fbpx
තවත්
    මුල් පිටුවspecialඅරපිරිමැසුම්දායි නවෝත්පාදනය - Frugal innovation

    අරපිරිමැසුම්දායි නවෝත්පාදනය – Frugal innovation

    ලෝකයේ ජනගහනයෙන් තුනෙන් දෙකක් ආර්ථික වශයෙන් අවම ඉපැයුමකින් ජීවත් වෙති. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වාර්තාවේ දැක්වෙන පරිදි, ලෝක ජනගහනයෙන් බිලියන 4ක් වාර්ෂික ඒකපුද්ගල ආදායම එ.ජ. ඩොලර් (USD) 1500 කට අඩු ආදායමක් සහිත රටවල වෙසෙති. මෙම ජන සමූහයේ යහසාධනය වෙනුවෙන් අරපිරිමැසුම්දායි නවෝත්පාදනය (Frugal innovation) අවශ්‍ය වේ. එමෙන්ම, සම්පත් වල ඌණතාවයන් මෙන්ම තරගකාරි වෙළඳපොළ තුල, ස්ථාවරව පැවතීම සඳහා ව්‍යාපාර තුලද, අරපිරිමැසුම්දායි නවෝත්පාදනය අත්‍යවශ්‍ය සාධකයක් වෙමින් පවතී. ආර්ථික අර්බුදය හමුවේ අපහට ද, සාම්ප්‍රදායික නවෝත්පාදනයෙන්, අරපිරිමැසුම්දායි නවෝත්පාදනය කරා ගමන් කිරීමට සිදුවී ඇත.

    නවෝත්පාදනය යනු කුමක්ද?

    විවිධ පාර්ශව විසින් නවෝත්පාදනය පිලිබඳව විවිධ අර්ථකථන ඉදිරිපත් කර තිබෙන අතර, ISO 56000:2020 ට අනුව අර්ථ දක්වා ඇත්තේ ” a new or changed entity, realizing or redistributing value” ලෙසය.  එනම්, නවෝත්පාදනය යනු “නව්‍ය හෝ වෙනස් කරන ලද යමක, නව අගයක් හඳුනා ගැනීමක් හෝ නව අගයක් හඳුන්වාදීමකි.”

    තරගකාරී වෙළඳපොළක් තුල ස්ථාවරව පැවතීම සඳහා ආයතනයක් යම් ප්‍රගතියක් රඳවා ගත යුතුවේ. ප්‍රගතියක් දැක්වීම සඳහා නව හඳුන්වාදීම් අවශ්‍ය වේ. මේ සඳහා ඇති එකම මාර්ගය නවෝත්පාදනයයි. මෙනිසා සෑම ආයතනයක්ම තම භාණ්ඩ සහ සේවා නිරන්තරයෙන්ම නවෝත්පාදනයට ලක්කල යුතුවේ.

    සාම්ප්‍රදායික ආයතන වැඩි ආදායම් ජනනය කිරීම හෝ ඉහල ආදායම් සහිත පාරිභෝගික ස්ථරය පමණක් ආකර්ශනය කර ගැනීම පදනම්ව මිළ  අධික නවෝත්පාදන සිදුකරනු ලැබේ. එහෙත් අවසන් නිෂ්පාදනය හෝ සේවාව බහුතර පාරිභෝගිකයන් හට ලඟාකරගත නොහැකි වේ.

    ලෝක ආර්ථික පිරමීඩයේ පාදම

    Redefining BOP : in pursuit of sustainable opportunity at the base of the  economic pyramid | Semantic Scholar

    ලෝක ආර්ථිකය, වාර්ෂික ඒක පුද්ගල ආදායම අනුව පිරමීඩයකට දක්වා ඇති අතර, එය ස්ථර හතරකින් දක්වා ඇත. ඉන් පහලම ආදායම් ස්ථරයේ බිලියන හතරක ජනගහනයක් සිටිති. මෙම ජනගහනය වෙත යොමුවීම හරහා විවිධ අරපිරිමැසුම්දායි නවෝත්පාදන ක්‍රමවේද කරා යොමුවීමට බහුජාතික සමාගම් අද යොමුවෙමින් සිටී. එමගින් අධික ලාභයක් ලබාගැනීමට බහුජාතික සමාගම් සමත්ව ඇත.

