fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජෙනරල් නිලයෙන් පළමුවරට හමුවූ ඉන්දු - ලංකා හමුදාපතිවරු

    ජෙනරල් නිලයෙන් පළමුවරට හමුවූ ඉන්දු – ලංකා හමුදාපතිවරු

    ඉන්දියානු යුද හමුදාපති ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර මධ්‍යයේ මහත් හරසරින් යුතුව අද (13) දින පිළිගත්තේය.

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන මෙරටට පැමිණියේය.

    දෙරට අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා සහ අවබෝධය මත පදනම්ව පවතින මිත්‍ර සබඳතා සහ හමුදා සහයෝගිතාවන් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වූ බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.

    ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන ඉන්දියානු සාම සාධක හමුදාවට අනුයුක්තව ශ්‍රී ලංකාව වෙනුවෙන් අතීතයේ ඉමහත් සේවාවක් කළ නිලධාරියෙකි.

    යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි වෙත යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කරන ලදී.

    ඉන් අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන පිළිගෙන ප්‍රධාන අචාර පීඨීකාව වෙත කැටුව ගියේය.

    අනතුරුව, පෙලපාලි අණදෙන නිලධාරි විසින් ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි වෙත සරඹ පෙලපාලිය නිරීක්‍ෂණය කරන ලෙස ආරාධනා කළ අතර යුද්ධ හමුදා භටපිරිස් විසින් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් පැවැත්වීය.

    ඉන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ඉන්දීයානු යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන උණුසුම් අයුරින් පිළිගෙන යුද්ධ හමුදා මූලස්ථාන පිවිසුම් දොරටුව අභියසදී යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ඇතුලු ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි වෙත හදුන්වා දෙනු ලැබීය.

    ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අතර පැවති සුහඳ හමුව අතරතුර දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශවික බැදීම් සිහිපත් කර ඇති අතර ජෙනරාල් නාරාවන එහිදි, වර්ෂ 1987 දී එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක කළ මානූෂීය මෙ‍හෙයුම් කාලසීමාව තුළ ඉන්දියානු සාමසාධක බලකායට අනුයුක්තව අණදෙන නිලධාරියෙකු වශයෙන් යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ වන්නි ප්‍රදේශයේ තිබු දරුණු එල්ටීටීඊ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාකළ ආකාරය පිළිබඳ මතකයන් සිහිපත් කළේය.

    සයිබර් ප්‍රහාර ඇතුළු විවිධ ආකාරයෙන් ඇතිවිය හැකි තර්ජනයන් පිළිබඳව දෙරට හමුදාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නවීකරණය කිරීමේ වැදගත්කම පිළිබදව ද ජෙනරල් නාරාවන කරුණු අවධාරණය කළේය.

    අනතුරුව, අදහස් දැක්වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික යුද පුහුණු අභ්‍යාස සහ පුහුණු මොඩියුලයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් ඉන්දීය යුද්ධ හමුදා සාමාජිකයන් සහභාගී කරවීම වෙනුවෙන් ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි වෙත සිය ස්තූතිය පුද කළේය.

    මෙම හමුවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඉන්දියානු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘මිත්‍ර ශක්ති’ පුහුණු අභ්‍යාසය පිළිබඳව ද සාකච්ඡා කළහ.

    දෙරට අතර ක්‍රියාත්මක වන පුහුණු වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දෙරටේ යුද්ධ හමුදාපතිවරු මෙහිදි එකඟතාවය පළ කළහ.

    ශ්‍රී ලංකා යුද හමුදාවේ අවශ්‍යතා වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය හමුදාවේ තාක්‍ෂණික සහය නිරන්තරයෙන් ලබාදෙන බව ජෙනරල් නාරාවන මෙහිදි ප්‍රකාශ කළේය.

    යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති හමුව අවසානයේ දෙරටේ යුද්ධ හමුදාධිපතිවරු සමරු තිළිණ හුවමාරු කර ගත්හ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.