fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්දරුවන් එන්නත් කිරීම පාසලේදීම කරන්නැයි ජනපති දැනුම් දෙයි - ලබන 21 වෙනිදා...

    දරුවන් එන්නත් කිරීම පාසලේදීම කරන්නැයි ජනපති දැනුම් දෙයි – ලබන 21 වෙනිදා 18-19 වයස් ක‍ාණ්ඩවල සිසුන්ටත් එන්නත්

    අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම ලබන 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

    ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (08) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී දැනුම් දුන් බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    සෑම පාසලකදීම සිදු කෙරෙන එන්නත්කරණය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු බව ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර තිබේ.

    එම වයස් කාණ්ඩයේ පාසල් හැරගිය දරුවන් එන්නත්කරණය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් සිදු කිරීමටද එම රැස්වීමේදී තීරණය කර ඇත.

    මේ වන විට වයස අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් 100%ක්, 30 ට වැඩි ජනගහණයෙන් 98% ක් එන්නත ලබාගෙන ඇති බව එහිදී අනාවරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. වයස් කාණ්ඩය 20 -30 අතර එන්නත ලබානොගත් පිරිස කඩිනමින් එන්නත්කරණයට පියවර ගන්නා ලෙස ද ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් දී තිබේ.

    වයස 12 – 19 අතර වයස් කාණ්ඩයේ සංජනනීය දරුවන් දසදහසකට අධික පිරිසකට මේ වන විට එන්නත ලබාදී තිබේ. දිවයිනේ සියලු රෝහල් සායනවලදී එම කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු සඳහන් කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.

    දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා පැවතිය යුතු බව කොවිඩ් කමිටුවේ තීරණය විය. එන්නත්කරණය සාර්ථක කරගැනීමට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සියලුම පාර්ශ්වයන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම රැස්වීමේදී ස්තූතිය පළකර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.