fbpx
තවත්
    මුල් පිටුවspecialවියතුන් පච කරන මග

    වියතුන් පච කරන මග

    සත්‍යගවේෂී විසිනි

    පහුගිය කාලෙම සත්‍යගවේෂී “මම සමග පිළිසඳරේ” මොලේ කරගැට එනතෙක් කල්පනා කළ කරුණක් විය. ඒ වර්තමානයේ ලංකාවේ වියතුන් පච කරන මග ගැනයි. ඒ කිසිවක් නොව, අඳබාල දේශපාලකයින්, උද්දච්ච නිලධාරීන්, වහල් දේශපාලන ගැති දායක සභා එක්ව සැබෑ වියතුන් පච කිරීමයි.

    වියතුන් පච කරන්නේ ඇයි?

    වියතුන් යනු යම් ක්ෂේත්‍රයක පෘථුල දැනුමැත්තෝය. බහුතර වියතුන් ඇඟෙන්ම ආ හැඟීමෙන් රට නැගුමට එක්වූහ. මෙය රැල්ලක් වූයේ, අඳබාල දේශපාලනඥයින් ගැන ඇතිවූ ජන අප්‍රසාදයයි. මහමැතිවරණයේදී බොහෝ දිස්ත්‍රික්ක වල වැඩිම මනාප ගත්තෝ වියතුන් ය. එහෙත්, මේ වියතුන් හට ඔවුන්ගේ විද්වත් දැනුම භාවිතා කිරීමට අවස්ථා ලැබුනේ නැත. මීට හේතුව වූයේ අටුවන් බැස්ස ජඩ දේශපාලනඥයින් වියතුන් ට වඩා ශක්තියෙන් හා බලයෙන් අනූන වීමයි.

    එලෙසම උද්දච්ච රාජ්‍ය නිලධාරීන්, වියතුන් ව තමුන් ගේ මනෝරාජ්‍ය ආක්‍රමණය කිරීමට ආ පරසතුරන් ලෙස සැලකූහ. දේශපාලන නායකයින් වියතුන්ව බලය ලබාගැනීමට ඉනිමගක් ලෙසඅ පමණක් සැලකූ බව නිරීක්ෂණය වේ. අවශ්‍ය කාර්යය අවසානයේ වියතුන් මුල්ලකට තල්ලු කර දැමීමට පක්ෂග්‍රාහී දූෂිත දේශපාලනඥයින් සහ දූෂිත නිලධාරීන් ගේ “අශුද්ධ සන්ධානය” විසින් කටයුතු කරති. එමෙන්ම විවිධ කෙනෙහිලිකම් වියතුන් හට කරති. ජනතාව හමුවේ වියතුන් පච කිරීමට දුර්දාන්ත දේශපාලනය සහ කුහක නිලධාරිවාදය නොකරන්නක් නොමැත.

    ඒ ඇයි?

    දූෂිත නිලධාරීන්ගේත් සහ දුර්දාන්ත දේශපාලනඥයින්ගේත් පොදුසතුරා වියතුන්ම වේ. බොහෝමයක් අවංක වියතුන් මුඛරි නොවෙති. දේශපාලනය ගැන නොදනිති. වරක්, ශ්‍රීලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියව දේශපාලන-නිලධාරී අශුද්ධ සන්ධානයේ ගොදුරක් විය. සමාජ මාධ්‍යය හරහා ඇය කටගැස්මට ගත්තෝ බොහෝමයකි.

    එහෙත්, දැයේ වාසනාවකට ඇයගේ කෙස් ගසකටවත් හානිකිරීමට මේ අශුද්ධ සන්ධාන වලට නොහැකි විය. ඇය පමණක් නොව, බොහෝමයක් විද්වතුන් සංවිධාන, කමිටු වලින් ඉල්ලා අස් වූහ. ඒ අශුද්ධ සන්ධාන වලින් ලද අපහසුතා නිසාය.

    කුහක සමාජවාදීන්, පක්ෂ-විපක්ෂ දේශපාලනඥයින් මේ කරුණට වග කිව යුතුය.

    වියතුන් පච කිරීමෙන් අපේක්ෂිත වාසි.

    ඔලමොට්ටල දේශපාලනඥයින් විද්‍යාත්මක කරුණු විකෘති කරති. මේ ගැන සමාජයේ කතිකාවත් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය තුල ඇති කරති. මේ හරහා එදිනෙදා ප්‍රශ්න යටපත් කරති. පක්ෂ-විපක්ෂ දේශපාලනයට ගැති විද්වතුන් යැයි කියා ගන්නා පිරිස් අමු අමුවේ එකිනෙකාට සමාජමාධ්‍ය තුල පහර ගසා ගනිති. ආසන්නම සිද්ධිය වන්නේ රජය ආනයනය කල පොටෑසියම් පොහොර කාබනික යැයි රජයේ ප්‍රකාශකයින් කියද්දී , “ප්‍රතිපක්ෂ විද්වතුන්” එය කාබනික නොවේ යැයි කියති. කෙටිකතා ලියති. එහෙත්, මේ වසංගත අවස්ථාවේ අනවශ්‍ය වාදවිවාද කිරීම වැඩක් නැත. තම තමන්ගේ ප්‍රාඥත්වය හුවා දැක්වීමට අවශ්‍ය නැති බව සත්‍යගවේෂී ගේ මතයයි.

    වියතුන්ගේ අවියත් වාද

    රසායන විද්‍යා ආචාර්ය මහාචාර්යවරුන් දක්වන්නේ ගෙන්වා ඇත්තේ අකාබනික පොහොර බවයි. මියුරේට් ඔෆ් පොටෑෂ් අකාබනික සංයෝගයක් බව හත්පොලේ දිවුරති. දිවුරන්න තටම් දෙයක් එහි නැත. එය සත්‍යයකි.

    අඑහෙත්, අනාදිමත් කාලයක සිට සල්ෆේට් ඔෆ් පොටෑෂ් කාබනික ගොවිතැනට යෙදූ පොටෑසියම් මූලාශ්‍රය බව ඔවුන් හුවා නොදක්වති.

    රටේ සාමාන්‍ය වැසියකු සහ ගොවියකු වන සත්‍යගවේෂී හට කාබනික- අකාබනික වාදයෙන් වැඩක් නැත. අවශ්‍ය වන්නේ කලට වේලාවට ගුණාත්මක පොහොර ගොවි බිමට යෙදීමයි. විද්වතුන්, වියතුන් දෙපිලට බෙදී කාකොටා ගනිද්දී සාමාන්‍ය ජනයා කුසගින්නේ පෙලෙන බව වියත්-අවියත් සැමටම අමතක වීයෑම අභාග්‍යයක් නොවේද?

    එඤ්ඤං
    මම
    සත්‍යගවේෂී

    සත්‍යගවේෂී

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.