fbpx
තවත්
    මුල් පිටුවCOVIDCovid-19 එන්නත  අනිවාර්යයෙන්ම ලබාගත යුත්තේ ඇයි?

    Covid-19 එන්නත  අනිවාර්යයෙන්ම ලබාගත යුත්තේ ඇයි?

    මේ  වසංගත සමයේ අධික වේගයෙන්  පැතිරී යන  Covid-19 වෛරසය සහ එහි විවිධ විකෘතිතා ඇති වූ  ප්‍රභේද නිසා දිනකට විශාල ප්‍රමාණයක් ආසාදිතයන් බවට පත්වෙන අතර සැලකිය යුතු ප්‍රමාණයක්  මිය යති. වසන්ගත සමයක එන්නත්කරණය හැර වෙනත් විකල්පයක් සමස්ත  ලෝකවාසීන්  සතුව නොමැත.
    එහෙත්  පැතිරී යන විවිධාකාර වැරදි මතවාද හේතුවෙන් තවමත් ලෝකවාසීන් එන්නත් සඳහා  යොමු නොවීම  දැකිය හැක.

    සමාජ මාධ්‍ය හරහා  පදනම් විරහිතව පතුරන   කටකථා සහ අසත්‍ය මතවාද කොවිඩ් එන්නත පිළිබඳව සමාජය තුල අවිශ්වාසයක් වගා කරනු ලබයි. ෆේස්බුක් ආයතනය සහ ඇමරිකානු රජය විසින් එන්නත පිලිබඳ මිත්‍යා මතවාද පතුරුවන වෙබ් අඩවි වලට එරෙහිව කටයුතු කර ඇත. එහෙත් රෝපනය කල මෙම මතවාද සමාජයේ යහපත් සෞඛ්‍යය සහ යහපැවැත්ම  වැනසීමට ප්‍රබලව බලපා ඇත.

    පහත සඳහන් කරුණු පිළිබඳව ඇති කරගත් අනිසි විශ්වාස එන්නත්කරනය වෙත ජනතාව යොමු වීම වැළැක්වීමට කටයුතු කර තිබේ .

    1. ලෝක ජනගහනය පාලනය කිරීමේ අරමුණෙන් ලෝක ධනවතුන් කිහිප දෙනෙකු විසින් නිර්මාණය කරන ලද වෛරසයක් හා ඔවුන් විසින් මානව වර්ගයාගේ ජීවිත සමඟ අත්තනෝමතික අත්හදාබැලීම් සිදුකරන බවට වූ මතය.
    2. ඖෂධ සමාගම් විසින් වෛරස ඇතිකොට ඒ සඳහා අවශ්‍ය එන්නත් හා ඖෂධ පිලිබද මාෆියාවක් ඇති කිරීම  පිළිබඳ වූ මතය
    3. එන්නත්කරණයේදී සිදු කළ යුතු නිසි අනුමැතිය සහ නිසි ක්‍රමවේද අනුගමනය නොකර සෘජුවම එන්නත් භාවිතා කිරීමට එරෙහි  මතය
    4. හොඳම එන්නත හදුන්වා දෙන තුරු එන්නත් නොකර ගැනීමේ  දැඩි අභිලාෂය
    5. එන්නතේ අතුරු ආබාධ පිළිබඳ අනිසි බිය
    6. ස්වභාවිකව රංචු ප්‍රතිශක්තිය (natural herd immunity) වෛරස ආසදනයෙන් පසු තමා තුල ඇතිවිය හැකි යැයි විශ්වාස කිරීම
    7. එන්නත් ලබා ගැනීම හිතේ ඇති  බිය සහ ඇත්ත වශයෙන්ම එන්නත්  පිළිබඳ ආසාත්මිකතා (allergies).
    8. එන්නත  ලබා ගැනීමට නොහැකි රෝගී තත්ත්වයන් සහිත වීම
    9. දැඩි මතධාරී  එන්නත් විරෝධීන් (anti-vaccinators) වීම
    10. එන්නත් කරන විට වඩා විකල්ප ක්‍රමවේද වැදගත් යැයි සිතීම.
    11. එන්නත් නොගෙන සිටීම තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බව සිතීම

    එන්නතක් සෑදීමේ ක්‍රමවේදය

    යම් වසංගත තත්ත්වයක් ඇති විටදී එන්නතක් සැකසීම සහ එය අනුමත කොට මානව ප්‍රතිශක්ති කරණය සඳහා යොදාගැනීමට  දිගු කාලයක් ගතවේ. එහෙත් දිනෙන් දින මනුෂ්‍ය වර්ගයාගෙන් විශාල සංඛ්‍යාවක් රෝගී අකාලයේ මිය යන අවස්ථාවකදී මේ සඳහා ක්‍රියාත්මක වීම කඩිනමින් සිදු කළ යුතුම වේ.

