තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"පාකිස්ථානයේ ඉන්න සෙසු ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න"- ජනපති ඉල්ලයි

    “පාකිස්ථානයේ ඉන්න සෙසු ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න”- ජනපති ඉල්ලයි

    පාකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයකු වන ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමේ සිද්ධියෙන් තමා මහත් සංවේගයට පත්වන බවත් එරට වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙසත් එරට රජයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    එම නිවේදනය මෙසේය.

    “පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ මම මහත් සංවේගයට පත් වීමි.

    එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට සේ ම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයකි.

    අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ පාකිස්තානු රජය මෙම ම්ලේච්ඡ ඝාතනය සිදු වූ වහා ම යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ග පාකිස්ථානයේ අත්‍යන්ත මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව අගය කරන අතර මේ පිළිබඳ පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ද ශ්‍රී ලංකා රජයත්, සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් බලා සිටින බව කියනු කැමැත්තෙමි.

    එසේ ම පාකිස්තානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස පාකිස්තාන රජයෙන් මම ඉල්ලා සිටිමි.

    සිදුවීම සැලවූ වහා ම ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට මා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා දුන් උපදෙස් අනුව ඔවුන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් සිටී.

    කුමන ස්වභාවයකින් පැමිණිය ද අන්තවාදී ක්‍රියාකාරකම් සමාජය දැඩිව ව්‍යාකූල කරන්නේය. එබැවින් අන්තවාදයට එරෙහිව ලෝකය ම එක ම අරමුණක සිට ක්‍රියා කළ යුතු බව මෙවැනි සිදුවීම් තුළින් තව තවත් තහවුරු වේ.

    මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මේ මොහොතේ දැඩි කම්පනයට පත් ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සමීපතමයන් සමඟ මමත්, රජයත්, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවත් සිටින බව සිහිපත් කරමි.”

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img