fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ව්‍යාපාරිකතාක්ෂණ පොකුරු හදන තෙවන ජාතික වැඩමුළුව මධ්‍යම කලාපයේදී

    තාක්ෂණ පොකුරු හදන තෙවන ජාතික වැඩමුළුව මධ්‍යම කලාපයේදී

    ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමේ අරමුණ පෙරදැරිව ජාතික ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියේ පුරෝගාමී වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් තාක්ෂණ අමාත්‍යාංශය, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL), විදුලි සංදේශ හවුල්කරුවන්, කර්මාන්ත හවුල්කරුවන් හා එක්ව කලාපීය හවුල්කරුවන්ගේ ද සහභාගිත්වයෙන් ජාතික ඩිජිටල් පරිවර්තන න්‍යායපත්‍රය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ කලාපීය තාක්ෂණික පොකුරු (Technology Clusters) නිර්මාණය කිරීම උදෙසා දින දෙකකින් සමන්විත ජාතික සමුළුවක් මධ්‍යම කලාපය මුල්කරගෙන දියත්කරනු ලැබීය.

    මධ්‍යම කලාපීය වැඩසටහන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරනු ලැබූ තෙවන වැඩමුළුව වන අතර කලාපීය තාක්ෂණ පොකුරු වැඩමුළු මාලාවේ පළමු කලාපීය වැඩසටහන උතුරු පළාත ඉලක්ක කරගනිමින් ජූනි මස දී පැවති අතර දෙවන කලාපීය වැඩසටහන පසුගිය අගෝස්තු මස දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පවත්වනු ලැබීය.බස්නාහිර හා නැගෙනහිර කලාප මූලික කරගනිමින් තවත් වැඩමුළු ද්විත්වයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇත.

    මධ්‍යම, උතුරු මැද සහ සබරගමු පළාත් නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් 1000කට අධික පිරිසක් මෙම වැඩමුළුව හා සම්බන්ධ විය. මෙම වැඩසටහන හරහා මධ්‍යම කලාපයේ රාජ්‍ය ආයතන, විදුලි සංදේශ හා තාක්ෂණ කර්මාන්ත නිලධාරීන්, කෘෂිකර්මාන්තයේ නියුතු සුළු හා මධ්‍ය පරිමාණ අංශයන්, අධ්‍යාපන අංශයන් හා අනෙකුත් කර්මාන්ත හා ඒකාබද්ධව කටයුතු කරමින් නව තාක්ෂණික පර්යේෂණ හා සංවර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම මෙන්ම විශේෂඥයන්ගේ ගේ සහය ඇතිව නවීන හා උසස් තාක්ෂණය හඳුන්වාදීම සඳහා ද මූලික අවධානය යොමුකරන ලදි.

    නොවම්බර් මස 05 වන දින පවත්වනු ලැබූ ප්‍රධාන පාර්ශවකරුවන් සම්බන්ධ කිරීමේ වැඩසටහනට සහභාගී වූ 1200 කට අධික පිරිසක් සම්මුඛව මෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ද සහභාගි විය. මෙම වැඩසටහන වැඩි පිරිසක් අතරට රැගෙන යාම සඳහා සිංහල, දෙමළ හා සංඥා භාෂාවන්ට පරිවර්තනය කර විකාශය කරන ලදි. නොවම්බර් මස 06 වන දින රාජ්‍ය අංශ වැඩමුළුව මධ්‍යම, උතුරු මැද හා සබරගමු පළාත් නියෝජනය කරමින් දිස්ත්‍රික් ලේකම්වරුන් හා රාජ්‍ය ආයතන කාර්යමණ්ඩල වල සහභාගිත්වයෙන් සාර්ථකව පවත්වනු ලැබූ අතර 1000 කට අධික පිරිසක් සක්‍රීයව සහභාගි විය.

