fbpx
තවත්
    මුල් පිටුවspecialපුන්චාගේ අත් නිවැරදිව සෝදමු

    පුන්චාගේ අත් නිවැරදිව සෝදමු

    ආහාර පාන ගැන විතරක් නෙවෙයි අපි අතින් අල්ලන දේවල් ගැන පවා මේ කාලෙදි සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඉක්මනින් පැතිරීයන වෛරස් රෝගයකට මුහුණ දෙමින් ඉන්න කාලයක අපේ ආරක්‍ෂාව වගේම පිරිසිදුකමත් ඉතාම වැදගත් වෙනවා. නිතර සබන් යොදා අත සේදීම, සැනිටයිසර් භාවිතය, මාස්ක් පැලදීම කියන්නේ ඔබ දෛනිකව වර්ධනය කරගත යුතු යහපත් පුරුදු බව ඔබ දැන් දන්නවා. මේ පුරුදු වර්ධනය කළ යුත්තේ අනෙක් පුද්ගලයාට අපෙන් යම් රෝගයක් බෝවීම වැළැක්වීමට මෙන්ම ඒ ඒ සමාජ පසුබිම්වලදී අප අනතුරට පත්වීම වළක්වා ගැනීමටයි. ඒ නිසාම වැඩිහිටියන් ලෙස ඔබ පවතින තත්ත්වය හමුවේ වඩාත් සැලකිලිමත් වීම වැදගත්.


    පුංචි පැටවුන්ට කොහොමද මේක කියාදෙන්නේ?

    මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය පහදා දීම ඇත්තටම අභියෝගයක්. එයාලා තොප්පියක්වත් ඔලුවේ දාගෙන ඉන්න කැමති අය නෙවෙයි. ඉතින් කොහොමද මාස්ක් එකක් පළදින්න හුරු කරන්නේ…. ඔබ නිවසින් පිටතට යන විට ආරක්‍ෂා සහිතව දරුවා නිවසේ තබා යා හැකිනම් එය වඩාත් සුදුසුයි. මොකද පිටත පරිසරයේ දී ඒ අය රෝගවලට නිරාවරණය වීමේ වැඩි අවධානමක් තිබෙනවා. ඒ හැරෙන්නට මුඛ ආවරණ පැළඳීමට හුරුකරවීම වඩාත් වැදගත්. පුංචි දරුවො නිතරම අනිත් අයව අනුකරණය කරන්න ආස නිසා දෙමව්පියන් නිසි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම මගින් දරුවන් ඒ සඳහා හුරුකරවන්න පුළුවන්. දෙමව්පියන් උනන්දුවෙන් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙනවා නම් දරුවෝ ඒ පුරුදු නිරායාසයෙන්ම අනුගමනය කරනවා.

    ඒ වගේම පැටියා තවත් දිරිමත් කරන්න උවමනා නම් එයාගේ මනසේ එයා පිළිබඳව ශක්තිමත් හැඟීමක් ඇතිකරවිය යුතුයි. නිවසේ බිත්තියේ තැනක් තෝරාගෙන පොඩි බෝර්ඩ් එකක් එල්ලන්න. පැටියා කරන හැම හොඳ වැඩකටම තරුවක් දෙන්න. දවසට ගන්න තරු ගාණ වැඩි නම් එයාට පුංචි තෑග්ගක් දෙන්න. අගය කිරීම් පුංචි සිත් තවදුරටත් දිරිමත් කරනවා. ඒ අගය කිරීම් වැඩිහිටි වියේ දී එයාගේ පුද්ගල පෞර්ෂ සංවර්ධනයටත් වැදගත්.


