තවත්

    වැලි අල්ලන්න ගිය යාපනයේදී පොලිස් නිලධාරියෙක් යට කළ කැබ් රථය අල්ලයි

    0

    යාපනය වඩමාරච්චි වලිපුරුචි ගම්මානයේදී නීති විරෝධිව වැලි කපා ප්‍රවාහනය කිරීමේ ජාවාරමක් ගැන කරුණු සොයා බැලීමට ගිය යාපනය පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් යටකර පළාගිය වැලි ප්‍රවාහනය කළ බොල්රෝ වර්ගයේ කැබ් රථයක් සමග එහි රියදුරු අද (05) දින අත්අඩංගුවට ගත්බව යාපනය නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා සදහන් කළේය.

    පොලීසියට ලද දුරකතන ඇමතුමකට අනුව වැලි ජාවාරම සිදුවන ස්ථානයට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් ගොස් ඇත්තේ ඊයේ පෙරවරුවේදීය. ඒ යන විිට ජාවාරම්කරුවන් පළාගොස් ඇත. එහිදී එක් සැකකරුවෙක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් අල්ලාගෙන සෙසු සැකකරුවන් පසුපස පන්නා යන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    ඒ අනුව පොලිස් නිලධාරීන් පළායමින් සිටින ජාවාරම්කරුවන් පසුපස පන්නමින් සිටියදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අල්ලාගත් සැකකරුව වැලිපොළ ආසන්න මාර්ගයේ රදවාගෙන සිට ඇත. එම අවස්ථාවේදී වැලි ඡාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුට අයත් බොල්රෝ වර්ගයේ කැබ් රථයක් වේගයෙන් පැමිණ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව යටකරමින් පළාගොස් තිබේ.

    ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ පාදයක් බිදී ඇති බවත් ඔහු යාපනය රෝහලට ඇතුලත්කර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.

    රූ රැජිණ කිරුළ අහිමි වූ පුෂ්පිකා පොලීසියට ගොස් රෝහල්ගත වෙයි

    0

    ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟාවලියේ ඊයේ රාත්‍රි පැවති අවසන් මහා තරගයේ ජයග්‍රාහිකාව ලෙස නම් කෙරුණු විගස කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා හදිසියේ අද රෝහලට ඇතුළත් කර ඇත්තේ පොලීසියට පැමිණිල්ලක් ද කිරීමෙන් බව වාර්තා වේ.

    හිසට දැමූ කිරුළ යළි ගැලවීමේදී හිසට සිදුවූ තුවාල හේතුවෙන් මෙලෙස රෝහල්ගතවූ බව ඇයගේ ප්‍රකාශකයා පැවසීය.

    පුෂ්පිකාගේ හිස්කබලට මෙමගින් තුවාල ලබා ඇති බව පැවසේ. ඊයේ රාත්‍රියේ සිදුවීමෙන් පසු ඇය දැඩි මානසික අවපීඩනයෙන් පෙළුණු බවට ද ඇයගේ පාර්ශ්වය පවසයි.

    පුෂ්පිකා තම ස්වාමිපුරුෂයාගෙන් දික්කසාද නොවූ බවත් වෙන්ව සිටිම පමණක් සිදුව ඇති නමුත් තමාට කිරුළ පැළඳූ පසු ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි විසින් ඇයට එරෙහිව නගා ඇති චෝදනා සියල්ල අසත්‍ය බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

    වේදිකාවේදී ජූරිගේ ක්‍රියාවන්ට සහාය දුන් චූලා පද්මේන්ද්‍රට එරෙහිව පුෂ්පිකා විසින් පැමිණිල්ලක් ගොනු කර ඇත.

    ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමෙන් තමාට හානියක් කිරීමට අදහස් කළ බව ඇය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

    යාපනය පලාලි ගුවන්තොටුපල සංවර්ධනය කෙරේ

    0

    අංජනා මල්ලවආරච්චි

    කලාපීය ජාත්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීම ඉලක්ක කොටගනිමින් යාපනය පලාලි ගුවන්තොටුපල සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.

    කලාපීය ගුවන් සේවා ආරම්භ කිරීම යටතේ කොවිඩ් වසංගතය හමුවේ තාවකාලිකව ඇණහිට ඇති චෙන්නයි සහ යාපනය අතර ගුවන් සේවා ඉදිරි මාස කිහිපය තුළ නැවත ආරම්භ කිරීමට ද අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍යංශය කියයි.

