තවත්
    මුල් පිටුවදේශීය පුවත්ශ්‍රීලංකන් ගුවන් සේවය පැරීසියට ගුවන් ගමන් ආරම්භ කරයි.

    ශ්‍රීලංකන් ගුවන් සේවය පැරීසියට ගුවන් ගමන් ආරම්භ කරයි.

    ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රංශයේ අගනුවර වන පැරිස් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල (BIA) සහ ප්‍රංශයේ පැරිස් චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපල (CDG) අතර නියමිත ගුවන් ගමන් 2021 නොවැම්බර් මස 1 වන දින සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    ඒ අනුව, පිරිමැසූම් පංතියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පන්ති ආසන 28 කින් සමන්විත එයාර් බස් A 330-300 ගුවන් යානා බලඇණියක් උපයෝගී කරගනිමින් සෑම බදාදා, සිකුරාදා සහ සෙනසුරාද දිනකම ශ්‍රීලංකන් ප්‍රංශය වෙත පියාසර කරනු ඇත. මෙහෙයුම් වාර ගණන සතියකට තුන් වරක් වන අතර ගුවන් ගමන් කාලය පැය 11 විනාඩි 25 ක් පමණ වේ. යූඑල් 563 දරණ ගුවන් යානය කොළඹ සිට පැය 00:35 ට පිටත් ව පැරිස් චාල්ස් ඩි ගෝල් ගුවන් තොටුපලේ පැය 07:30 ට ගොඩබැසීමට නියමිතයි. නැවත යූඑල් 564 පැරීසියේ සිට  එදිනම පැය 14:30 ට පිටත් ව පසුදින පස්වරු 05:20 ට පමණ කොළඹට ලඟාවීමට සැලසුම් කර තිබේ.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා සඳහන් කළේ  කොළඹ සහ පැරීසිය අතර සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම ගැන සතුටට පත්වන බවයි. “ ප්‍රංශය සහ ලොව පුරා සිටින අපගේ මගීන්ගේ  සංචාරක අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරන නව මාර්ගය මෙයයි. නව ගමනාන්තයක නිවාඩු ගතකිරීමට සොයන අයට සහ ව්‍යාපාරික සංචාරකයින්ට පැය කිහිපයක් ඇතුළත සෘජු ගුවන් ගමන් ලබාගැනීමේ අවස්ථා මෙමගින් විවර වනු ඇතැයි මට දැඩි විශ්වාසයක් තියෙනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක සංචාරක ව්‍යාපාරය නව ආරක්‍ෂක පියවරයන් ගෙන ඒමට උත්සාහ කරනවා. ලොව පුරා සම්මත වූ නව  සංචාරක ව්‍යාපාර යටතේ ලංකාව කදිම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්‍ධනය කිරීමට මෙය විශාල අවස්ථාවක් ලෙස අපි සලකනවා. ” යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    2016 නොවැම්බර් මාසයේදී ශ්‍රීලංකන් ගුවන් සේවය පැරීසිය වෙත සිය ගුවන් ගමන් නවතා දැමූ අතර, එතැන් සිට 2020 ජූලි සහ සැප්තැම්බර් මාසවල වසංගතය අතරතුර ගුවන් සේවය තාවකාලික මගී සහ ගුවන් භාණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කළේය. ගුවන් සමාගම සිය ගෝලීය ජාලය නැවත ව්‍යාප්ත කරමින් කොළඹ කේන්ද්‍රය හරහා ඉන්දියානු සාගර කලාපයේ පුළුල් පරාසයක විවේක ගමනාන්තයන් ලබා දෙමින් ඒ හා  සම්බන්ධ වීමේ අවස්ථා මගීන්ට ලබාදී තිබේ. 

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා මෙසේ පැවසීය ” බොහෝ ජාත්‍යන්තර ගමනාන්තයන් ගමන් සීමා ලිහිල් කරන හෙයින්, මගීන් සඳහා වැඩි තෝරා ගැනීමක් සහ පහසුවක් සැලසීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය සේවාවන් ඉහළ නංවමින් සිටියි. පැරීසිය යුරෝපයේ කේන්ද්‍රස්ථානයක් වන අතර ශීත සෘතුවේදී සෘජු ගුවන් ගමන් හරහා සංචාරකයින්ගේ පැමිණීම ඉහළ නංවනු ඇත. ” යනුවෙන් හෙතෙම පෙන්වා දුන්හ. 

    පවතින තත්වය හමුවේ වුවද ශ්‍රීලංකන් ගුවන් සේවය එහි මෙහෙයුම් වලදී පිරිසිදුකම හා සනීපාරක්ෂාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් සහතික කිරීම සඳහා දරන උත්සාහයන් සඳහා ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) හි SimpliFlying සෞඛ්‍ය සුරක්‍ෂිතතා “Diamond”  ප්‍රමිතිය  ද පසුගියදා හිමි විය. සේවා, සුවපහසුව, ආරක්‍ෂාව, විශ්වසනීයත්වය සහ වෙලාවට වැඩ කිරීමේ ගෝලීය නායකයෙකු ලෙස ස්ථිර කීර්තියක් ඇති ශ්‍රීලංකන් ගුවන් සේවය සම්මානලාභී ගුවන් සමාගමකි.

    ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟ ගමන් කිරීමට අදහස් කරන මගීන්ට කොළඹ, ගාල්ල සහ මහනුවර පිහිටි ගුවන් සේවයේ ප්‍රවේශ පත්‍ර කාර්යාල වලින් හෝ තමන්ට කැමති සංචාරක නියෝජිතයා හරහා ටිකට්පත් වෙන් කරවා ගත හැකිය. වැඩි විස්තර සඳහා කරුණාකර +94117771979 අංකයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවා ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය හා www.srilankan.com වෙත පිවිසෙන්න.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img