fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුෂිනගර් ගුවන්තොට විවෘත වන මොහොතට මෙරටින් වැඩමවන මහා සංඝරත්නය අගමැති හමුවෙති

    කුෂිනගර් ගුවන්තොට විවෘත වන මොහොතට මෙරටින් වැඩමවන මහා සංඝරත්නය අගමැති හමුවෙති

    ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කෙරෙන අවස්ථාවට වැඩම කරන මහා සංඝරත්නය අද (19) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ හෙට (20) දින විවෘත කිරීමට නියමිතය. මෙම ඓතිහාසික අවස්ථාවට පළමු ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පැමිණෙන්නේ නම් තමන් සතුටු වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙයට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබිණි.

    ඒ අනුව කුෂිනගර් ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත්කිරීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ සිට පියාසර කරන ශ්‍රී ලංකන් ගුවන් යානයක් පළමුව එහි ගොඩ බැස්සවීමට නියමිතය.

    මෙම ඓතිහාසික ගමනට බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් පරිදි අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ ඇතුළු ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ සියක් නමක් වැඩම කිරීමට නියමිතව තිබේ.

    ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා ඇතුළු දූත පිරිසක් ද මෙම ගමනට එක්වනු ඇත.

    කුෂිනගර් දක්වා වැඩම කරන මහා සංඝරත්නයට ඊට අදාළ අවසර පත් පිළිගැන්වීම ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් මෙහි දී සිදුවිය.

    අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමි,

    “අප රටේ ගරු අග්‍රාමාත්‍යතුමනි, හෙට උදාවෙන පුර පසළොස්වක පෝය සමඟ මහා සංඝරත්නය වශයෙන් හෙට දිනයට ඉතාමත් වටිනා වන්දනා ගමනක් යෙදී තිබෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයක් මත ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ කුෂිනගර් නැතිනම් බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පා වදාළ කුෂිනාරා නුවර ගුවන් තොටුපළටයි අපි වැඩම කරන්නෙ.

    ලෝකයේ බෞද්ධ රටවල් කොතෙක් තිබුණත් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර 2500 වසරක තිබෙන මිත්‍රත්වය සහෝදරත්වය බැඳීම පදනම් කරගෙන එදා ධර්මාශෝක මහ රජතුමත් දේවානම්පියතිස්ස මහරජතුමත් අතර ඒ ඇතිවූ සුහඳත්වය මත අපට බුදු දහම ලැබුණ බව අපි කවුරුත් දන්නවා.

    මේ 21වැනි සියවසේ ඒ ගමන් මග, ඒ වැඩ පිළිවෙල, ඒ සම්බන්ධය හා ආගමික බැඳීම පදනම් කරගෙන වර්තමාන අපේ අගමැතිතුමා ඉතා ශ්‍රද්ධාවෙන් මහා සංඝරත්නය කෙරෙහි ගෞරවයෙන් සිය නමක් පමණ මහා
    සංඝරත්නයට හෙට එම උත්සවයට සහභාගිවීම සඳහා කටයුතු යෙදීම පිළිබඳව විශේෂයෙන් මහා සංඝරත්නය වශයෙන් අපි සතුටු වෙනවා. ආශිර්වාදය කරනවා.

    අසල්වැසි රටක් වශයෙන් අපි ඉන්දියාව සමඟ ඉතා මිත්‍රත්වයෙන් කටයුතු කළා. විශාල බැඳීමක් දෙරට අතර තියෙනවා. බෞද්ධ පුනරුදයට අපේ රටේ වගේම වර්තමාන ඉන්දියාවේ මෝදි අගමැතිතුමත් කටයුතු කරන බව අපට පුවත්පත් මඟින් ඒ වගේම දෙරටේ රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවවල දී අපි දකිනවා.

    විශේෂයෙන් මේ අවස්ථාවේ දී අපේ අග්‍රාමාත්‍යතුමන් මේ යොදපු වැඩපිළිවෙල අනුව මම හිතන්නේ ඉන්දියාවේ අගමැතිතුමාටත් එය විශාල සතුටක් වෙනවාට කිසිම සැකයක් නැහැ.

    අපේ රටේ අගමැතිතුමා වගේම බෞද්ධයන් වෙනුවෙන් මෝදි අගමැතිතුමත් විශාල සේවාවක් කරනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ අගමැතිතුමා වගේම මෝදි අගමැතිතුමත් බුදු දහමට බෞද්ධකමට විශාල ලැදියාවක් දක්වනවා. මෝදි අගමැතිතුමා පසුගිය දිනෙක උත්සවයක දී කළ ප්‍රකාශයක් මේ වෙලාවේ සිහිපත් කරන්නට . බුද්ධ දේශනාවේ හරය ඕනෑම අභියෝගයක් ජය ගැනීමට උපකාරිවනවා යැයි එතුමා ප්‍රකාශ කර තිබෙනවා. හින්දු රාජ්‍යක් වුණත් ඒ රටේ අගමැතිවරයා එබඳු ප්‍රකාශයක් කිරීම බෞද්ධ අපට ලොකු සතුටට කාරණයක්.

    සියලු අභියෝගවලට විසඳුම තියෙන්නෙ බුදු දහමේ බව එතුමන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ප්‍රකාශයත් අපට ඉතා වටිනවා. අපේ රටටත් අපේ අගමැතිතුමාත් අන්න එතැන ඉඳගෙන තමයි මේ රට පාලනය කිරිමේදී කටයුතු කරන්නෙ. ඒ නිසා විශාල ජනප්‍රසාදයක් ඇතිවන්නේම ඒ නිසයි.

    අටලෝ දහම ලෝ වැසියන්ගේ යහපතට යොදා ගත යුතුයි කියලා මෝදි අගමැතිතුමා ප්‍රකාශයක් කළා. ඒ වගේ දේවල් කල්පනා කරලා බලන විට හින්දු දහම ප්‍රධාන වුණත් බුදු දහමේ වටිනාකම තේරුම් ගැනීම බෞද්ධයන්ගේ මහ ගෙදර වශයෙන් සැළකිය හැකි ශ්‍රී ලංකාවට ලොකු ශක්තියක්. බුදුන්වහන්සේගේ දයාව,කරුණාව, සරලබව කියන කාරණා විශේෂයෙන්ම අතීතයට වගේම 21 වැනි සියවසටත් අත්‍යවශ්‍ය බව මෝදි අගමැතිතුමා වරක් ප්‍රකාශ කළා. එබඳු ප්‍රකාශ තමයි අපේ රටට ඉතා වටින්නේ. මෙබඳු වටිනා අදහස් ඇති රාජ්‍ය නායකයකු අපේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට ආරාධනා කළ පසු අපි ඒක ඉතා ඉහළින් පිළිඅරගෙන අපට පුළුවන් ශක්තිය යොදවලා අපි ඒ ගමන සහභාගී විය යුතුයි.

    හෙට දිනය වස් පවාරණ දිනය වුවත් ඒ දේවල් සුදුසු පරිදි යොදාගෙන මේ ගමනට එක්වන්නේ මෙහි ඇති වැදගත්කම සළකලා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාටත්, රටටත් ගෞරවය හිමිවන ආකාරයට” යැයි වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ පැවසූහ.

    මෙම අවස්ථාවට මල්වතු පාර්ශවයේ වැඩබලන ලේඛකාධිකාරී පූජ්‍ය පහමුනේ ශ්‍රී සුමංගල නාහිමි, පූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ නාහිමි,පූජ්‍ය ගන්තුනේ අස්සජි නාහිමි, ,පූජ්‍ය මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර නාහිමි, සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.