fbpx
තවත්
    මුල් පිටුවspecialAC එකටත් වඩා කූල් වෙන්න දැන් තීන්ත විශේෂයක්

    AC එකටත් වඩා කූල් වෙන්න දැන් තීන්ත විශේෂයක්

    ගොඩනැගිලි තුළ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා විදුලි පංකාවන්, වායු සමීකරණ ආදී විවිධාකාර වූ උපකරණ භාවිතය කාලාන්තරයක් තිස්සේ සිදු වන්නකි. එනමුත් ඇමරිකාවේ ඉන්දියානාහි පිහිටි Purdue විශ්වවිද්‍යාලය විසින් හඳුන්වා දෙනු ලැබූ සුදෝ සුදු (Ultra – White) තීන්ත විශේෂයක් මගින් වායූ සමීකරණ යන්ත්‍රවලටත් වඩා උෂ්ණත්වය අඩු කළ හැකි බව විදෙස් මාධ්‍ය ජාල මගින් පසුගියදා වාර්තා කර තිබුණි.

    ලෝක බලශක්ති අර්බුදයට මෙන්ම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමටද කදිම විසඳුමක් ලෙස හඳුන්වන මෙම නව තීන්ත වර්ගය මගින් සූර්යාලෝකය 98.1% ක්ම පරාවර්තනය කරනු ලබන බව පැවසෙන අතර එය Ambient කලාපයට වඩා ෆැරන්හයිට් අංශක 19කින් උෂ්ණත්වය අඩු කිරීමට සමත් බවට වාර්තා වේ. Purdue විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද මෙම පර්යේෂණය පිළිබඳ තොරතුරු, ACS Applied Materials and Interfaces නම් ප්‍රකාශනයෙහි වාර්තා කොට ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් මෙම පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයකු මෙන්ම පර්යේෂණ වාර්තාවේ සම කර්තෘ වරයෙකු වන මහාචාර්ය සියුලිං රුආන් විසින් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ සාමාන්‍ය සුදු තීන්ත මගින් සූර්යාලෝකය 10% – 20% ප්‍රමාණයක් උරාගන්නා නමුත්, තම කණ්ඩායම විසින් හඳුන්වා දෙන ලද මෙම නව තීන්ත වර්ගය මගින් උරාගන්නේ සූර්යාලෝකය 1.9%ක ප්‍රමාණයක් පමණක් බවයි. සාමාන්‍යයෙන් වෙළඳපොළේ ඇති සුදු තීන්ත මගින් සූර්ය තාපය උරාගැනීමක් සිදු වුවද, මෙම නව තීන්ත වර්ගය මගින් සූර්ය තාපය පරාවර්තනය කරන බව මෙහිදී ඔහු විසින් වැඩි දුරටත් සඳහන් කර ඇත. මෙමගින් අධෝරක්ත තාපය (Infrared heat) පරාවර්තනය කිරීමද සුවිශේෂී වන අතර වර්ග මීටරයකට වොට් 113ක සිසිලන හැකියාවක් ද පවතින බවට වාර්තා වේ. එනම්, වර්ග අඩි 1,000ක නිවසක වහළය මත මෙම තීන්ත වර්ගය ආලේප කළහොත් කිලෝවොට් 10ක පමණ බලශක්ති ප්‍රමාණයක් භාවිතා කරමින් සිදුකරන සිසිලන ක්‍රියාවලිකට සමාන ප්‍රතිඵලයක් ඇති වන බවයි. එය දැනට භාවිතා වන වායූ සමීකරණ යන්ත්‍රවලට වඩා ඉතා වැඩි කාර්යක්ෂමතාවයකි. සාමාන්‍ය වායූ සමීකරණ යන්ත්‍ර මගින් සිසිලනය කිරීමේදී යන්ත්‍රය හාත්පස උෂ්ණත්වය ඉහළ ගියද, 60%ක පමණ බේරියම් සල්ෆේට් අඩංගු මෙම තීන්ත වර්ගය මගින් උෂ්ණත්වය ඉහළ අභ්‍යාවකාශයට පරාවර්තනය කිරීම මෙහි ඇති විශේෂත්වයයි. මෙම තීන්ත වර්ගය, ගැලුමක් ඇමරිකානු ඩොලර් 30 – 40 (ශ්‍රී ලංකා රුපියල් 6,000 – 8,000) වැනි මුදලකට තව වසරකින් දෙකකින් වෙළඳපොළෙන් මිලදී ගතහැකි බව පැවසේ.

    ගොඩනැගිලි සිසිලනය කිරීමේදී වායු සමීකරණ යන්ත්‍ර භාවිතයෙන් සිදු වන බලශක්ති භාවිතය අවම කිරීම මෙන්ම, තාපය ඉහළ අභ්‍යාවකාශයට පරාවර්තනය කරමින් අවට සිසිලනය කිරීම මගින් දෙආකාරයකින් පරිසර සංරක්ෂණය සඳහා මෙම තීන්ත වර්ගය දායකත්වය ලබා දෙන බව පැවසේ.

     

     

    (මංජුල දීපාල් ද සිල්වා විසින් theplanetaroundus.com ෆේස්බුක් විද්‍යුත් සඟරාවෙහි පළකරන ලද ලිපියකි. තොරතුරු සහ ඡායාරූප අන්තර්ජාලයෙනි)

    මෙම ලියුම්කරු විද්‍යාවේදී, ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මංජුල ද සිල්වා

    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    මංජුල ද සිල්වා
    මෙම ලියුම්කරු ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද, රාජ්‍ය පරිපාලන පශ්චාත් උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද ලබා ඇති අතර මනෝවිද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා ධාරියෙකි. ශ්‍රී ලංකා විද්වත් වෘත්තික උපදේශක ආයතනයේ සාමාජිකයකු ද වේ. බ්‍රිතාන්‍ය පරිඝණක සංගමයේ ද හිටපු සාමාජිකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.