    මාලදිවයින සහ දකුණු ඉන්දියානු ගමනාන්තයන් සම්බන්ධ කරගනිමින් නව ගුවන් සේවා ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ගුවන් සමාගම් රැසක් දැනටමත් ශ්‍රී ලංකාව සමග කලාපීය ගුවන් වාර ආරම්භ කිරීමට සාකච්ඡා කොට ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

    යාපනයේ පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේ වැඩසටහනට අනුව දැනට ගුවන්තොටුපළේ පවතින අඩුපාඩු හඳුනාගෙන අදියර තුනක් යටතේ එම ගුවන් තොටුපොල සංවර්ධනය කිරීමට නියමිත බවද ඇමැතිවරයා කියයි.

    ශ්‍රී ලංකා විවාහක රූ රැජිනගේ කිරුළ දැමූ සැණින් ගලවයි

    0

    ලෝක විවාහක රූ රැජිණ තරගයට සහභාගි වීම වෙනුවෙන් තෝරාගන්නා ශ්‍රී ලංකා විවාහක රූ රැජන තේරීමේ අවසන් තරඟය කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ඊයේ රාත්‍රියේ අවසන් වූයේ මින් පෙර නොවූ ආන්දෝලනයකට ලක් වෙමිනි.

    ඒ කිරුළ දිනා ගැනීමෙන් පසු යළිත් ඇයගෙන් කිරුළ ගලවා දෙවන ස්ථානයට පත්වූ තරගකාරිය වෙත කිරුළ පැළඳ වීම නිසයි.

    අවසන් තරඟයේදී ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තෝරාගනු ලැබුවේ මින් පෙරද වරක් එම කිරුළම හිමිකරගත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය‍යි.

    ශ්‍රී ලංකා විවාහක රූ රැජිණට කිරුළු පලදවන ලද්දේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණක ලෙස 1973 කිරුළ හිමිකරගත් වත්මන් අගමැති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය විසින් සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ යන අය විසිනි.

    කෙසේ නමුත් ජයග්‍රාහිකාවට කිරුළ පැළඳවීමෙන් අනතුරුව සභාවේ නොසන්සුන්තාවක් හටගත්තේය.

    ඒ මෙම තරඟයේ දී තරගකාරිය ක වීමට මූලික සුදුසුකම වන විවාහක කාන්තාවක විය යුතුය යන්න ඇය විසින් උල්ලංඝනය කර ඇතැයි පැවසීමයි. ඒ පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද අයෙක් නිසා ඇයට විවාහක රූ රැජිණ කිරුළ දැරිය නොහැකි බවටයි. සභාවෙන් ඒ පිළිබඳ ඝෝෂාවක් හටගත් අතර ඒ සමගම වත්මන් ලෝක විවාහක රූ රැජන වන කැරලයින් ජූරි වේදිකාවට නැග සඳහන් කළේ පුෂ්පිකා ද සිල්වා දික්කසාද අයකු බැවින් තරඟ නීතියක් මෙන්ම මූලික සුදුසුකමක් උල්ලංඝනය වී ඇති නිසා විවාහක රූ රජින කිරුළ හිමි නොවන බව පැවසුවාය.

    ඉන් පසු ඇය එම කිරුළ ගලවා දෙවන ස්ථානය ලබාගත් තරගකාරිය ට ලබා දෙමින් ඇය රූ රැජින ලෙස ප්‍රකාශයට පත් කළාය. පුෂ්පිකා ද සිල්වා වේදිකාවෙන් ඉක්මනින් බැස ගියාය.

    මෙම සිද්ධිය සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්ව ඇත. නමුත් එම තීරණය සම්බන්ධයෙන් පවතින නිත්‍යානුකුල තත්ත්වය වන්නේ විවාහක රූ රැජිණ තරඟයකදී සෑම තරඟකරුවෙක්ම ගිවිසුමක් අත්සන් කළ යුතුය.

    ඒ ගිවිසුම අත්සන් කරන දිනයට සියලු සුදුසුකම් පරීක්ෂා කරනු ලබන අතර එහිදී උප්පැන්න සහතිකයේ සිට විවාහ සහතිකය දක්වා සියලුම දේ පරීක්ෂා කෙරේ.