    මෙම වැඩමුළුවේ අදහස් ප්‍රකාශකරමින් තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්තද සිල්වා මහතා සඳහන් කළේ “කොළඹ නගරය වාණිජ අරමුණු සඳහා එකම මධ්‍යස්ථානය ලෙස සැලකීමේ සාම්ප්‍රදායික මතය නිෂ්ප්‍රභා කරමින් තාක්ෂණය භාවිතයෙන් සෑම ගමක්ම වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්කර ගතහැකි බවයි”.
    තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයේ (ICTA) සභාපති සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක මහතා ධනාත්මකව අදහස් දක්වමින් ප්‍රකාශකළේ “තාක්ෂණික භාණ්ඩ හා සේවා අපනයනයෙන් මෙම වසර තුළදී ඩොලර් බිලියන 1.5 ක අපනයන ආදායමක් උපයාගත හැකි වූ බැවින් 2024 වන විට ඩොලර් බිලියන 3 ක අපනයන ආදායමක් උපයා ගැනීමේ රජයේ ඉලක්කය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මගින් සාක්ෂාත් කරගත හැකි බවයි”. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, “අරමුණු සාක්ෂාත් කරගැනීම වේගවත් කිරීම උදෙසා උදෙසා ආරම්භක තාක්ෂණ ව්‍යාපාරික මධ්‍යස්ථාන සෑම දිස්ත්‍රික්කයකින්ම ඇතිකිරීම” අරමුණ බවයි.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද බී හේරත් මහතා ප්‍රකාශ කරනු ලැබූවේ “ශ්‍රි ලංකා රජයේ දැක්ම වනුයේ, රට තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉදිරියට ගෙනයන ලබන්නාවූ මෙන්ම උසස් තාක්ෂණය සමගින් ස්වයං මෙහෙයුම් ක්‍රියාවලිය හසුරුවනු ලබන්නා වූ නියෝජිතායතනය බවට තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනය (ICTA ) පත්කිරීමයි. ICTA විසින් ක්‍රියාත්මක කරනු ලැබූ සියලුම ව්‍යාපෘති සහ වැඩසටහන් මෙම අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගෙන ඇත”.

    තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයේ (ICTA) ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන නිලධාරී අනුර ද අල්විස් මහතා විසින් ICTA නියෝජිතායතනය තුළ ඩිජිටල් ආර්ථික භූමිකාව පිළිබඳ අදහස් ප්‍රකාශකරන ලදි. ICTA හි අනාගත දැක්මට අනුව 2024 වර්ෂය වනවිට ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දෙවන විශාලතම අපනයන කර්මාන්තය බවට පත්වීමට වඩා වැඩි ඉඩ කඩක් පවතින බව ඒ මහතා විසින් පෙන්වා දෙනු ලැබීය. ඔහු විසින් ආරම්භක තාක්ෂණ ව්‍යාපාරික මධ්‍යස්ථාන නගාසිටුවීමේ වැදගත්කම හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකත්වය සඳහා කාන්තාවන් දිරිගැන්වීමේ අවශ්‍යතාව වැඩිදුරටත් අවධාරණය කළේය.

    මේ හා සමගාමීව මධ්‍යම ආරම්භක තාක්ෂණ ව්‍යාපාරික මධ්‍යස්ථානය (Start-up Hub) නිල වශයෙන් ආරම්භ කිරීම එහි නිර්මාතෘ නලින් බෝමවල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ඔහු ප්‍රකාශ කළේ මේ තුළින් ප්‍රදේශයේ තාක්ෂණ ව්‍යාපාර ආරම්භකරන්නන්, ආයතන, ස්වයං රැකියාවන්හි නිරතවන්නන්, ශිෂ්‍යයන් සහ නව නිපැයුම්කරුවන් සඳහා අවශ්‍ය සහය ලබා දෙන බවයි. ඔහු වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින් කියාසිටියේ තාක්ෂණික ව්‍යාපාර ආරම්භකරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ දැමීම, මධ්‍යම කලාපයේ තාක්ෂණික දැනුමෙන් පරිපූර්ණ ස්වයං රැකියාවන්හි නිරතවන්නන්ගේ ප්‍රමාණය ඉහළ දැමීම ප්‍රධාන අරමුණු වන අතර එමගින් තොරතුරු තාක්ෂණ අපනයන ආදායම වැඩිකිරීම තවත් අරමුණක් බවයි.