    ගෙදර වැඩත් එක්ක කොහෙන්ද මේවට කාලයක්……

    දරුවෙකුගේ මානසික වර්ධනය සිදුවෙන හොඳම කාලසීමාව වෙන්නේ අවුරුදු 3 සිට 5 දක්වා කාලය. මේ කාලෙදි දරුවාට ලබාදෙන සෑම සිතුවිල්ලක්ම සෑම සහයක්ම ඒ දරුවාගේ අනාගතය පැවැත්ම තීරණය කරන සාධකයක් වෙනවා. ඒ නිසා පැටියා වෙනුවෙන් කාලය වෙන්කරන්න ඔබට වගකීමක් තිබෙනවා. කාලය නැහැ කියන්නේ හේතුවක් නෙවෙයි. කාලය සොයා ගැනීම තමයි වැදගත් වෙන්නේ.


    අත් සේදීමත් හුරු කරමු………

    පැටියාට අත් සේදීම හුරුකරවීමත් වැදගත්. ආහාර ගැනීමට පෙර, ආහාර ගත්තට පස්සේ, වැසිකිලි භාවිතයෙන් පස්සේ වගේම නිතරම දෑත් සබන් යොදා සේදීම වැදගත් වෙනවා. මේ කාරණාව ඔබත් පැටියා එක්කම කරනවා නම් එයා ඉක්මනින් මෙයට හුරුවෙයි. මොකද මුලින් කිව්වා වගේම එයාලා අනුකරණයට කැමතියි නේ. වැසිකිලියේ, සින්ක් එක ළඟ අත සේදීමේ වටිනාකම ගැන කියවෙන කවියක් රූපයක් අලවන්න පුලුවන් නම් පැටියා තවත් උනන්දු වෙනවා.


    අත සේදීමේ නිවැරදි පියවර

    මුලින්ම අත තෙමාගන්න
    ඕනෑම පිරිසිදු සබන් වර්ගයකින් අතේ සබන් ගාන්න
    තත්ත්පර 15 ක් නියපොතු ඇගිලි සහ අල්ල ස්පර්ශ කරමින් අතුල්ලන්න
    සබන් ඉවත් වනතුරු හොඳින් සෝදාගන්න
    පිරිසිදු රෙදිකඩකින් අත පිසදා වියලාගන්න


    පරිසරය සුරකින පැංචෙක්

    පැටියා වෙනුවෙන් අනාගත ලෝකය සුරක්‍ෂිත කරන්න නම් ඔබ විශාල වගකීමක් පැවරිලා තිබෙනවා. එහි ප්‍රධානම කාර්ය වන්නේ අවට පරිසරය පිරිසිදුව තබාගැනීමයි. මේ සඳහා දරුවාව හුරුකරවීමත් වගකීමක්. ටොෆි කොළයක්, අයිස් ක්‍රිම් අසුරණයක් විතරක් නෙවෙයි සමහර විට වෙනත් ඕනම ඉවතලන ද්‍රව්‍යයක් නිසා පරිසරයට සිදුවන හානිය පිලිබඳව පැටියා දැනුවත් කිරීමට ඔබට පුළුවන්. ඒ සඳහා ඔබට ආදර්ශමත් විය හැකියි. ස්වභාවධර්මයට සතුන්ට ගහ කොළට ආදරය දෙන්නට ආදර්ශයෙන් ඉගැන්වීම මතු ලෝකයට හොඳ පුරවැසියෙක් දායාද කරවීමේ මුල්ම පියවර වනවා. ඒ වගේමම දරුවා එක්ක කතා කරන්න, එයාගේ අදහස්වලට ඇහුම්කන් දෙන්න ඔබට පුළුවන්. එයාටත් පුංචි පුංචි වගකීම් දරන්න ඉඩ දුන්නාම අනාගතයේ වගකීමක් දරන්න තරම් එයා මානසිකව ශක්තිමත් වෙනවා. මානසිකව ශක්තිමත් දරුවෙක්ට අභියෝගවලට මුහුණ දීම අපහසුවක් නෙවෙයි.


    සටහන මහේෂාණි මීගහපොළ
    ළමා හා මාතෘ සෞඛ්‍ය මාධ්‍ය උපදේශිකා
    සෙනෙහනස පදනමේ නිර්මාතෘ

    කේෂාණි සෙනවිරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.