    මේ කටයුත්ත තරඟයේ මුල් අවස්ථාවේදී සිදුවන්නකි. ඒ අදාල ගිවිසුම අත්සන් කරන දිනයේදී එම නීති රීති පිළිබඳවත් දැනුවත් කරයි. ඒ සම්බන්ධයෙන් තරඟකාරියන් දැනුවත් කිරීම අදාල ජාතික අධ්‍යක්ෂවරයාගේ වගකීමක් වන අතර ඔහුගේ අනුදැනුමකින් තොරව කිසිදු අවස්ථාවක කිසිඳු තරඟකාරියකට නියමිත සුදුසුකම් සපුරා නොමැති නම් ඉදිරියට යා නොහැක.

    සුදුසුකම් සපුරා නොමැති අවස්ථාවකදී තතරඟකාරියක ලෙස තවදුරටත් ඉදිරියට යාමට නම් අදාල ජාතික අධ්‍යක්ෂවරයා ඒ පිළිබඳ දැනුවත් විය යුතුය.

    එසේ නොමැති නම් කුමක් හෝ හේතුවක් මත ඔහු ඒ බව සඟවා වංචනික අරමුණින් ඇයව ඉදිරියට ගෙන යා යුතුය.

    ඒ වගේම තරඟය අතරතුර විනිශ්චය මණ්ඩලයට වරද නිවැරදි කිරීමේ හැකියාව සහ කාලය පවතී. තරඟකාරිය අදාල පාර්ශව වෙත බොරු තොරතුරු ලබා දීමෙන් හෝ අදාල වගකිවයුතු පාර්ශව එය බොරුවක් බව දැන සිටියත් එය සඟවා තබා ගැනීමෙන් දෙපාර්ශවයෙන්ම සිදුවී ඇත්තේ වංචාවකි.

    කෙසේ වෙතත් මේ තරඟය තුල තරඟ වැදීමට පුෂ්පිකාට බාධාවක් නොමැති නමුත් ඇයව අවසානයේදී රූ රැජිණ බවට පත් කිරීමේදී අදාළ විනිශ්චය මණ්ඩලය මේ තීරණය අදාල නීති රීති වලට අනුකූලද යන්න අනිවාර්යයෙන් සැලකිය යුතුය.

    පුෂ්පිකා මීට පෙර ද මෙම තරගයට ඉදිරිපත් වූ කාන්තාවක බැවින් ඇය තරඟයේ නීති රීති නොදැන තරඟ කිරීම කියන කරුණ පිළිගත නොහැකි වේ.

    කැරලයින් ජූරි යනු වත්මන් ලෝක විවාහක රූ රැජින වන අතර තරඟයේ තරඟකාරියන්ගේ සුදුසුකම් පරීක්ෂාව ඇය විසින් නොකළ යුතු නමුත් තමා නියෝජනය කළ රටෙහි තමාගෙන් පසු සිදුවන නියෝජනය නීති උල්ලංඝනයකින් තෝරා පත් කර ගත් විට, ඇය ඇයගේ කිරුළේ වත්මන් භාරිකාරිත්වය භාවිතා කර ඒ සිදුවූ වරද නිවැරදි කළ බව කැරලයින් ජූරි ගේ පාර්ශවයෙන් පැවසෙන හේතුවයි .

    තරග නිති නීතිරීති උල්ලංඝනය කළ තරගකාරියක තේරී පත්වීමෙන් අවසානයේ සිදුවිය හැක්කේ ලෝක රූ රැජිණ තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමෙන් පසු එම තරගයෙන් ඉවත්වී ‍‍යාමට සිදුවීම ය.

    කිරුළ පුෂ්පිකා ද සිල්වා හිමිකර ගත් අවස්ථාව
    කිරුළ පැළඳ වීමෙන් පසු ලෝක විවාහක රූ රැජිණ වන කැරලයින් ජූරි ගේ විශේෂ නිවේදනය
    කිරුළ ඉවත් කිරීම
    අවසානයේ දෙවැනි තරගකාරිය කිරුළ හිමිකරගත් අවස්ථාව

    දරුණු අපරාධකරුවන් පිරිසක් බූස්සට

    0

    දරුණු ගණයේ අපරාධකරුවන් හුදෙකලා කර තැබීමට බූස්ස බන්ධනාගාරය තුළ තවත් සිරකරුවන් 35 දෙනෙක්ට සිර මැදිරි සකස් වෙමින් තිබේ.

