ගත් බාධාවක් – self imposed barrier” බව සිහියේ තබා ගත යුතුවේ. එම බාධාව තරණය කිරීම, තමා විසින්ම කල යුත්තකි.

    1. සිත සන්සුන් කරවන ක්‍රියාවක යෙදීම සහ ආතතිය දුරු කිරීම

    සිතේ නොසන්සුන් කම හේතුවෙන් අපගේ වටිනා කාලය අපට නොදැනීම වියැකී යයි. සන්සුන් මනස අපහට නිවැරැදි මාවත පෙන්වයි. කෙටි වේලාවක් වැයකොට හෝ සිත සන්සුන් කර ගැනීම තුලින්  අපහට නොසිතූ  අසීමිත වාසිසහගත ප්‍රතිඵල ලඟා කරගත හැක. එය ගීත ශ්‍රවණය, ගායනය, වාදනය, නර්තනය වැනි සෞන්දර්යාත්මක ක්‍රියාවක් ඔස්සේ හෝ, භාවනාව වැනි ආධ්‍යාත්මික ක්‍රමයක් ඔස්සේ හෝ ලඟා කරගැනීමට අප දක්ෂ විය යුතුය.

    1. ඉදිරි දිනය සැලසුම් කොට සන්සුන් මනසින් නින්දට යාම.

    ඉදිරි දිනය මැනවින් සැලසුම් කිරීම තුලින් සිතේ ඇතිවන අනිසි කලබලකාරී තත්ත්වය මැඩලිය හැක. මනසේ ඇති අස්ථාවරත්වය සහ කනස්සල්ල දුරු කරගැනීම  තුලින් ස්වාභාවික ලෙස සිදුවන ශාරීරික සහ මානසික සෞඛ්‍යය පිරිහීම අවම කරගත  හැක. සන්සුන් මනසකින් යුතුව නින්දට යාමෙන් සහ උදෑසන ප්‍රබෝධමත්ව පිබිදීමෙන් සැලසුම් සහගතව ජීවිතයේ අභිමතාර්ථ ජයගැනීමට අප සැමට හැකිවේවා!.

    එඤ්ඤං
    මං
    සත්‍යගවේෂී

    සත්‍යගවේෂී

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.