fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආචාර්ය සිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වේ

    ආචාර්ය සිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වේ

    මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් ඉටුකළ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයෙක්ද වන විශිෂ්ඨ පුරාවිද්‍යාඥයෙක් වූ ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී ඇත.

    මියයන විට ඒ මහතා 79 වන වියේ පසුවිය.

    සිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා 1942 දී රත්නපුර දී උපත ලැබී ය. ඒ ලංකා ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යාක්ෂවරයෙකු වන පෝල්ස් එඩ්වර්ඩ් පීරිස් දැරණියගල මහතාගේ තෙවැනි දරුවා ලෙස ය.

    ඔහුගේ මව ප්‍රීනි මොලමුරේ වූවා ය. මුත්තණුවන් වූයේ ශ්‍රීමත් දැරණියගල පෝල්ස් එඩ්වර්ඩ් පීරිස් සමරසිංහ සිරිවර්ධනයන් ය. ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලින් පාසල් අධ්‍යාපනය ලැබූ හෙතෙම කේම්බ්‍රිජ් ත්‍රිත්ව විදුහලෙන් ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබා ගත්තේ ය. ඒ වාස්තු විද්‍යාව සහ සංස්කෘත භාෂාව යන විෂයයන්ගෙනි.

    ඉන්පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයන් පුරාවිද්‍යාව පිළිබද පශ්චාත් උපාධියක් ලැබී ය. එහි දී ගෞරව සාමාර්ථ සහිත ව සමත් වන හෙතෙම පුරාවිද්‍යා විෂයේ සෑම අංශයක ම දක්ෂතා පෙන් වූ හොදම ශිෂ්‍යයාට හිමි වන ගෝර්ඩන් චයිල්ඩ් සම්මානය දිනාගත් දෙදෙනාගෙන් එක් අයෙක් ද විය.

    1968 වසරේ දී ඔහු ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ සහකාර කොමසාරිස් වශයෙන් පත්වීම් ලැබුවේ ය. 1969 දී අනුරාධපුරයේ ඇතුළුනුවර ගෙඩිගේ ප්‍රථම වරට ඔහු විසින් කැනීමට ලක් විය. ඉන්පසු අදින් වසර 130 000ක් පැරණි ඉරණමඩු පාංශු සංගතිය යනුවෙන් හැදින්වෙන නැඟෙනහිර වෙරළ තීරයේ ගවේෂණය කරා ඔහුගේ අවධානය යොමු විය.

    එම ගවේෂණයේන් ලබාගත් දත්ත ඇසුරින් සකස් කළ නිබන්ධනය උදෙසා හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීමට ද හෙතෙම සමත් විය. ඒ 1998 දී ය. 1992 දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබූ සිරාන් දැරණියගල 2001 දක්වා ඒ තනතුරේ කටයුතු කළේ ය.

    පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ මහා ප්‍රාඥයෙක් වන ශිරාන් දැරණියගල මහතතා මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රයට කළ සේවය විශිෂ්ඨය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.