fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ව්‍යාපාරිකහම්බන්තොට වරායට ස්මාර්ට් පහසුකම් මධ්‍යස්ථානයක්

    හම්බන්තොට වරායට ස්මාර්ට් පහසුකම් මධ්‍යස්ථානයක්

    ශ්‍රී ලංකාවේ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB), හම්බන්තොට සමුද්‍රීය මධ්‍යස්ථානයේ (HMC) ස්මාර්ට් පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සමඟ අතුරු බදු ගිවිසුමකට එළඹුණි. මෙම නව මධ්‍යස්ථානය, දකුණු පළාතේ ව්‍යාපෘති ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු කරන විදේශීය ආයෝජකයින් සඳහා පහසුකම් සලසනු ඇත.

    කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් පසුගිය දා වරාය පරීශ්‍රෙය් උත්සවයක්ද පැවැත්විණි. එහිදී HIPGහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරුන් විසින් ගිවිසුම අත්සන් කරන ලදී.

    මෙම පහසුකම් මධ්‍යස්ථානය ආයෝජකයින්ට සුදුසු නිශ්චල දේපල සොයා ගැනීමට සහ අනෙකුත් රාජ්‍ය ආයතන හරහා අවශ්‍ය අනුමැති වේගවත්ව ලබාගැනීමට අවශ්‍ය සහාය ලබා දෙනු ඇත. එමෙන්ම සමුද්‍රීය ගොඩනැගිල්ල තුළ පිහිටුවා ඇති මෙම නව කාර්මික සංවර්ධන පහසුකම් මධ්‍යස්ථානය, දැනටමත් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ එක් නැවතුම්පොළ පහසුකම් මධ්‍යස්ථානයත් (BOI-One-Stop- Service Center), සමඟ එක්ව නිර්මාණය කරන ආයෝජන හිතකාමී පරිසරය, හම්බන්තොට වරායේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන සියලුම අනාගත ආයෝජකයින්ට අමතර වාසියක් වනු ඇතැයි හම්බන්තොට වරාය බලධාරීන් සඳහන් කරයි.

    “දැන් බොහෝ අය චීනය ගැන විවිධ මත දරනවා. නමුත් ඔවුන් මොනවා කිව්වත් අපි දන්නවා චීනය කරලා තියෙන ආයෝජනවලින් වැඩි හරියක් අපිට ඩොලර් ආදායම උපදවා දෙන ආයෝජන මිසක් අපේ රටින් එළියට ඩොලර් ඇදගෙන යන ආයෝජන නොවෙයි. කොළඹ වරාය නගරයෙන් අපේ රටට ඩොලර් ආදායමක් ලැබෙනවා. අපිත් බදු වශයෙන් ඩොලර් එකතු කරනවා. හම්බන්තොට වරාය පූර්ණ සේවා වරායක් ලෙස ස්ථාපිත වූ පසු අපේ රටට විදේශ විනිමය ගෙන එනු ඇත. ඩොලර් උපයා ගත හැකි ව්‍යාපෘති අපට අවශ්‍යයි. අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත සඳහා සේවා වේගවත් කිරීම සඳහා අපි වරායට ආසන්නයේ පහසුකම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට තීරණය කළෙමු.” මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

    හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ව්‍යාප්තිය සහ සංවර්ධනය සෘජුවම දකුණු කලාපයේ සංවර්ධනයට සහ ශ්‍රී ලංකා ආර්ථිකයට සම්බන්ධ වන බැවින් කාර්මික සංවර්ධන මණ්ඩලයේ මෙම පියවර වරායට මෙන්ම දකුණු කලාපයට ඉතා ධනාත්මකව බලපානු ඇතැයි HIPGහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු පවසයි. එබැවින්, වරායේ කාර්මික කලාපය පමණක් නොව, වරායෙන් පිටත අනෙකුත් සියලුම කර්මාන්ත කලාප, අමුද්‍රව්‍ය සහ නිමි භාණ්ඩ ආනයනය කිරීම හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා සිදු කරනු ඇතැයිඔහුගේ බලාපොරොත්තුවයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව ප්‍රවර්ධනය කරමින්, ලොවට අප රට සාධනීයව ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනක HIPGහි වරාය ආයෝජන සේවා කණ්ඩායම යෙදී සිටින බවද ලියු මහතා සඳහන් කරයි. දේශීය හා ජාත්‍යන්තර වෙළඳපල සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරන සැහැල්ලු කර්මාන්තයන්හි විචිත්‍රවත් එකතුවක් හම්බන්තොට සහ යාබද දිස්ත්‍රික්කවල ළඟදීම දක්නට ලැබෙනු ඇතැයි ඔහුගේ විශ්වාසයයි.

    HIPGහි ප්‍රධාන විධායක නිලධාරී තිස්ස වික්‍රමසිංහ පවසන්නේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ කර්මාන්ත දියුණු කිරීමේ සාර්ථකත්වය සහ ඒ සඳහා අපනයන වෙළෙඳපොළක් නිර්මාණය කිරීම වරායේ කාර්යක්ෂමතාව මත රඳා පවතින බවයි. “මෙම අංශය තුළ අපි නිරතුරුවම අපගේම වාර්තා අළුත් කරමින් ඵලදායිතාව සහ සපයන පහසුකම්වල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඉහළ නංවමින් සිටිමු. අප විසින් මෑතකාලයේ හිමි කරගත් ISO සහතිකය, අපගේ කාර්යක්ෂම පද්ධති සහ ක්‍රියාවලීන් අනුමත කිරීමක් පමණක් නොව, සමස්ත දකුණු ආසියාවේම වරායක් සඳහා ලැබූ ජයග්‍රහණයක් ලෙස මා සලකමි. වරාය භාවිතා කරන සියලු දෙනාගේ විශ්වාසය ශක්තිමත් කිරීමට උපකාරී වන අයුරින්, වසරින් වසර අපගේ පද්ධති අඛණ්ඩව ගොඩනඟන්නට අප බැඳී සිටිමු.”

    හම්බන්තොට සමුද්‍රීය මධ්‍යස්ථානය වරායේ පරිපාලන ගොඩනැගිල්ලයි. දැනට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුලු විවිධ අංශයන්හි කාර්යාල එහි ස්ථාපිත වී ඇත. එයින් බහුතරයක් ප්‍රවාහන සහ වාණිජ ක්ශේත්‍රයන් වන අතර සංචාරක නියෝජිතයන්, සන්නිවේදනය, බැංකුකරණය, නැව්ගත කිරීම, රජයේ ආයතන, ඉන්ධන සහ ඉන්ධන තොග වශයෙන් සැපයීම, සමුද්‍ර සේවා, නැව් තැනීම සහ අලුත්වැඩියා කිරීම, ඉංජිනේරු සේවා, නිෂ්පාදන සහ ඉදිකිරීම් සමාගම්ද එහි ඇතුළත් වේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.