fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැති සබේ මන්ත්‍රීලා කියන කියන දේ මුද්‍රණය කරන්න දිනකට මිලියන 10ක්

    මැති සබේ මන්ත්‍රීලා කියන කියන දේ මුද්‍රණය කරන්න දිනකට මිලියන 10ක්

    පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව මුද්‍රණය කිරීම සඳහා දෛනිකව රුපියල් මිලියන 10ක පමණ මුදලක් වැය වන බව අනාවරණය වී තිබේ.

    හැන්සාඩ් වාර්තාව යනු පාර්ලිමේන්තු විවාද පැවැත්වෙන අතරතුර මන්ත්‍රීවරුන් විසින් ප්‍රකාශ කරනු ලබන, ශ්‍රවණය වන සෑම වචනයක්ම හැන්සාඩ් වාර්තාකරුවන් විසින් වාර්තා කර අංශ කීපයක් මගින් දෝෂ සකසා පිටපත්කර මුද්‍රණය කරන ලද්දකි.

    පාර්ලිමේන්තුව තුළ කඩදාසි භාවිතය අවම කරලීම සඳහා වන වැඩ පිළිවෙළක් ආරම්භ කිරීම වෙනුවෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්‌ මුලික සාකච්ඡාවක් අද දින (22) පරිසර අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.

    මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, පාර්ලිමේන්තුව පැවැත්වෙන හැම දිනයකම විවිධ පොත්පත්, පත්‍රිකා ආදි මන්ත්‍රීවරුන් නොපෙනෙන තරමට කඩදාසි ගොඩක් මේසය මත ගොඩගැසෙන බවයි.

    එම තත්ත්වය නිසා විශාල පාරිසරික හානියක් මෙන්ම සම්පත් නාස්තියක් ද සිදුවන බව අමාත්‍යවරයා පවසා ඇත.

    එමනිසා කඩදාසි භාවිතයෙන් තොර පාර්ලිමේන්තුවක් Paperless Parliament සඳහා කටයුතු කිරීමට පරිසර අමාත්‍යාංශය වැඩ පිළිවෙළක් යෝජනා කර තිබේ.

    මෙහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා පාර්ලිමේන්තුව පැවැත්වෙන එක් දිනක් තුළ කිලෝග්‍රෑම් 1200ක කඩදාසි පාර්ලිමේන්තුව තුළ පරිහරණය කරන බවත්, ඒ සඳහා අඩි 40 ගස් 37ක් කැපිය යුතු වන බවය.

    එමනිසා මෙම වැඩ පිළිවෙළ වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බව ඒ මහතා කියා සිටියේය.

    මේ අනුව කඩදාසි භාවිතයෙන් තොර පාර්ලිමේන්තුවක් සඳහා වන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමේ දී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට තමන් කතානායකවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    සාකච්ඡාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ පාර්ලිමේන්තුවේ නියෝජිතයින් කිහිප දෙනෙක් ද සහභාගි වී ඇත.
    මෙම කටයුතු 2022 වසරේ ජනවාරි මාසයේ සිටම ආරම්භ කිරීමට පියවර ගත යුතු යැයි ද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.