    එමෙන්ම ඉන්දියාවේ අමූල් කිරි ආශ්‍රිත සමූපකාර සමාගම, බංග්ලාදේශයේ ග්‍රාමීන් ක්ෂුද්‍ර මූල්‍ය සංවිධාන පිරිමැසුම්දායි නවෝත්පාදනය සඳහා යොමුවී ඇත.  සාම්ප්‍රදායික ආයතන වලට අභියෝගයක් වන ලෙසට අඩු ආදායම්ලාභී සහ අවම අධ්‍යාපනයක් සහිත ග්‍රාමීය ජනතාව නගා සිටුවීමට ඉහත ආයතන නවෝත්පාදනය භාවිතා කිරීම සිදුකර ඇත. එහිදී සාම්ප්‍රදායික ක්‍රමෝපායයන් සරළ කිරීමත්, අඩු වියදම් ක්‍රියාවලි හඳුන්වා දීමත් සිදු කොට ඇත. අත්‍යවශ්‍යම අංග පමණක් එක්කොට අරපිරිමැසුම්දායි නවෝත්පාදනය සිදු කර ඇත.

    අරපිරිමැසුම්දායි නවෝත්පාදනය සිදු කිරීමට අසීරුද ?

    අරපිරිමැසුම්දායි නවෝත්පාදනය අසීරු කාර්යයක් නොවන ලෙස සිදුකිරීමට නිර්මාණශීලී චින්තනය මහෝපකාරී වේ. මෙය සිදුකිරීමට පහත ආකාරයේ ක්‍රියාමාර්ග ගත හැක.
    1. පවතින ක්‍රමවේදය පූර්ණව අධ්‍යයනය කිරීම සහ එයට සිදු කළ හැකි අගය එකතු කිරීම් පිළිබඳ විමසුමට ලක්කිරීම
    2. නවෝත්පාදනය පිළිබඳව සිතීමට සහ ඉලක්කගත වීමට කාලය වෙන්කිරීම
    3.අසාර්ථකත්වය පිළිගැනීම, අසාර්ථකත්වය සාර්ථකත්වය කරා ගෙනයාමට බුද්ධිකලම්බනය කිරීම.
    4. අවදානම ගැනීමට දිරිමත් වීම.
    5. සංවාදය සහ සහයෝගිතාවය දිරිමත් කිරීම
    6. සෑම වෙනස්කමක්ම කුඩාවට අරඹා එය ඉහල ඉලක්කයක් කරා නොනැවතී ගමන් කිරීම
    7. අනෙක් කටයුතු වලද අඛණ්ඩව නිරත වීම

    අරපිරිමැසුම්දායි නවෝත්පාදනය  සඳහා උදාහරණ

    1. Godrej ChotuKool ශීතකරණ
    Chotukool: Keeping things cool with frugal innovation

    ආහාර නරක්වීමෙන් වන නාස්තිය අවම කිරීම සඳහා අවම මිළකින් යුතු ශීතකරණයක් හඳුන්වාදීමට Godrej ආයතනය කටයුතු කර ඇත. ඉන්දියාවේ 80% ක් ගෘහ ඒකක වල ශීතකරණ භාවිතා නොවීම පිළිබඳව අධ්‍යයනය කර දැරිය හැකි මිළකට ශීතකරණයක් ලබා දීමට Godrej ආයතනය පිරිමැසුම්දායි නවෝත්පාදනයක් සිදුකරන ලදී. බොහෝ ගෘහ ඒකක දිනකට ඩොලර් 5 කට අඩු ඉපැයීමක් සිදු කරන සමාජයක, කම්ප්‍රෙෂර් (වායු සම්පීඩකයක්) නොමැති මෙම ශීතකරණ නවෝත්පාදනය  ජනතාව විසින් වේගයෙන් වැළඳ ගනු ලැබිණ. මෙම අරපිරිමැසුම්දායි ශීතකරණය හඳුන්වා දීමෙන් දෙවන වර්ෂය වනවිට ශීතකරණ ලක්ෂයක් අලෙවි කරගත හැකිවිය.

