fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්PATA Gold සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන් අඛණ්ඩව 3 වන වරටත් සම්මානයට පාත්‍ර...

    PATA Gold සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන් අඛණ්ඩව 3 වන වරටත් සම්මානයට පාත්‍ර වෙයි

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව අඛණ්ඩව සනාථ කරමින්  පැසිෆික් ආසියා සංචාරක සංගමය (PATA) සංවිධානය කරන 2021 සම්මාන උළෙලේදී ‘Marketing-Carrier’’ කාණ්ඩය යටතේ ගුවන් සමාගම සිදු කරන ලද ‘#SriLankanPromises’ ප්‍රවර්ධන වැඩසටහන  රන් සම්මානයෙන් පිඳුම් ලැබීය.

    ලොව පුරා සංචාරක සංවිධාන සහ පුද්ගලයින් විසින් ඉදිරිපත් කරන ලද  අලෙවිකරණ සන්නිවේදන ව්‍යාපාර 113 ක් අතරින් රන් සම්මානලාභීන් 20 දෙනෙකු සහ ග්‍රෑන්ඩ් ටයිටල්ස් ජයග්‍රාහකයින් දෙදෙනෙකු මෙවර සම්මානයට පාත්‍ර වූහ. ක්ෂේත්‍රයේ විශේෂඥයින් 18 දෙනෙකුගෙන් යුත් ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයින් තෝරා ගන්නා ලදී. ගුවන් සේවය සම්මාන හතරක් මෙතෙක් දිනා ගැනීමට සමත්ව ඇති අතර, අඛණ්ඩව ලබා ගත් තුන්වැනි PATA Gold සම්මානය මෙය වීම විශේෂිතයි.

    SriLankanPromises යනු ලොව පුරා කොවිඩ් -19 වසංගතය ව්‍යාප්ත වී යාමෙන් පසුව ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලැබූ වෙළඳ නාම ප්‍රවර්ධන ව්‍යාපාරයයි. එම කාලසීමාවේ දී ගුවන් ගමන් ඇතුළුව ලොව පුරා සියලුම ක්‍රියාකාරකම් දින නියමයක් නොමැතිව කල්දැමීමට සිදුවිය. එම නිසා, ගුවන් සේවයේ වටිනා පාරිභෝගිකයින්ට සේවය කිරීමට අවස්ථාවක් නොමැති වූ විට ගනුදෙනුකරුවන්ට ගුවන් සේවය සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ විය හැකි අවස්ථා විවෘත කිරීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක විය. එසේම නිවසේ රැඳී සිටීමේ වැදගත්කම සහ අනාගත සංචාර සඳහා උනන්දුව හා අපේක්ෂාව රඳවා තබා ගැනීම, මෙන්ම අනාගත සංචාර සඳහා ආරක්‍ෂාව සහ යහපැවැත්ම පිළිබඳ සෑම විටම මෙහිදී අවධාරණය කරන ලදී. මේ සඳහා සමාජ මාධ්‍ය තුළ මිලියන 2 කට අධික ප්‍රතිචාරයක් හිමිවිය.

    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මෙසේ පැවසීය.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා

    “මෙම සම්මානය ලැබීම අපට ගෞරවයක්. විශේෂයෙන් අපගේ ගෝලීය සම්බන්ධතා නැවත ආරම්භ කරමින් සිටින අවස්ථාවක ගුවන් සේවයේ උණුසුම් ආගන්තුක සත්කාරය අත්විඳීමට අපි සංචාරකයින්ට ආරාධනා කරනවා. මෙවැනි සම්මානයක් යනු ගුවන් සේවය  නිවැරදි මාර්ගයේ ගමන් කරන බවට තහවුරු කිරීමක් එසේම එවැනි සම්මානලාභී  ව්‍යාපෘති වැඩි ගණනක් කිරීම තුළින් සියලුම දෙනා මහත් ප්‍රබෝධයට පත්වෙනවා.” 

    තවදුරටත් එතුමා “වසර ගණනාවක් තිස්සේ අපට ලබා දුන් සහයෝගය, හොඳහිත සහ පක්ෂපාතීත්වය ගැන ලොව පුරා සිටින අපගේ ආධාරකරුවන්, හිත මිතුරන්, සහ අපගේ වටිනා පාරිභෝගිකයින්ට සහ මෙම පිළිගැනීම ලබාදුන් PATA ආයතනයට ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

    ගුවන් සේවයේ ආයතනික සමාජ මාධ්‍ය පිටු හරහා සිදු කරන ලද #SriLankanPromises ප්‍රවර්ධන ව්‍යාපාරය මගින් ගුවන් සේවයෙ හි කීර්තිමත් සේවාව පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන අතර, සංචාරකයා තම නිවහන වන ශ්‍රී ලංකාවේ හා ලොව පුරා සිටින සංචාරකයින්ගේ අපේක්‍ෂිත ගමනාන්තය දක්වා ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟ සංචාරය කළ හැකි බවට පොරොන්දුව ලබා දෙන ලදී. රට වසාදමා තිබූ කාල සීමාවේ වෙසක් සහ ඊද් වැනි සංස්කෘතික උත්සව සැමරීම සඳහා ගුවන් සේවකයින් විසින් සිදුකරන ලද සාමූහිකව නිර්මාණ ද මේ හරහා ඉදිරිපත් කරන ලදී.

    මෙම සම්මාන උළෙලේ දී තිරසාරභාවය සහ සමාජ වගකීම යටතේ ‘Cinnamon Travel Pledge’සඳහා PATA Grand Title winner හිමි වූ Cinnamon Hotel Management Limited ආයතනයට ශ‍්‍රී ලංකන් ගුවන් සේවය ද සුබ පැතුම් එක්කර සිටියි. ආගන්තුක සත්කාර අංශයේ කීර්තිමත් නාමයක් දිනාගත් එම ආයතනය මෙම ගෝලීය සම්මේලනය හිමි වීම ශ්‍රී ලංකාව ආඩම්බරයට පත් කරයි.

    තායිලන්තයේ සංචාරක අධිකාරිය, MGM China, ඇමරිකා එක්සත් ජනපදයේ Meridian Adventure Dive Resort, Catalan Tourist Board Spain සහ හොංකොං හි Plaza Premium Group සම්මාන දිනා ගත් අනෙක් ආයතන විය.

    1951 දී ආරම්භ කරන ලද පැසිෆික් ආසියා සංචාරක සංගමය (PATA) ආසියා පැසිෆික් කලාපයේ සිට සහ ඉන් ඔබ්බට සංචාරක හා සංචාරක ව්‍යාපාරයේ වටිනාකම, ගුණාත්මකභාවය සහ තිරසාර වර්‍ධනය ඉහළ නැංවීම සඳහා අර්ථවත් හවුල්කාරිත්වයන්ට පහසුකම් සලසයි. මෙම සංගමයට ලොවපුරා එහි සාමාජිකයින් 650 කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර  රජයේ, රාජ්‍ය හා නගර සංචාරක ආයතන 82 ක්, ජාත්‍යන්තර ගුවන් සේවා සහ ගුවන් තොටුපලවල් 14 ක්, සත්කාරක සංවිධාන 71 ක් සහ අධ්‍යාපන ආයතන 75 ක් මෙන්ම ලොව පුරා දහස් ගණන් තරුණ සාමාජිකයින්ලෙන් මෙය සමන්විත වේ.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.