    වසංගතයක් මැඩලීම සඳහා  එන්නතක් නිර්මාණය කොට ජනතාව වෙත ලබාදීම දක්වා, වසර විස්සක් පමණ කාලයක් ගතවෙන දීර්ඝ ක්‍රියාවලියක් බව පහත දැක්වෙන රූපසටහනෙන් තේරුම් ගත හැක.

    එන්නතක් කඩිනමින් ජනතාව වෙත යොමු කොට ඔවුන්ව ප්‍රතිශක්තිකරණය කිරීම මගින් ඔවුන්ව ආරක්ෂා කිරීම මූලික අරමුණ වන අතර, පිළිගත්  ඩිගු කලක් ගතවන නිසි ක්‍රියාදාමය හරහා එන්නත්කරණය  සිදුවුවහොත්, සමහරවිට ඒ වන විට මිහිතලයෙන් මනුෂ්‍ය වර්ගයා සදහටම අතුගෑවී යනු ඇත.

    මෙනිසා එන්නතේ අලගිය මුලගිය තැන් සොයමින් කල් මැරීම තරම් අඥාන ක්‍රියාවක් තවත් නැත.  සමාජයේ පවතින දුර්මත පිළිබඳව විචාරයක් ලිවීම මාගේ අරමුණ නොවේ. එන්නත්කරණයේ තත්කාලීන තොරතුරු පිළිබඳව  ඔබව දැනුවත් කිරීම මගේ අරමුණයි.

    එන්නතක් අනුමත කොට එන්නත්කරණය සිදුකිරීමේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය (මෙම රූපසටහන අධ්‍යාපනික අරමුණක් සඳහා උපුටාගනු ලැබූවකි)

    රංචු ප්‍රතිශක්තිය ලබා ගැනීම

    කොවිඩ් වෛරසය මුල් කාලයේ ව්‍යාප්ත වීමේදී, රංචු ප්‍රතිශක්තියක් ඇති වීමෙන් එය ස්වභාවිකව මැඩ පවත්වා ගත හැකි බව විශ්වාස කෙරුණද, අද වන විට එය සිහිනයක්ව පවතී. වේගයෙන් විකෘති වන කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැරණි ප්‍රභේදයන් ට වඩා අධික වේගයකින් ව්‍යාප්ත වන බව සොයාගෙන ඇත.  ඊශ්‍රායල ජනගහනයෙන් 50% ක් එන්නත්කරණය කොට ඇති අතර, එහෙත් එහි ද රංචු ප්‍රතිශක්තිය  ඉන් ලබා ගැනීමට නොහැකි වී ඇත. පෙබරවාරි මාසයේදී ස්වාධීන දත්ත විශ්ලේෂණ විද්‍යාඥයකු වන යූයැන්ග් ගූ (Youyang Gu) විසින් “රංචු ප්‍රතිශක්තිකරණ මාවත”  (path to herd immunity) පිළිබඳ වූ මොඩලයෙන් අපගමනය වී, “සාමාන්‍යකරණ මාවත” (path to normality) නම් මොඩලය හරහා කොවිඩ්-19 පිළිබඳව පුරෝකතනය කිරීම තෝරා ගනු ලැබීය.

    ඔහුට අනුව “එන්නත ලබා ගැනීමට ජනතාව මැලි වීම, සීඝ්‍රයෙන් නව කොවිඩ් ප්‍රභේද ඇතිවීම සහ එන්නත් ලබා ගැනීම ප්‍රමාද වීම වැනි සාධක හේතුවෙන් රංචු ප්‍රතිශක්තිකරණ සීමාවකට” ළඟාවීම අතිශයෙන්ම අසීරු වේ.

    රංචු ප්‍රතිශක්තියක් ලබා ගැනීමට  අපහසු වන්නේ  පහත සඳහන් ප්‍රධාන ප්‍රධාන කාරණා 5 හේතුවෙන් බව nature වෙබ් අඩවියේ සඳහන් වේ.

    1. එන්නත් මඟින් කොවිඩ්-19 සම්ප්‍රේෂණය වීම “සැබවින්ම” වළක්වනවාද යන්න තවමත් පැහැදිලි නැත.
    2. එන්නත “සැමට ලබා දීමේ අවස්ථාව” අසමාන වීම.
    3. නව ප්‍රභේද විසින් “රංචු ප්‍රතිශක්තිකරණ සමීකරණය” වෙනස් කිරීම.
    4. ප්‍රතිශක්තිය “සදහටම පැවතිය නොහැකි” වීම.
    5. එන්නත් කිරීම හේතුවෙන් “මිනිස් හැසිරීම් රටාවන්” වෙනස් වීම.

