fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"රජයේ ප්‍රතිපත්තියට එකඟ නැති නිලධාරීන්ට ඉවත් වෙන්න පුළුවන්"

    “රජයේ ප්‍රතිපත්තියට එකඟ නැති නිලධාරීන්ට ඉවත් වෙන්න පුළුවන්”

    හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති අතර රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත් වීමට බාධාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ සිටිමින් උද්ඝෝෂණය කරන ගොවීන් වෙනුවෙන් පිළිතුරු සෙවීමට නිලධාරීන් ක්‍රියා කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ගොවීන් උද්ඝෝෂණවල යෙදීමට සහ වගා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නොවීම බවත් එලෙස දැනුවත් නො කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද නිලධාරීන් වෙත සිය අප්‍රසාදය පළ කළේය.

    හිතට එකඟ ව, පැහැදිලිව වැඩ කරන කණ්ඩායමක සහාය මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා පැවසීය.

    මහ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින් ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, සහනාධාර ලබා දීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදු කරන බව ජනාධිපතිවරයා කියාසිටී.

    “ගොවීන් නිසි ලෙස දැනුවත් කළ යුතු ය. එමෙන් ම එය ක්‍රියාත්මක කිරීමේදී පවතින රසායනික පොහොර මාෆියාව පිළිබඳ හඳුනා ගත යුතු ය. ඒ සමග සටන් වැද නිවැරදි දේ ජයග්‍රහණය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යවශ්‍ය බව” ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    දිවයිනේ සියලු පළාත්වල වී ඇතුළු සෙසු භෝග වගා කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන්ගෙන් කරුණු විමසා බැලීය.

    පැවති අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය එළවළු ඇතුළු භෝග රැසක අස්වැන්න අඩු වීමට බලපා ඇත. එමෙන් ම කාබනික පොහොර බෙදාහැරීමේදී සිදු වූ ප්‍රමාදය නිසා මහ කන්නයේ වගා කටයුතුවලට බලපෑම් ඇති විය. එහෙත් දිස්ත්‍රික් මට්ටමින් සමස්ත වගා බිම්වලින් 70%කට ආසන්න භූමි ප්‍රමාණයක වගා කටයුතු ආරම්භ කර ඇති බව නිලධාරීහු පැවසූහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.