    සිංහල දෙමළ අලුත් අවුරුද්ද අවසානය වන විට එම සිරමැදිරිවල දරුණු ගණයේ අපරාධකරුවන් රදවා තැබීමට හැකිවනු ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන ඇමති ලොහාන් රත්වත්තේ මහතා සදහන් කළේය.

    බන්ධනාරවල රදවා සිටින සිරකරුවන් ජංගම දුරකතන භාවිතා කිරීම පාලනය කිරීම සදහා අවශ්‍ය නවීන උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

    රන්ජන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වෙයි – පෙත්සම ඉවතට

    0

    සිර දඬුවම්‌ නියම වී සිටින රන්ජන්‌ රාමනායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට්‌ ආඥාවක්‌ නිකුත්‌ කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින්‌ තොරව ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කර තිබේ.

    මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර සහ
    මායාදුන්නේ කොරයා යන විනිසුරුවරුන්‌ හමුවේ කැඳවූ අවස්ථාවේදි මෙම තීන්දුව දී ඇත.

    පසුගිය මාර්තු මස 31 වනදා මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය දැනුම්‌ දුන්නේ රන්ජන්‌ රාමනායක ගොනුකර ඇති පෙත්සම විභාගකිරීම සඳහා නොතීසි නිකුත්‌ කරන්නේද නැද්ද යන තීන්දුව අද ලබාදෙන බවය.

    කොවිඩ් මරණ අඩකින් අඩු වෙලාලු

    0

    කොවිඩ් -19 ආසාධිත මරණ මේ වන විට හරි අඩකින් අඩුවී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.

    මේ වන විට කොවිඩ් මරණ වාර්තාවීම් අවම මට්ටමක පවතින බවත් එය යහපත් තත්වයක් බවත් සමරවීර මහතා කියයි.

    කොවිඩ් -19 වෛරස ආසාධිතයන් සොයා අහඹු පී.සී.ආර්. පරීක්ෂණ දෛනිකව සිදුවන බවත් අවුරුදු කාලයට කණාමුට්ටිය බිඳ දමන්නාක් මෙන් පී.සී.ආර්. පරීක්ෂණ කළ නොහැකි බවත් සමරවීර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

    රෝහණ විජේවීරගේ අසාර්ථක කුළුදුල් ජවිපෙ කැරැල්ලට අදට අඩසිය වසරක්

    0

    රටේ බලය සන්නද්ධ අරගලයකින් අල්ලන්නට ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ කැරළි දෙකක් ගැසුවේය. ඒ කැරළි දෙකම අසාර්ථක වන්නේ මෙරට අනාගතය භාර ගන්නට එකල සිටි තරුණ ජීවිත දහස් ගණනක් අහිමි වෙමිනි.

    ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහන විජේවීරගේ නායකත්වයෙන් දියත්වූ අසාර්ථක කුළුදුල් කැරැල්ලට අදට (05) අඩසිය වසක. ජනතා විමුක්ති පෙරමුණේ රාජ්‍යක් ගොඩ නගන්නට එදා ඔවුන් ඒ කැරැල්ල සැළසුම් කරන්නේ දිවයින පුරා එකල පිහිටි පොලිස් ස්ථාන 92 කට එකවර ප්‍රහාරයක් එල්ලකර පොලිසියේ බලය අල්ලන්නටත් රටේ රාජ්‍ය නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියව ඇය එකල පදිංචිව සිටි රොස්මිට් පෙදෙසේ පිහිටි බංගලාවෙන් පැහැරගෙන සිය ග්‍රහනයට ගෙන රාජ්‍ය බලය අල්ලන්නටත්ය.

    1971 කැරැල්ල සමයේ රෝහණ විජේවීර මහතා එක්වූ පෙළපාලියක්

    මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ වැඩි බලයක් යොදා තිබුණේ සිරිමාවෝ මැතිණිය පැහැර ගන්නටය. එම කණ්ඩායමේ පසුකාලයේ ජවිපෙ නායකත්වය දැරූ සෝමවංස අමරසිංහ මහතාද සිටියේය. මැතිණියව පැහැරගෙන රැගෙන යන වාහනයේ රියදුරා වූයේ ඔහුය.

    මෙම කැරැල්ල සංවිධානය වන්නේ සිරිමාවෝ මැතිණියගේ සමගි පෙරමුණ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි විශේෂ අවධානයකින් සිටින විටදී වීමද විශේෂිතය.