    මින් මිනිස් හැසිරීම් රටා වෙනස්වීම ශ්‍රී ලංකාවේ බහුලව දැක ගැනීමට හැක. එන්නත්කරනය කරගැනීමේ නිසා ඇතිවන “අතිශෝක්තිමත් මානසික ආරක්ෂාව”  හෝ “කාලානුරූපීව” කොවිඩ් පිළිබඳ සමාජයේ  තිබිය යුතු “සත්‍ය බිය” සාමාන්‍යකරණය වීම මිනිස් හැසිරීම් රටා වෙනස් වීමට බලපෑ හැක.

    නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද වන මුඛ ආවරණ පැලදීම, දැත් සනීපාරක්ෂාව, ස්වසන ආචාරධර්ම  වලින් සමාජය අපගමනය වීම  ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වේගවත්ව පැතිරීමට හේතු වී ඇත.

    දිගු කලක් වසංගතය අත්දැකීම හේතුවෙන් සමාජය “වසංගත වෙහෙසකට” (pandemic fatigue) නතු වී ඇත. මේ හේතුවෙන් සමාජය නිර්දේශිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීමත් දැකිය හැක.

    මේ නිසා  තමනුත් සමස්ත සමාජයම අනතුරේ වැටෙන බවත් නොසලකා හැරීමට ජනතාව ක්‍රියා කරති. මේ සංසිද්ධිය ලොව පුරාම  එකසේ දැකිය හැක.

    “වසංගත වෙහෙස” කාලයාගේ ඇවෑමෙන් ක්‍රමයෙන් වර්ධනය  වන අතර එයට සංස්කෘතික, සමාජයීය, ව්‍යුහාත්මක හා ව්‍යවස්ථාදායක පරිසරය දැඩිව බලපායි

    මෙම “වසංගත වෙහෙස” සමඟ සාර්ථකව කටයුතු කිරීමට  මහජනතාව නිසිලෙස සුපරීක්‍ෂණය කොට, ඔවුන්ව ප්‍රබෝධමත් කිරීමට ඵලදායී ක්‍රම සෙවීම මෙම අඛණ්ඩව පවතින සෞඛ්‍යමය අර්බුදය හමුවේ ලොවටම අභියෝගයක් වෙමින් පවතී.

    2021/08/21 වන විට ශ්‍රී ලංකාවේ එන්නත්කරණයේ ප්‍රගතිය

    ඩෙල්ටා භයානකයි!

    ඩෙල්ටා ප්‍රභේදය මුල් ප්‍රභේදයට වඩා රෝග ලක්ෂණ නොමැති අයගෙන් පවා සීඝ්‍රයෙන් පැතිර යන බව, හොංකොං විශ්ව විද්‍යාලයේ  ආචාර්ය කව්ලිංගේ (Dr. Cowling) පර්යේෂණ කණ්ඩායම විසින් ප්‍රකාශ කලහ. ඔවුන් මෙම වසරේ මැයි සිට ජූනි දක්වා ඩෙල්ටා ප්‍රභේද ආසාදනය වී ඇති ගුවාන්ඩොං හි (Guangdong, China) රෝගීන් 101 දෙනෙකු සහ ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ සවිස්තරාත්මක පරීක්ෂණ දත්ත ඇසුරෙන් මේ බව ප්‍රකාශ කර ඇත.

    නවතම පර්යේෂණයන්ගෙන් හෙළි වූයේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදය  පෙර පැවති කොවිඩ් ප්‍රභේද වලට වඩා ඉහළ වෛරස් ප්‍රමාණයක් ආසාදිතයින් තුල ඇති කරන බවයි. මේ හේතුවෙන් ඩෙල්ටා ආසාදනය සහ පැතිරීම වඩාත් ඉක්මන් වේ.  ඩෙල්ටා වෛරස් ආසාදනය, ආසාදිතයින්ගේ  පූර්ව රෝග ලක්‍ෂණ අවධියේදී පවා පැතිරයාම සිදු වන අතර එය පෙර පැවති ප්‍රභේදයන්ට සාපේක්ෂව වඩා අතිශයෙන්ම වැඩි ය.

    සිංගප්පූරුවේ ජාතික බෝවෙන රෝග පිලිබඳ මධ්‍යස්ථානයේ වෛද්‍ය බර්නාබි යන්ග් (Ernest Barnaby Young) පැවසුවේ ඩෙල්ටා ප්‍රභේදය ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරෙන බලවත් කොවිඩ් ප්‍රභේදය වන  බවයි.

