fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලි - මිනිස් සාම ව්‍යාපෘතියට හම්බන්තොට වරාය මුලපුරයි

    අලි – මිනිස් සාම ව්‍යාපෘතියට හම්බන්තොට වරාය මුලපුරයි

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුම් සීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන්, ඒ වෙනුවෙන් තිරසාර විසඳුමක් ලෙස අලි-මිනිස් සාම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

    ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය විසින් ඇමෙරිකානු ඩොලර් පනස්දහසක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පරිත්‍යාග කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයක මෙසේ දැක්වේ.

    හම්බන්තොට කලාපයේ ක්‍රියාත්මක වන විශාලතම ව්‍යාපාරික ආයතනවලින් එකක් වන හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), ඉතා ශක්තිමත් සමාජ වගකීම් (CSR) පරිශ්‍රමයකින් සමන්විත වන අතර එහි ඉලක්කය වන්නේ ජනතාව සහ අවට ලෝකය කෙරෙහි සැලකිලිමත් වෙමින් තම ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීමයි. දිවයිනේ ප්‍රධාන පාරිසරික හා සමාජීය ගැටලුවක් බවට පත්ව ඇති ‘අලි – මිනිස් ගැටුම’, අවට ප්‍රජාවන්ට සහජීවනයෙන් ස්වභාවධර්මය සමඟ වෙසෙමින්, ඔවුන්ගේ ජීවනෝපාය සහතික කරගැනීම සඳහා, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) විසින් ක්‍රියාත්මක කර ඇති දිගුකාලීන සමාජ මෙහෙවරට, බොහෝ සෙයින් ගැලපෙන බව වරාය කළමනාකාරීත්වය හඳුනාගෙන ඇත.

    එම නිසාම, මෙම ගැටලුව සඳහා තිරසාර විසඳුමක් ගෙන ඒමේ දිගුකාලීන මුලපිරීමකට මූලිකත්වය දෙන අලි-මිනිස් සාම අරමුදලක් පිහිටුවීමට වරාය සැලසුම් කර ඇත. HIPG සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව, පරිත්‍යාග කරන ලද අරමුදල් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් හසුරවනු ලබන අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වේ.

    සැලැස්මේ මූලික අදියර තුළ, දැනට හඳුනාගෙන ඇති අධි අවදානම් කලාපවල විදුලි වැටවල් සවි කිරීමටත්, අලි – මිනිස් ගැටුම පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමටත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අදහස් කරයි. ව්‍යාපාරික ආයතන දැනුවත් කිරීමද මේ යටතේ සිදු කරනු ඇත. ගොඩනැගිලි ව්‍යාපෘති ආදී සංවර්ධන කටයුතු සිදු කිරීමේදී, තත්වය පිළිබඳ සැලකිලිමත් වෙමින් පූර්වාරක්ෂිත පියවර ගැනීමට මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් ඔවුනට උපකාරී වනු ඇත. ඔවුන්ගේ ව්‍යාපෘති ස්ථානයන්හි තොරතුරු පුවරු සහ සංඥා පුවරු තැබීම, අවට මාර්ග පිරිසිදු කිරීම, අගල් හෑරීම, පූර්ව අනතුරු ඇඟවීම සඳහා විදුලි පහන් සවි කිරීම යනාදි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සඳහා ව්‍යාපාර උනන්දු කරවීම වනජීවී දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තුවයි. එමෙන්ම, අලි ඇතුන් ආහාර සොයා ගම් වැදීම වැලැක්වීමේ අටියෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මගපෙන්වීම යටතේ, වනාන්තර ප්‍රදේශවල ගස් වගා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමටද වනජීවී දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

    අලි මිනිස් ගැටුමට විසඳුමක් ගෙන ඒම සඳහා, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය විසින් අනුග්‍රහය දක්වන දෙවන වැඩසටහන මෙය වන අතර, මේ දක්වා මෙවැනි ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් 100,000 කට අධික මුදලක් පරිත්‍යාග කර අවසන්ය.

    හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමඟ ඇති කරගත් හවුල්කාරීත්වය පිළිබඳ අදහස් දක්වමින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා පවසන්නේ, මෙම මුලපිරීම, දශක ගණනාවක් තිස්සේ පවතින ගැටුමට තිරසාර අවසන් විසඳුමක් වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන බවයි. “HIPG විසින් මෙම වැඩසටහනට මුල්‍යමය වශයෙන් සහාය දක්වන අතර, අලි මිනිස් ගැටුම් අවම කිරීමේ කෙටි කාලීන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මෙන්ම දිගුකාලීන විසඳුම් සෙවීමටත් වනජීවී දෙපාර්තමේන්තුවට අවශ්‍ය ශක්තිය සහ සහය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරමු. අනාගතයේ දී මිනිසා සහ අලි අතර ‘ගැටුම්’ යන වචනය වෙනුවට ‘සාමය’ යන වචනය ආදේශ වනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි.”

    “මෙම පාරිසරික හා සමාජීය ප්‍රශ්නයට කල්පවත්නා විසඳුමක් සෙවීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය දක්වන උනන්දුව අගය කරනවා මෙන්ම, ඉතා කෙටි කාලයක් ඇතුලත මෙම පරිත්‍යාගය ලබාදීම පිළිබඳව අපගේ කෘතඥතාව පළ කරමු. හම්බන්තොට ප්‍රදේශයට සැබෑ සංවර්ධනයක් ලඟා කිරීමට නම්, මිනිසා ස්වභාවධර්මයට එකඟව ජීවත් විය යුතුයි. මෙම ව්‍යාපෘතිය, අලි වාසස්ථාන තුළ මිනිස් ක්‍රියාකාරකම් අඩු කර ගැටුම් අවම කරනු ඇතැයි අපගේ විශ්වාසයයි. ජීවත් වීමට බිම්කඩක් සෑම කෙනෙකුටගේම අවශ්‍යතාවය වන අතර මෙම දැවෙන ප්‍රශ්නයට ශක්‍ය විසඳුම් ඉදිරිපත් කිරීමට මෙම පරිත්‍යාගය අපට උපකාරී වනු ඇත. සැමට සාමකාමී ප්‍රතිඵලයක් ගෙන ඒම සඳහා විනිවිදභාවයෙන් සහ වගවීමෙන් යුතුව කටයුතු කරමින්, වරාය සමඟ ඇති හවුල්කාරිත්වයට උපරිම සහයෝගය දීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කැපවී සිටී ,”යැයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමනසේකර මහතා සඳහන් කරයි.

    ගැටුමෙන් විපතට පත් ගම්වැසියන් මුහුණ දෙන ගැටලු සොයා බලා ඒකාබද්ධව විසඳුම් සෙවීමේ අරමුණින් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය බලාපොරොත්තු වේ.

    හම්බන්තොට සමුද්‍රීය මධ්‍යස්ථානයේ පැවැත්වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිලධාරින් සහභාගි විය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.