    71 අප්‍රේල් 05 වෙනිදා දියත් වූ ජවිපෙ කැරැල්ල අසාර්ථක වන්නේ එදින රාත්‍රියේ එකවර පොලිස් ස්ථානවලට පහරදීමට ජවිපෙ නායකත්ව මණ්ඩලය ගත් තීරණය නිසි ලෙස මොණරාගල කණ්ඩායමට නොලැබීම හේතුවෙන් එදින අළුයම වැල්ලවාය පොලිස් ස්ථානයට පහරදීමය. ජවිපෙ ප්‍රහාරයට ලක්වුණු පළමු පොලිස් ස්ථානය ලෙස සැලකෙන්නේ එයයි.

    එකල අද මෙන් සංනිවේදන ක්‍රියාවලිය දියුණු යුගයක නොතිබුණු බැවින් පණිවිඩ හුවමාරුව සිදුවූයේ තැපෑලෙනි. එසේම කැරලිකරුවන් පණීවිඩ සිය සාමාජිකයන්ට ලබාදීමට පුවත්පත් දැන්වීම් පවා යොදා ගත්තේය. 71 කැරැල්ලට පුවත්පත් දැන්වීඹක් පවා යොදා ගත් අතර මොණරාගල කණ්ඩායමට නිසි ලෙස අවබෝධකර ගන්නට නොහැකිවන්නේ යැයි සැළකෙන්නේ එම පුවත්පත් දැන්වීමේ අන්තර්ගතයයි.

    වැල්ලවාය පොලිස් ස්ථානයට එල්ලකල එම ප්‍රහාරය සාර්ථකව පොලිස් නිලධාරීන් ව්‍යාර්ථ කිරීමත් සමග රටපුරාම පොලිස් ස්ථාන සීරුවෙන් තැබීම හේතුවෙන් ජවිපෙට පොලීසිවල බලය ඇල්ලීම හිතූ තරම් ලෙහිසි පහසු නොවීය. එහෙත් දකුණේ ඇතැම් පොලිස් ස්ථානවල බලය අත්පත්කරගත් ජවිපෙ සටන් කරුවන් දින කිහිපයක් ගම්මාන සිය පාලනයට නතුකර ගත්තේය.

    සිරිමාවෝ බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන හා රෝහණ විජේවීර (වමේ සිට)

    71 කැරැල්ලේ අසාර්ථකම මෙහෙයුම බවට පත්වන්නේ රාජ්‍ය නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාර නායක මැතිණියව අල්ලා ගැනීමය. එම සැළසුම අසාර්ථක වන්නේ රොස්මිඩ් බංගලාවට පහරදෙන්නට සූදානමින් සිටි කණ්ඩායමේ සිටි තරුණ සටන්කරුවෙක් නිසාය. එම සටන්කරුවා එකල ශ්‍රි ලංකා විද්‍යාලය ලෙසින් හදුන්වනු ලැබූ ඕඩේ පංසලේ පිහිටි පිරිවෙනේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවරදි සිසුවෙකි. මේ සිදුවාට කැරැල්ලට නායකත්වය දුන් පිරිස ගැන ඇතිවුණු යම් ගැටළුසහගත තත්වයක් හේතුවෙන් මැතිණියව අල්ලා ගැනීමේ සැළසුම ගැන කැරැල්ලට පෙර දින රාත්‍රිෙය් ගොස් පවසන්නේ එකල විපක්ෂ නායකයාව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතාටය. ඒ කොළඹ 07, වෝඩ් පෙදෙසේ පිහිටි නිවසට ගොසිනි. ඒ මොහොතේම ජෙ.ආර්. ජයවර්ධන මහතා ඒ බව මැතිණීයට දුරකතනයෙන් දැනුම් දී එම තරුණයාව භාර දෙන්නේ කැරළිකරුවන් අතට රට පත්වන්නට ඉඩ නොතබමිණි.