    පර්යේෂකයන් විසින් ඩෙල්ටා ප්‍රභේදයෙහි “මූලික ප්‍රජනන අංකය” (R-0) ගණනය කළ අතර, එය සෑම ආසාදිත පුද්ගලයෙක් විසින්  තවත් නිරෝගී පුද්ගලයන් යම් ප්‍රමාණයකට, සාමාන්‍යයක් වශයෙන් (average spreading value) වෛරසය ව්‍යාප්ත කල හැකි සංඛ්‍යාවයි.  ඩෙල්ටා ප්‍රභේදය සඳහා එහි ඇස්තමේන්තුගත අගය 6.4 කි.  එම අගය මුල් කොවිඩ් ප්‍රභේද වලට වඩා බොහෝ සෙයින් වැඩි ය. පැරැණි ප්‍රභේද සඳහා ඇස්තමේන්තු කල අගය එක් රෝගියකුගෙන් තවත් නිරෝගී පුද්ගලයන් 2-4 අතර වේ. මෙම අගය වේගයෙන් පැතිරෙන කම්මුල්ගාය (mumps) සදහා 12ක් ද, සරම්ප (measles) සඳහා18 ක් ද වේ. මේ බව පහත රූපයෙන් අවබෝධ කරගත හැක.

    වෛරස වල මූලික ප්‍රජනක අංක.

    මෙම අධ්‍යයනයට සහභාගී වූ පිරිසෙන් සුළු  සංඛ්‍යාවකට, අක්‍රිය කල වෛරසය පදනම් කරගත් කොවිඩ් -19 එන්නත් මාත්‍රා දෙකක් ලබා ගැනීමෙන් පසුව ද (උදා: සයිනෝෆාර්ම්) ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ බව සොයාගනු ලැබින. එහෙත් එහි සංකූලතා ඉතා අවමය.

    නමුත් එම එන්නත මඟින් ආසාදිතයින්ගේ ශරීරගත වෛරස් ප්‍රමාණය අඩු කළ අතර, ආසාදනයේ උච්චතම අවස්ථාවේදී පවා එන්නත් නොකළ පුද්ගලයින්ට සාපේක්ෂව එන්නත් කළ පුද්ගලයින්ගේ ආසාදනය කිරීමේ හැකියාව 65% කින් අඩු බව සොයාගෙන ඇත.

    මෙම පර්යේෂණාත්මක තක්සේරුව සඳහා පදනම් වූයේ ඉතා කුඩා සාම්පල ප්‍රමාණයක් වුවද, කොවිඩ් 19 එන්නත් කිරීම ඵලදායී ලෙස පැවතීම එමගින් සහතික වේ.

    මේ හේතුවෙන් “තේ කෝප්පයේ කිඹුලන් සෙවීමට වඩා” හැකි සැවොම, “ලැබෙන එන්නත හොඳම එන්නත” සේ සලකා එය ලබාගැනීම අද ජාතික අවශ්‍යතාවක් ව ඇත. එය මෙම වසංගත සමයේ ඔබෙන් සමස්ත ලෝවැසියාට කෙරෙන වැදගත්ම සේවය වනු ඇත.

     

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම ලංකා රසායන විද්‍යා ආයතනයේ උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති (MBA) පශ්චාත් උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයෙන් ආචාර්ය උපාධිය (Ph.D) ලබාගත්තේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් (SLSI) මෙහෙයවූ තත්ත්ව කළමණාකරණ ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය පර්යේෂණායතනයක පර්යේෂණ තාක්ෂණඥයෙකු ලෙස සේවය කරයි. සමරවික්‍රම මහතා, ස්වභාවික විද්‍යා සහ සමාජවිද්‍යා පර්යේෂණවල නියුතු පර්යේෂකයෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම
    ආචාර්ය දිනෙත් සමරවික්‍රම ලංකා රසායන විද්‍යා ආයතනයේ උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති (MBA) පශ්චාත් උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයෙන් ආචාර්ය උපාධිය (Ph.D) ලබාගත්තේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් (SLSI) මෙහෙයවූ තත්ත්ව කළමණාකරණ ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය පර්යේෂණායතනයක පර්යේෂණ තාක්ෂණඥයෙකු ලෙස සේවය කරයි. සමරවික්‍රම මහතා, ස්වභාවික විද්‍යා සහ සමාජවිද්‍යා පර්යේෂණවල නියුතු පර්යේෂකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.