    වර්ෂ 2012 දී ලබා දුන් එඩිසන් සම්මානයේ, සමාජ බලපෑම් කාණ්ඩය සඳහා රන් ත්‍යාගය ඔවුන්ට  ලබාගත හැකිවිය.
    ආහාර සුරක්ෂිතතාවය සහ ජනජීවිතයට මහඟු පිටුවහලක් ගෙනදීමට සමත්වූ මෙම නවෝත්පාදනය වෝල්ට් 12 ක සරළ ධාරාවකින් (12 V DC voltage) ක්‍රියාත්මක කිරීමට හැක. අතේ ගෙනයා හැකි වන අතර අවම මිලකින් යුතුවේ.

    1. පිලිපීනයේ වතුර බෝතල බල්බය

    පිලිපීනයේ මුඩුක්කු ආලෝකවත් කිරීමට පිරිමැසුම්දායි නවෝත්පාදනයක් ලෙස වතුර බෝතල ආලෝකය බල්බ දැක්විය හැක. තහඩු වහලයට  ලීටරයක ප්ලාස්ටික් හිස් බීම බෝතලයක් සවිකොට සූර්යයාලෝකය මුඩුක්කු නිවෙස තුලට පරාවර්තනය කිරීමෙන් දිවාකල ආලෝකවත් කිරීම සිදුකරති. එම බෝතලය  බ්ලීචින් දියර ස්වල්පයක් මුසුකළ ජලය පුරවා තිබෙන අතර, එමගින් ආලෝකය හොඳින් ලබාදේ. බ්ලීචින් (සෝඩියම් හයිපොක්ලෝරයිට්/ ක්ලෝරොක්ස්) යෙදීමෙන් ඇල්ගී වර්ධනය වලකා ඇත.
    මෙම වතුර බෝතල් “බල්බය” මගින් වොට් 55 ක එළියක් ලබා දෙයි. එමෙන්ම මාසිකව ඩොලර් 10 ක පමණ විදුලි බිලක් ඉතිරි කර දෙන බව පැවසේ.

    Illac Diaz inspects a solar light bulb with Siplicio Mondas, 73, in Manila. Diaz heads the nonprofit MyShelter Foundation, which is overseeing this solar lighting project.

    1. නොකියා 1100 ජංගම දුරකථන මාදිලිය
    Unlocked Nokia 1100- Buy Online in Sri Lanka at Desertcart - 3524452.

    ජංගම දුරකථන අතර ප්‍රමුඛ සන්නාමයක් වන නොකියා (Nokia), සිය 1100 මාදිලිය මූලික ලක්ෂණ පමණක් සහිත, කල් පවතින ලෙස පාරිභෝගිකයන් හට අඩු මිළකට හඳුන්වා දෙනු ලැබිණ. එහි  ෆ්ලෑෂ් ලයිට් වලට අමතරව වාචික සන්නිවේදනය  සහ කෙටිපණිවුඩ හැර වෙනත් විශේෂාංග කිහිපයක් පමණක් සිදුකිරීමේ හැකියාව තිබුණි. දුප්පතාගේ හිතවතා ලෙස ප්‍රචලිතවූ මෙම ජංගම දුරකථන මාදිලිය එළිදැක්වූ 2003 වර්ෂයේ සිට කෙටි කලකදී මිලියන 200කට ආසන්න ප්‍රමාණයක් අළෙවි කරනු ලැබිණ. එය ඉතිහාසයේ වැඩියෙන්ම අලෙවි වූ ජංගම දුරකථන මාදිලි වලින් එකක්ව ඇත.

