fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"තෙල් මිල අද හෙට වැඩිවෙන්නේ නෑ"

    “තෙල් මිල අද හෙට වැඩිවෙන්නේ නෑ”

    “අද පෝලිමේ ඉදලා තෙල් ගහලා වැඩක් නෑ. අද හෙට නම් මිල වැඩිවෙන්නේ නෑ. ඒ සහතිකේ මම දෙනවා.” යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා අද පැවැසීය.

    “ආණ්ඩුව ඇතුළේ සාකච්ඡා වෙලා ගියා පාරත් සති තුනක සාකච්ඡාවකට පස්සේ තමයි‍, වැඩිකරන ප්‍රමාණය තීරණය කළේ. ඉදිරි දින කිහිපයේ තෙල් මිල වැඩිවීමක් සිද්ධ වෙන්නේ නෑ කියන එක නම් මට බය නැතුව කියන්න පුළුවන්.” යැයි ද අමාත්‍යවරයා පැවසුවේ, අද (11) බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි .

    මෑත ඉතිහාසයේ තෙල් සම්බන්ධයෙන් වාර්තා වූ ඉහළම මිල වැඩිවීම වාර්තා වී තිබෙන බවත් යම් සහනයක් ලබාදීම සම්බන්ධයෙන් අද රැස්වන අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

    අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ, රජය මේ මිළ වැඩි වීම දරා සිටින බවත් ආණ්ඩුවට හැකිනම් යම් සහනයක් ලබාදීමට කටයුතු කරන බවත් ය. එසේම මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසීය.

    මාධ්‍ය හමුවට එක්වූ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ,ලෝක වෙළඳපළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ඛනිජ තෙල් සංස්ථාව රජයෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

    අවසන් වරට ඉන්දන මිල ඉහළ දැමුවේ ජුනි මස 11 වෙනිදා බව පැවසු සභාපතිවරයා, ඒ අවස්ථාව වනවිට ලෝක වෙළඳපළේ තෙල් බැරලයක මිල 92 පෙට්ට්‍රල් ඩොලර් 78.8 ලෙස ද ඩිසල් ඩොලර් 76.6 ලෙස ද තිබුණු බවත්, අද වනවිට පෙට්ට්‍රල් බැරලයක මිල ඩොලර් 92ක් ලෙස ද ඩිසල් ඩොලර් 92.67 ලෙස ද ඉහළ ගොස් ඇති බව කීය.

    එසේම මෙම තෙල් මිල ඉහළ යාමත් සමග පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 14.56 පාඩුවක් සහ ඩිසල්වලින් රුපියල් 31.46 පාඩුවක් ඛනිජ තෙල් සංස්ථාව ලබන බව පැවසූ සභාපතිවරයා, මසකින් බැලුවිට අගෝස්තු මස (31)වන විට බිලියන 70 පාඩුවක් ඛනිජ තෙල් සංස්ථාව ලබා ඇතිබව පෙන්වා දුන්නේය. මේ සම්බන්ධව රජයේ අවධානය යොමු කරන ලෙස ද සභාපතිවරයා ඉල්ලා සිටියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.