    එදා ඒ තරුණයා නොසිටින්නට සිරිමාවෝ මැතිණිය ප්‍රාණඇපයට ගෙන ජවිපෙ ආණ්ඩුවක් පිහිටුවන්නට තිබුණු ඉඩකඩ බොහෝය. එම තරුණයාව 71 කැරැල්ල පාවා දුන් මහා නරුමයා ලෙස ජවිපෙ හදුන්වන්නේ එබැවිණි. පසුකාලීනව උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වන එම තරුණයා ජවිපෙ දෙවැනි කැරැල්ල මැඩලීමටද 88-89 වකවානුවේදී පොලිස් අධිකාරීවරයෙක් ලෙස දැවැන්ත කාර්ය භාරයක් ඉටු කළේය. එකල ඔහුව හදුවනු ලැබුවේ ගඩාෆි යැයි කියාය.

    එඩිෂන් ගුණතිලක

    තිස් වසරක් පැවැති යුද්ධය නිමවීමෙන් පසු රටතුළ සාමය ස්ථාපිත කිරීමේ කටයුත්තේදී ඊට බාධාවක් වූ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වෙමින් පැවැති මුස්ලිම් සන්නද්ධ කල්ලි නිරායුධ කිරීමේ කටයුත්ත පවා පැවරුණේ ගඩාෆිටය. 2009 වසරේදී මුස්ලිම් සංවිධාන නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයකදීම ප්‍රසිද්ධියේ ආරක්ෂක අංශවෙත ගිනි අවි භාරදුන්නේ ඒ අනුවය. 2010 වසරේ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස පොලිස් සේවයෙන් විශාම ගෙන මේ වන විට ගොවියෙක් ලෙස කරලියට පැමිණ සිටින ඔහු නමින් එඩිෂන් ගුණතිලකය. අඩසිය වසරකට පෙර තමා ඒ කැරැල්ල මැඩලීමට ලබාදුන් දායකත්වය ගැන ඔහුට අදටත් ඇත්තේ ආඩම්බරයකි. ඒ ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් පත්වූ රජයක් අවි බලයෙන් පහකරන්නට ඉඩ නොදීමට ලබාදුන් දායකත්වය ගැනය.

    කොවිඩ් මර්දනයට තවත් එන්නතක් – ඉන්දියාවේ කැඩිලා අනුමැතිය ගනී

    0

    COVID-19 සඳහා ප්‍රතිකාරයක් ලෙස හෙපටයිටිස් සී ඖෂධය භාවිතා කිරීම සඳහා ඉන්දියාවේ කැඩිලා හෙල්ත්කෙයාර් ලිමිටඩ් විසින් දේශීය ඖෂධ නියාමකයින්ගෙන් අනුමැතිය ලබාගෙන ඇති බව එම සමාගම පවසයි.

    හෙපටයිටිස් සී ඖෂධයේ එක් මාත්‍රාවක් කල්තියා ගත් විට COVID-19 රෝගීන්ට වේගයෙන් සුවය ලබා ගැනීමටත්, රෝගයේ උත්සන්න අවධියේදී දක්නට ලැබෙන සංකූලතා වළක්වා ගැනීමටත් හැකි වනු ඇතැයි කැඩිලා සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

    මෙම ඖෂධය සමඟ ප්‍රතිකාර කළ රෝගීන්ගෙන් 91% ක් පමණ හත්වන දින වන විට 79%ක සාර්ථකත්වයක් පෙන්නුම් කළ බව ඔවුහු පෙන්වා දෙති.

    මෙම එන්නත දැන් ඇත්තේ රසායනාගර පරීක්ෂණ තුන්වැනි අවධියේ ය.

    පෙගිලේටඩ් ඉන්ටර්ෆෙරෝන් ඇල්ෆා -2 බී ලෙස හඳුන්වන මෙම ඖෂධය කැඩිලා විසින් ‘පෙගීහෙප්’ ලෙසින් නිෂ්පාදනය විය.

    එය අක්මා රෝගයක් වන හෙපටයිටිස් සී සඳහා මුලින් අනුමත කරන ලද අතර මීට වසර 10 කට පෙර ඉන්දියාවේදී අනුමත කරන ලදී.

    COVID-19 සඳහා ප්‍රතිකාර කිරීම සඳහා එය නැවත ප්‍රතිස්ථාපනය කරනු ලැබේ.

    කටාන රිෆයිනරීස් සමාගමේ පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනයට සූදානම්

    0

    පිළිකාකාරක ඇතැයි තහවුරු වූ පොල්තෙල් ආනයනය කළ සමාගම් තුනෙන් එක් ආයතනයක් වන කටාන රිෆයිනරීස් සමාගමේ පොල්තෙල් ප්‍රතිඅපනයනයට සූදානම් කර ඇති බව ශ්‍රි ලංකා රේගුව පවසයි.

