fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"සජිත්ගේ පියාණෝ දෝෂාභියෝගය වෙලේ වාරඅවසාන කරලා පුටුවල ඌරු තෙල් ගෑවා"

    “සජිත්ගේ පියාණෝ දෝෂාභියෝගය වෙලේ වාරඅවසාන කරලා පුටුවල ඌරු තෙල් ගෑවා”

    විපක්ෂය විසින් පාර්ලිමේන්තුව වාර අවසානයට එරෙහි වුවද විපක්ෂනායකවරයාගේ පියා වන හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා ද දෝෂාභියෝගය අවස්ථාවේ පාර්ලිමේන්තුව වාරඅවසාන කර පුටුවල ඌරු තෙල් ගෑ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    1947 සිට 50 වතාවක් පමණ ජනාධිපතිවරුන් විසින් එම පියවර ගෙන තිබූ බවත් මෙය අලුත් දෙයක් නොවන බවත් අමාත්‍යවරයා කියාසිටියේ කොළඹ හොරණ මාර්ගයේ අංක 9/2 වේරහැර පාලම ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද එක්වෙමිනි.

    මහාමාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අතින් අද දින වේරහැර දී මුල්ගල තැබිණි.

    වේරහැර පාලම ඉදිකිරීම සඳහා වැයවන වන මුදල රුපියල් මිලියන 285කි. දැනට මෙම පාලම මේ මීටර් 7 දිගින් යුක්ත වන අතර මීටර් 43.60 දක්වා පුළුල් වනු ඇත. පාලමේ පලල මීටර් 22 වන අතර මංතීරු 4 කින් සමන්විත වේ.මෙම පාලම ඉදිකීරීමට ගතවන කාලය මාස 15කි.මෙම පාලම ඉදි කිරීමත් සමග බොරලැස්ගමුව ගංවතුර තර්ජනය අවසන් වනු ඇත.

    එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් වාර අවසාන කිරීම ගැන අදහස් දැක් වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ ද කීය.

    “කිරිඇල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කියනවා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම වැරදියි කියල. දේශපාලන අර්බුද තියෙනවලු. අර්බුද වෙලාවෙ පාර්ලිමේන්තුව වාර අවසාන කරන්න එපාලු. මම අහනවා මොනවද තියෙන දේශපාලන අර්බුද කියල. 1947 සිට මේ දක්වා 50 වරක් පමණ වාර අවසාන කරලා තියෙනවා. මේක අළුත් දෙයක් නෙමෙයි. සජිත් ප්‍රේමදාස මහත්තයගෙ පියාණෝත් පාර්ලිමේන්තුව වාර අවසාන කලා දෝෂාභියෝගය වෙලාවෙ. වහලා පුටුවල ඌරු තෙල් ගෑවා.

    අනික අපි පාර්ලිමේන්තුව 2022 ජනවාරී 11 රැස්වෙන්න හිටියේ.දවස් 06ක් ඉවසන්න බැරිද.මේ විපක්ෂය කොවිඩ් කාලේ කිසිම උදව්වක් නොකල ලෝකෙ එකම විපක්ෂය. දැන් පාර්ලිමේන්තුව රැස් උනාම විපක්ෂය උපදෙස් දෙනවද අපට. චන්ද්‍රිකා මැතිණිය,ප්‍රේමදාස මහත්තයා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා,ජේ ආර් ජනාධිපතිතුමා මේ හැමෝම වාර අවසන් කලා. මේක මේ අලුත් දෙයක් නෙවෙයි. එල්ලෙන්න වැලක් නැතිව විපක්ෂය කොරහේ කිඹුල්ලු මවනවා. ඩොලර් අර්බුදයක් තියෙනවා හැබැයි අපි ජනතාව අපහසුතාවයට පත් කරන්නෙ නෑ කියල වගකීමෙන් කියනවා.විපක්ෂයට මම නැවත අභියෝග කරනවා වැඩ පිලිවෙලක් තියෙනවානම් කියන්න.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    මෙහිදී රට තුළ පවතින ගෑස් ප්‍රශ්නය පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ,

    “ගැස් ප්‍රශ්නයට ගෑස් සමාගම් සභාපතිවරුන් සමාගම් නිලධාරීන් ජනතාවට වහාම පිලිතුරු දිය යුතුයි. මම මාධ්‍යයෙන් දැක්ක සභාපතිවරයෙක්ව දුරකතනයෙන්වත් සම්බන්ධ කර ගන්න බැරි උන හැටි. හැංගිලා ඉන්න දෙයක් නෑ ආණ්ඩුව අපහසුතාවයට පත් නොකර ජනතාවට පිලිතුරු දෙන්න. ඒවගේම ඔවුන් මෙමෙ ගෑස් ප්‍රශ්නයට වහාම විසදුම් ලබාදිය යුතුයි. මම දැක්ක එක සභාපතිවරයෙක් වංචා හා දූෂණ ගැන කථා කරනවා. හැබැයි ගෑස් ප්‍රශ්න එනකොට හැංගිලා. ජනාධිපතිතුමා තනතුරු දීලා තියෙන්නෙ හැංගිලා ඉන්න නෙවෙයි. ප්‍රශ්න නැති වෙලාවල්වල වීරයෝ වෙන්න වොයිස්කට් දෙන එක නෙවෙයි කරන්න ඕනෙ ප්‍රශ්නයක් ආවම ඒකට මුහුණ දීලා විසදුම් දෙන එක. ආණ්ඩුව හා ජනතාව අපහසුතාවයට පත් නොකර.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.