fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට රූපවාහිනී විකාශය හෙට සිට ඩිජිටල් වෙයි (📹)

    මෙරට රූපවාහිනී විකාශය හෙට සිට ඩිජිටල් වෙයි (📹)

    යල්පිනූ තාක්ෂණයක් මගින් දැනට මෙරට පවත්වාගෙන යන මෙරට රූපවාහිනී විකාශ කටයුතු ලොව සුපිරිම තාක්ෂණය වෙත පරිවර්තනය කිරීමේ දැවැන්ත ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හෙට (28) කොළඹදී ආරම්භ වෙයි.

    ඒ අනුව දැනට පවතින රූපවාහිනී විකාශන ක්‍රමවේදය වන Analog ක්‍රමයෙන් දැනට ඇති සුපිරිතම තාක්ෂණය වන Digital ක්‍රමයට පරිවර්තනය කිරීමේ දැවැන්ත මහා පෙරළියත් සමඟ ජනතාවට තම රූපවාහිනී තිරයෙන් වඩා සුපැහැදිලි දසුන් නැරඹීමට හැකියාව පවතී.

    සුපැහැදිලි දසුනින් අනාගතය දකින මෙම ඩිජිටල්කරණ ව්‍යාපෘතිය හෙට ප.ව. 7ට කොළඹ, ටාජ් සමුද්‍රා හෝටලයේදී ඇරැඹෙන්නේ ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රධානගේ ප්‍රධානත්වයෙනි.

    ජපාන රජයෙන් ශ්‍රී ලංකාවට දෙන සුවිශේෂ මූල්‍ය පහසුකමක් යටතේ ආරම්භ කෙරෙන මෙම නව ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි මහතා ද සහභාගී වීමට නියමිතය.

    දැනට මෙරට ක්‍රියාත්මක විකාශන ක්‍රමවේදය යටතේ එක් එක් නාලිකාවකට තනි තනි සංඛ්‍යාත පරාස භාවිතා කිරීමට සිදුවෙයි.

    එනමුත් නව ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ඔස්සේ මෙරට සංඛ්‍යාත පරාසය (Frequncy Spectrum) සුවිසල් ධාරිතා වර්ධනයක් සිදුවීමත් සමඟ තනි සංඛ්‍යාතයකට ධාරිතාව අට ගුණයකින් නොඑසේ නම් සියයට 800කින් ඉහළ යාමක් සිදුවේ.

    මේ නිසාම දැනට මෙරට ක්‍රියාත්මක රූපවාහිනී නාලිකාවලට අමතරව තවත් රූපවාහිනී නාලිකා 200ක්, වැඩසටහන් රාශියක් අලුතින් විකාශය කිරීමට ඉඩ ලැබේ.

    සඛ්‍යාත පරාසය භාවිතා කිරීමේදී රූපවාහිනී නාලිකාවලට ලබා දෙන ප්‍රමාණය ඵලදායි හා කාර්යක්ෂමව භාවිතයට ගැනීමට ඉඩ සැලසෙන අතර, අතිරේක සංඛ්‍යාත භාවිතයට ගනිමින් රැහැන් රහිත පුළුල් පරාස (Broadband) සහිත අන්තර්ජාල පහසුකම් ග්‍රාමීය ජනතාවට ලබා දීමට හැකියාව ලැබේ.

    ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) විසින් ඉතා සරල කොන්දේසි යටතේ වසර දහයක සහන කාලයක් සහිතව වසර හතළිහකින් ගෙවා නිම කළ යුතු මූල්‍ය පහසුකමක් මෙරටට දෙමින් මෙම ව්‍යාපෘතිය බලගැන්වීමට කටයුතු කෙරේ.

    ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සඳහා හුරුවීමට අවශ්‍ය විකේතන උපකරණ (STBs) පහසු මිලකට ජනතාවට ලබාදීමට ද ඒවා තරගකාරී වෙළෙඳපොළ තුළ අවශ්‍ය ප්‍රමාණයට සැපයීමක් ලෙස ඕනෑම කෙනෙකුට මිලදී ගැනීමට ද හැකි පහසුකම් වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකා රජයත් ජපානයත් එකඟතාවකට පැමිණ ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.