fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට ධීවර යාත්‍රාවකින් ඇල්ලූ කොටි සාමාජිකයන්ගේ ඉදිරි සැලසුම් ගැන ඉන්දීය උසාවියකදී එළියට

    මෙරට ධීවර යාත්‍රාවකින් ඇල්ලූ කොටි සාමාජිකයන්ගේ ඉදිරි සැලසුම් ගැන ඉන්දීය උසාවියකදී එළියට

    ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය හා අවිආයුධ ජාවාරම් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි තමිල්නාඩු ජාතිකයින් දෙදෙනෙකු තහනම් ත්‍රස්ත සංවිධානයක් වන එල්ටීටීඊයේ සාමාජිකයින් බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් එරට විශේෂ අධිකරණයට දන්වා තිබේ.

    මෙම සැකකරුවන් පසුගිය වසරේ දී ලක්ෂද්වීපයෙන් ඔබ්බෙන් වන මුහුදේදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් ගත් අතර පසුව වැඩිදුර විමර්ශන සඳහා ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (එන්අයිඒ) වෙත භාරදී තිබුණි.

    ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවකින් අවිආයුධ, පතොරම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර ශ්‍රී ලාංකිකයන් ද සිට තිබූ අතර ඒ අතර සිටි ඉන්දීය ජාතිකයන් දෙදෙනා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සමඟ සම්බන්ධ වී සිටි බව ජාතික විමර්ශන ඒජන්සිය (එන්අයිඒ) අධිකරණයට පවසා තිබේ.

    මත්ද්‍රව්‍ය ජාවාරම් ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තමිල්නාඩු ජාතිකයින් දෙදෙනා වන එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් වන්නේ සුරේෂ් රාජ් සහ සෞන්දරාජන් ය.

    ශ්‍රී ලංකාවේ, තමිල්නාඩුවේ, සහ වෙනත් විදෙස් රටවල එල්ටටීටීඊ නායකයින්ගේ අධීක්ෂණය යටතේ එල්ටීටීඊයේ ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම සඳහා මොවුන් දෙදෙනා රහසිගතව කටයුතු කරමින් සිට ඇති බව අධිකරණයේදී අනාවරණය වී ඇත.

    චූදිතයන්ගෙන් එකතු කරන ලද ඩිජිටල් සාක්ෂි මඟින් මෙම කරුණු සනාථ වී ඇති බව නියෝජිතායතනය කොචිහි NIA විශේෂ අධිකරණයට ඉදිරිපත් කළ බව එරට වාර්තා පවසයි.

    මත්ද්‍රව්‍ය ජාවාරම සහ රන් ජාවාරම සහ හවාලා මෙහෙයුම් තුළින් කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා විත්තිකරු විශාල මුදලක් එකතු කර ගෙන ඇති බව විමර්ශනයේදී හෙළිවූ බව එන්අයිඒ පවසයි. අවි හා පතරොම් එකතු කිරීමේදී කොටි නායකයින් කිහිප දෙනෙකුගේ නම් සහ අරමුදල් තබා ගැනීමේ ක්‍රම සහ සංවිධානයේ අනාගත සැලසුම් ද චූදිතයන් විසින් හෙළිදරව් කර තිබුණි. මෙම අංශ පිළිබඳව විමර්ශන කටයුතු කරගෙන යන බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අධිකරණයට සදහන් කර ඇත.

    ධීවර යාත්‍රාවේ හිමිකරු වූ එල්.වයි.නිශාන්ත සහ අපරාධකරුවන් වූ රමේෂ් අරසරතනම්, අංජු, දීපා රාජන් රංගන් සහ හජි සලීම් යන අයගේ භූමිකාව පිළිබඳ අපරාධ පරීක්ෂණ වලදී හෙළිදරව් වූ බව ද අධිකරණයේදී දන්වා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.