fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බදියුදීන්ගේ නිවසේ දී පිළිස්සී මියගියේ බාලවයස්කාරියක්

    බදියුදීන්ගේ නිවසේ දී පිළිස්සී මියගියේ බාලවයස්කාරියක්

    හිටපු අමාත්‍යවරයෙක් වන රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිළිස්සීමකට ලක්ව මිය ගිය මෙහෙකාරිය එම නිවසේ සේවයට රැගෙන විත් ඇත්තේ බාලවයස්කාරියක්ව සිටියදී බව බොරැල්ල පොලීසිය ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් තහවුරුවී තිබේ.

    මිය යන විට ඇය වයස අවුරුද්දයි මාස 08 ක් වන බවත් ඇය ඒ නිවසේ සේවයට පැමිණ ඇත්තේ මාස 09 කට පෙර දී බවත් පොලිස් පරීක්ෂණ වලින් පෙනී ගොස් ඇත.

    හැටන් පදිංචිකාරියක් වන ඇයව සිය දෙමාපියන්ගේ කැමැත්ත මත රැගෙන විත් ඇති බවද පරික්ෂණවලින් අනාවරණය වී තිබේ.

    කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි බදියුදීන් මහතාගේ නිවසේදී මෙම මෙහහකාරිය පිළිස්සීමකට ලක්ව රෝහල්ගත කර ඇත්තේ පසු ගිය 03 වෙනිදාය. ඊයේ වන තුරු ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට මිය ගිය බව බොරැල්ල පොලීසිය සදහන් කරයි. ඇය රෝහල්ගත කෙරුණු මුල් අවස්ථාවේදී ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාට තමා ගිනි තබාගත් බවට ප්‍රකාශයක්කර ඇති බවත් එම වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් සටහනක් තබා ඇති බවත් මරණය සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බවද පොලීසිය කියයි.

    ඇය පිළිස්සීමට ලක්වූ කාමරයේ තිබී භූමිතෙල් බෝතලයක් සහ ලයිටරයක්ද පොලීසිය මූලික විමර්ශනවලින් සොයා ගෙන තිබුණි. ඇය මෙම නිවසසේ සේයට පැමිණ මාස කිහිපයකට පසු සිය නිවසට යායුතු බව පවසා ඇතත් දෙමාපියන් විසින් ඇයව රැගෙන නොයාම නිසා ඇය කලකිරීමට ලක්ව සිට ඇති බවද පොලිස් විමර්ශන වලින් තහවුරුවී ඇත.

    මේ ගැන ඇගේ දෙමාපියන්ගෙන් පොලීසිය ප්‍රශ්න කර ඇති අතර එහිදී ඔවුන් පවසා ඇත්තේ කොවිඩ් හේතුවෙන් සංචරණ සීමා නිසා ඇයව නිවසට රැගෙන යාමට විදිහක් නොතිබුණු බවය.

    මෙහෙකාර සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 14 සිට අවුරුදු 16 දක්වා මේ වන විට වෙනස් වී ඇති බව පොලීසිය කියයි. ඒ අනුව මෙම මෙහෙකාරිය සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඇය බදියුර්දීන් මහතගේ නිව‍සේ සේවයට රැගෙන විත් ඇත්තේ ඇයට වයස අවුරුදු 16 සම්පූර්ණ වීමට මාසයක් තිබියදී බවය. ඒ සමබන්ධයෙන් විමර්ශන පැවැත්වීම පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයට භාරදී ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.