fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යළිත් ත්‍රස්තවාදයක් හෝ අන්තවාදී ක්‍රියාවක් නොවන්නට කැපවෙන බව ජනපති සහතික වෙයි

    යළිත් ත්‍රස්තවාදයක් හෝ අන්තවාදී ක්‍රියාවක් නොවන්නට කැපවෙන බව ජනපති සහතික වෙයි

    ගතවූ දෙවසර තුළ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී කටයුතු කළ බවත් නැවතත් ත්‍රස්තවාදයක් හෝ ආගමික අන්තවාදී ක්‍රියාවන් ඇති නො වන ආකාරයෙන් රට ආරක්ෂා කර ගැනීමට කැපවී සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ත්‍රිවිධ හමුදාවේ සහ බුද්ධි අංශවල මානසිකත්වය ඉහළ නංවාලමින්, රාජකාරී බලතල නිසි අයුරින් පවරමින් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී ඇති බව  ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    ජනතාවට පොරොන්දු වූ ආකාරයටම නව ව්‍යවස්ථා සංශෝධනයක් සහ නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බව හෙතෙම පවසයි.

    දූෂණයට, වංචාවට ඉඩ නො තබන අතර ඒ සඳහා කැපවෙමින් සියලුම නිලධාරීන් ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටී.

    “නිදහසට කරුණු කියන්නේ නැහැ. එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්න” යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලා සිටීයේය.

    කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය පහළ බැසීමට ලක් විණ. එහෙත් අදාළ කාලසීමාව තුළදී විශාල වැඩ කොටසක් ජනතාව වෙනුවෙන් සිදු කර ඇත. ලෝකයේ හමුදාවන්, යුද්ධයට පමණක් නො ව ජාතිය ගොඩනැඟීමටත් කැප වී සිටිති. අපේ ත්‍රිවිධ හමුදාව නිරෝධායනයේදී සහ එන්නත්කරණයේදී සෞඛ්‍ය අංශවලට සහාය වෙමින් කොවිඩ් පාලනයට එක් විය. ඒ සඳහා කළ කැපකිරීමට සියලු දෙනාට තම ස්තූතිය පළ කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    අද (10) දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති සම්මාන පෙළපාලිය පිළිගනිමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනතට අනුව ස්ථාපිත කෙරිණි. රටේ ආරක්ෂාව උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පාබල, ආධාරක සහ සේවා රෙජිමේන්තු 25කින් සමන්විත වේ.

    සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත් ව සංවිධාන කෙරුණු යුද හමුදා සැමරුම් උළෙලට පැමිණි ජනාධිපතිවරයා සාලියපුර ගජබා රෙජිමේන්තු කඳවුරේ අභිනවයෙන් ඉදි කෙරුණු සරඹ භූමිය විවෘත කර රණවිරු අයිතියට පත් කළේය.

    අනතුරුව ජනාධිපතිවරයා උත්තමාචාර පෙළපාලිය නිරීක්ෂණය කළේය.

    සැමරුම් උළෙල ඇමතීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ ඇති මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වූ ජනාධිපතිවරයා රෙජිමේන්තු මූලස්ථානයේ සංචාරයක නිරත විය.

    ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නව පරිපාලන ගොඩනැඟිල්ල හා ක්‍රීඩාංගණය විවෘත කිරීම, ක්‍රීඩාගාරය සඳහා මුල්ගල තැබීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ. කනිෂ්ඨ හා බල ලත් නිලධාරීන්ගේ නිවස්නයන් සහ ගජබා රෙජිමේන්තුවේ ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කර, ධාවනයට එක් කළ හමුදා රථ ජනාධිපතිවරයා නිරීක්ෂණය කරනු ලැබී ය.

    ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සිදු කළ සංචාරය සනිටුහන් කරමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිරිනැමීය. ආරාධිතයන් සඳහා වූ සමරු සටහන් පොතෙහි අත්සන් තැබූ ජනාධිපතිවරයා ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සිදු කළ සංචාරය සනිටුහන් කරමින් පැළයක් රෝපණය කළේය.

    ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදා ප්‍රධානීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.