    ආරම්භක තාක්ෂණ ව්‍යාපාර පරිසර පද්ධති සංවර්ධන අධ්‍යක්ෂ (Director – startup Ecosystem Development) සචින්ද්‍ර සමරරත්න මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ ආරම්භක ව්‍යාපාරික තාක්ෂණ මධ්‍යස්ථාන 585 ක් ව්‍යාපාරික තාක්ෂණ මධ්‍යස්ථාන දත්ත පද්ධතිය තුළ ලියාපදිංචි වී ඇති අතර නුදුරේදීම එය 600 දක්වා ළඟාවන බවත්ය. ඔහු තවදුරටත් අදහස් එකතුකරමින් කියාසිටියේ, මෙවැනි ආරම්භක තාක්ෂණ ව්‍යාපාරික මධ්‍යස්ථාන දිවයින පුරා ව්‍යාප්තව ඇති බවයි.

    නිදසුනක් ලෙස පෙර වැඩමුළුකදී ආරම්භ කරන ලද සබරගමුව ආරම්භක තාක්ෂණ ව්‍යාපාරික මධ්‍යස්ථානය ඇරඹී මාස 3 කදී සාමාජිකයන් සංඛ්‍යාව 90ක් දක්වා වර්ධනය කිරීමට හැකි වූ අතර ඔවුන් ICTA නියෝජිතායතනයේ සහය ලබමින් සීඝ්‍ර වර්ධනයක් ලඟාකරගනිමින් සිටී. එමෙන්ම පෙර හඳුන්වාදෙන ලද ඌව ආරම්භක ව්‍යාපාරික තාක්ෂණ මධ්‍යස්ථානය (Uwa start-up Hub) හා යාල් තොරතුරු හා තාක්ෂණ මධ්‍යස්ථානය ද (Yarl IT Hub) ඇතුලත් ව ආරම්භක ව්‍යාපාරික තාක්ෂණ මධ්‍යස්ථාන වැඩසටහන තවදුරටත් පුළුල්වෙමින් පවතී.

    අවසාන වශයෙන් මෙම ජාතික වැඩසහන හා සම්බන්ධ වූ සියලුම හවුල්කරුවන් වෙත විශේෂ ස්තූතිය පිරිනමන ලදි; එහිදී තාක්ෂණ අමාත්‍යාංශය, නුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්, විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව, ඩයලොග් අක්සිආටා ලිමිටඩ්, ශ්‍රී ලංකා ටෙලිකොම් ඇන්ඩ් මොබිටෙල්, භාරතී එයාර්ටෙල් ලංකා, හචිසන් ටෙලිකොම් ශ්‍රී ලංකා, ලංකා බෙල් ලිමිටඩ්, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM), ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සම්මේලනය (FITIS), බ්‍රිතාන්‍ය පරිගණක සංගමය (BCS), CSSL, SLINTEC, SLIBTEC, වෙත ස්තූතිය පළ කරන ලදි. එමෙන්ම සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්ට සහ මධ්‍යම කලාපය නියෝජනය කරමින් සම්බන්ධ වූ සියලු දෙනා වෙත ද විශේෂ ස්තූතිය පිරිනැමිනි. එසේම මෙම වැඩමුළුව සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් දැක්වූ දායකත්වය වෙනුවෙන් ICTA ආයතනයේ බලධාරීන් අගය කිරීම ද මෙහිදී සිදු විය.

    ශ්‍රී ලංකාව ඩිජිටල් තාක්ෂණයෙන් පරිපූර්ණ කිරීමේ දැක්ම පෙරදැරිව තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනය (ICTA) ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය තුළ පෙරමුණහොබවයි. ICTA ආයතනය කැපවී සිටිනුයේ ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත ඵලදායි බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් ඵලදායි ඩිජිටල් තාක්ෂණික විසඳුම් ලබාදීමටයි. වැඩිදුර විස්තර සඳහා www.icta.lk වෙත පිවිසෙන්න.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.