    1. ජායිපූර් කෘතීම පාද

    ජායිපූර් කෘතීම පාද තාක්ෂණය  1968 දී කීර්තිමත් විකලාංග ශල්‍ය වෛද්‍යවරුන් සහ නව්‍යකරණ පිළිබඳ පෘථුල ශිල්පීන්ගේ ඒකාබද්ධ උත්සාහයකි. ශාරීරික ආබාධ වලට ලක්වූවන්ගේ සමාජ-සංස්කෘතිකව බලගැන්වීම සහ අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කරන ලද කෘතිම අවයවයකි. 

    මෙය ඉන්දියාවේ විශිෂ්ට විද්‍යාත්මක නවෝත්පාදනයන්ගෙන් එකක් වන අතර, වසර ගණනාවක් පුරා අසරණ වූ දහස් ගණනකගේ ජීවිත විශාල ලෙස වෙනස් කර වැඩිදියුණු කළේය.  මෙම සැහැල්ලු, අඩු වියදම් කෘත්‍රීම පාද ඉතා සාර්ථක වී ඇති අතර එය ලෝකයේ වැඩිපුරම භාවිතා වන කෘත්‍රීම පාද වර්ගය බව පැවසේ.

    කාබන් තන්තු වලින් සාදන ලද එකල බොහෝ කෘත්‍රිම පාද මෙන් නොව, ‘ජයිපූර් පාදය’ නිර්මාණය කර ඇත්තේ රබර්, ප්ලාස්ටික් සහ දැව භාවිතා කරමිනි. අවම වියදමකින් උසස් තත්ත්වයෙන් යුතු කෘතිම පාද හඳුන්වා දීමෙන් විශාල සේවයක් ලොවට සිදුකර ඇත.

    Jaipur Foot: A Cost Effective Prosthetic Leg

    පසුවදන

    පිරිමැසුම්දායි නවෝත්පාදනය ලෝකයේ ඉදිරිගමනට අත්‍යවශ්‍ය වේ. අඩු ආදායම් ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල ලෑමටත්, අවම සම්පත් යෙදවුමකින් විශිෂ්ට නිෂ්පාදන සැකසීමටත්, පිරිමැසුම්දායි නවෝත්පාදනය අත්‍යවශ්‍ය වේ. පවතින ආර්ථික අර්බුදය හමුවේ අපහට පිරිමැසුම්දායි නවෝත්පාදනය වෙත යොමු වීමට නුදුරු අනාගතයේදී  සිදුවේ. ඒ සඳහා අපගේ නිර්මාණශීලී චින්තනය අවදි කර ගනිමු.

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම ලංකා රසායන විද්‍යා ආයතනයේ උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති (MBA) පශ්චාත් උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයෙන් ආචාර්ය උපාධිය (Ph.D) ලබාගත්තේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් (SLSI) මෙහෙයවූ තත්ත්ව කළමණාකරණ ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය පර්යේෂණායතනයක පර්යේෂණ තාක්ෂණඥයෙකු ලෙස සේවය කරයි. සමරවික්‍රම මහතා, ස්වභාවික විද්‍යා සහ සමාජවිද්‍යා පර්යේෂණවල නියුතු පර්යේෂකයෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම
    ආචාර්ය දිනෙත් සමරවික්‍රම ලංකා රසායන විද්‍යා ආයතනයේ උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති (MBA) පශ්චාත් උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයෙන් ආචාර්ය උපාධිය (Ph.D) ලබාගත්තේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් (SLSI) මෙහෙයවූ තත්ත්ව කළමණාකරණ ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය පර්යේෂණායතනයක පර්යේෂණ තාක්ෂණඥයෙකු ලෙස සේවය කරයි. සමරවික්‍රම මහතා, ස්වභාවික විද්‍යා සහ සමාජවිද්‍යා පර්යේෂණවල නියුතු පර්යේෂකයෙකි.

    2 Comments

      • ස්තුතියි ඔබගේ දිරිමත් කිරීම පිලිබඳව. දෙවන කොටසක් ලියමි.
        දිනෙත් සමරවික්‍රම

    Leave a Reply to SameeraCancel reply