fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ආචාර්ය ගාමිණී විජේසූරිය “ඉක්රෝම්” සම්මානයෙන් පිදුම් ලබයි

    ආචාර්ය ගාමිණී විජේසූරිය “ඉක්රෝම්” සම්මානයෙන් පිදුම් ලබයි

    උරුම කළමණාකරණ ක්ෂේත්‍රයේ ලැබිය හැකි ඉහළම සම්මානය වන ඉක්රෝම් සම්මානය ආචාර්ය ගාමිණි විජේසූරිය මහතාට පිරිනමා ඇත.

    ජාතික මෙන්ම ජාත්‍යන්තරවද සංස්කෘතික උරුම ක්ෂේත්‍රයට සිදුකළ දායකත්වයත්, ICCROM ආයතනයේ සංවර්ධනයට කළ අගනා මෙහෙයත් වෙනුවෙන් 2021 වර්ෂයේ ඉක්රෝම් (ICCROM) සම්මානය ආචාර්ය ගාමිණි විජේසූරිය මහතාට පිරිනමා ඇත.

    කීර්තිමත් වාස්තු විද්‍යාඥයෙකු හා පුරාවිද්‍යාඥයෙකු ද වන විජේසූරිය මහතාට මෙම සම්මානය 2021 ඔක්තෝම්බර් 26 වන දින රෝමයේ ICCROM ආයතනයේ පැවති උත්සවයකදී පිරිනමා තිබේ.

    මෙය සමස්ත උරුම කළමනාකරණ ක්ෂේත්‍රය සැදුම් ලත් සුවිශේෂී මානව සමාජයම ඇගයීමට ලක් කළ අවස්ථාවක් බව සම්මානය පිළිගනිමින් කළ කතාවේ දී ආචාර්ය විජේසූරිය මහතා පැවසීය.

    ස්වභාවික වටපිටාවකට වඩාත් අනුගත වෙමින් "උරුමය" මුළු මහත් ජන සමාජයේ හා පරිසරයේ "සක්‍රීය" ස්ථාන බවට පත් කිරීමේ ක්‍රියාවලියේ ඉහළ තලයකට පත් වීමත් සමඟ උරුමය හා උරුම කළමනාකරණය වඩාත් දියුණු තත්වයකට පත් කිරීමට හේතු වන සාධක, මානව සංහතිය සමඟ කෙතරම් සමීපව බැඳී තිබේදැයි එතුමා පැහැදිළි කළේය.

    ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ අංශ ප්‍රධානි ලෙස වසර 18 ක් සේවය කළ අතර, ලෝක පුරාවිද්‍යා සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙසද විශිෂ්ට සේවයක් ඉටු කළේය.

    ලෝක උරුම ප්‍රඥප්තිය වෙනුවෙන්ද ICOMOS ශ්‍රී ලංකා ආයතනයේ ආරම්භක සාමාජිකයෙකු ලෙසද හෙතම කටයුතු කළේය. පවතින රාමුව තුළ ධනාත්මක වෙනසක් සඳහා ජවයක් ලබා දුන් නවසීලන්තයේ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පළාත් විද්‍යාඥ තනතුර මෙන්ම පැරණි ඕලන්ද රෝහල සහ මිරිසවැටිය චෛත්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු මෙන්ම එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථ ප්‍රහාරයෙන් විනාශ වූ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආදී ඉතා වැදගත් පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු රැසකට විජේසූරිය මහතා නායකත්වය දුන්නේය.

    ලබන 11 වැනිදා ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමතිය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.