fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවේ ප්‍රබලයෝ දෙදෙනෙක් අද ජනපති හමුවෙති

    ඉන්දියාවේ ප්‍රබලයෝ දෙදෙනෙක් අද ජනපති හමුවෙති

    ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

    කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් අසල්වාසි රටවල ස්ථාවරභාවය තම රට ඉහළින් අපේක්ෂා කරන බව ජෙනරාල්වරයා සාකච්ඡාව අරඹමින් සඳහන් කළේය.

    යුද හමුදා සේවා කාලය තුළ තමා ඉන්දියාවේ දී ලද හමුදා පුහුණුවීම් සහ අත්දැකීම් පිළිබඳ ආවර්ජනය කළ ජනාධිපතිවරයා, ඉන්දීය හමුදා පුහුණුවීම් මගින් මෙරට හමුදා නිලධාරීන්ට ලැබෙන නායකත්ව හැකියාව පිළිබඳ සිය ප්‍රසාදය පළ කරනු ලැබීය.

    දේශ සීමා ගණනාවකින් වටව ඇති ඉන්දීය රජයේ ආරක්ෂාව තහවුරු කරගැනීම, කඳු ආශ්‍රිත දුෂ්කර ප්‍රදේශවල දී හමුදා සුබසාධන කටයුතු සහ ඉන්දීය හමුදා නිලධාරීන් නායකත්ව පුහුණුවීම් සඳහා යොමු කෙරෙන නිලයන් පිළිබඳ ජනාධිපතිවරයා ජෙනරාල් මනෝජ් මුකුන්ද් මහතාගෙන් තොරතුරු විමසීය.

    බලසේනාධිපතිවරයෙකු ලෙස පත්වීමෙන් පසු ඉන්දීය යුද හමුදා නිලධාරීන් නායකත්ව පුහුණුවීම් සඳහා යොමු කෙරෙන අතර ඒ ඒ නිලයන් විශ්‍රාම ගැන්වෙන වයස් සීමාවන් පිළිබඳ ජෙනරාල්වරයා කරුණු පැහැදිලි කරනු ලැබීය.

    ශ්‍රී ලංකා හමුදා නිලධාරීහු දහසකට ආසන්න පිරිසක් වාර්ෂිකව ඉන්දියාවේ දී යුද පුහුණුව ලබති. එම පිරිසට අමතරව ඉදිරි කාලය තුළදී හමුදා නිලධාරීන් 50 දෙනෙකුට විශේෂයෙන් සකස් කළ පුහුණු පාඨමාලාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ඉල්ලීම මත ලබාදීමට පියවර ගන්නා බව ඉන්දීය හමුදා ප්‍රධානියා පැවසීය.

    ඉන්දීය සාම සාධක හමුදාව නියෝජනය කරමින් ත්‍රිකුණාමලය 4 කණුව ප්‍රදේශයේ සේවය කළ කාලසීමාවේදී ලද අත්දැකීම් පිළිබඳ මතකය මෙම සංචාරය තුළින් නැවතත් අලුත් කෙරුණු බව ජෙනරාල් මනෝජ් නාරාවන මහතා සඳහන් කළේය.

    තමාට ද හිටපු හමුදා නිලධාරියෙකු ලෙස මෙවැනි අවස්ථාවක මතකයන් සිහිකරමින් කතාබහ කිරීමට ලැබීම ගැන සතුටු වන බව ජනාධිපතිවරයා පැවසීය.

    ඉන්දීය යුද හමුදා මූලස්ථානයේ පුහුණු අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් රජීව් තාපර්,
    යුද උපදේශක මේජර් ජෙනරාල් වික්‍රාන්ත් විලාස් නයික්, විදේශ කටයුතු අංශයේ නියෝජිත කර්නල් මන්දීප් සිංග් දිල්ලන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    මේ අතර භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ සහ ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

    අමාත්‍ය ධුර කිහිපයක් හොබවා ඇති සුබ්‍රමනියම් ස්වාමි මහතා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ශක්තිමත් මිත්‍ර සබඳතාවක් වෙනුවෙන් පෙනී සිටි සහ ශ්‍රී ලංකාව තුළ පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දියාව සහාය විය යුතු බව අවධාරණය කළ අයෙකි.

    ආර්ථික විද්‍යාඥයෙකු සහ සංඛ්‍යාලේඛනඥයෙකු වන සුබ්‍රමනියම් මහතා, ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාව සිටිය දී සංවිධාන කළ සම්මන්ත්‍රණවල දේශකයෙකු විය.

    සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ මෙවර සංචාරයේ දී නැවතත් හමුවීමට ලැබීම පිළිබඳව ජනාධිපතිවරයා සිය සතුට පළ කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.