    සමාගම් තුනක් විසින් මෙරටට ගෙන් වු පිරිපහදු නොකළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය ඉතා ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට පසුගියදා තොරතුරු අනාවරණය විය.

    මෙම පොල්තෙල් සම්බන්ධයෙන් සිදුකළ දෙවන තත්ත්ව පරික්ෂාවේදී ද එම පොල්තෙල්වල අදාළ පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සනාථ වී තිබුණි.

    ඒ අනුව එම පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා රේගුව අදාළ සමාගම්වලට දැනුම්දුන්නේය.

    ඒ අනුව අදාළ සමාගම් ගෙන්වූ පොල්තෙල් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ කටයුතු මේ වන විට අවසන්ව ඇති බව වාර්තා වේ.

    ප්‍රථමයෙන් කටාන රිෆයිනරීස් සමාගමේ පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කිරීම සඳහා පියවර ගෙන තිබේ.

    මෙම සතිය තුළ දී අදාළ පොල්තෙල් තොග ප්‍රතිඅපනයනය කරන බව රේගුව පවසයි.

    තවත් එක් සමාගමක පොල්තෙල් සාම්පලවල පරීක්ෂණ වාර්තා අද ලබාගැනීමට නියමිත ය.

    එය අනුව සෙසු සමාගම් වලද පිළිකා කාරක සහිත පොල් තෙල් තොග යළි ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගැනෙනු ඇත.

    මෙරට චීන ජාතිකයන්ට අද සිට සිනෝෆාම් එන්නත් දෙයි

    0

    මෙරට සිටින චීන ජාතිකයින්ට චීනයෙන් මෙරටට ලැබුණු සිනොෆාම් කොවිඩ් එන්නත අද (05) දිනයේ සිට ලබාදීමට පියවර ගැනේ.

    චීනයේ නිෂ්පාදිත සිනොෆාම් නමැති මෙම එන්නතේ මාත්‍රා ලක්ෂ 6ක් පසුගිය 31 වැනිදා මෙරටට ගෙනඑනු ලැබීය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත චීන ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මෙම එන්නත් තොගය මෙරටට ප්‍රදානය කර තිබේ.

    හැකර්ලා ලීක් කළ ෆේස්බුක් ගිණුම් මිලියන 500 අතරේ සකර්බර්ග්ගේ තොරතුරුත්

    0

    ෆේස්බුක් නිර්මාතෘ, ප්‍රධාන විධායක මාක් සකර්බර්ග්ගේ ෆේස්බුක් ගිණුමේ තිබූ පෞද්ගලික තොරතුරු ද හැකර්ල විසින් අන්තර්ජාලය ඔස්සේ මුදාහරින ලද මිලියන 553 ක පරිශීලකයින්ගේ පුද්ගලික දත්ත අතර වේ.

    සකර්බර්ග්ගේ නම, ස්ථානය සහ විවාහ තොරතුරු, උපන්දිනය සහ ෆේස්බුක් පරිශීලක අනන්‍යතාවය ද ඇතුළත් වූ බව සයිබර් පර්යේෂක ඩේව් වෝකර් තහවුරු කළේය. ෆේස්බුක් සම-නිර්මාතෘවරුන් වන ක්‍රිස් හියුස් සහ ඩස්ටින් මොස්කොවිට්ස්ගෙ සමාන පෞද්ගලික තොරතුරු ද කාන්දු වූ දත්ත අතර ඇතුළත් කර තිබුණි.

    නිරාවරණය වූ දත්ත අතර රටවල් 106ක මිලියන 533 කට අධික ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ පුද්ගලික තොරතුරු හැකර් කෙනෙකු (අනවසරයෙන් දත්ත සොරාගන්නකු) විසින් නොමිලේම ලබාගත හැකි පරිදි අන්තර්ජාලයට මුදාහැර තිබුණි.

    අමෙරිකාවේ පරිශීලකයින්ගේ ගිණුම් මිලියන 32 කට අධික සංඛ්‍යාවක්, එක්සත් රාජධානියේ පරිශීලකයින් මිලියන 11 ක් සහ ඉන්දියාවේ පරිශීලකයින් මිලියන 6 කගේ දත්ත ද ඊට අයත් වේ.

    ඔවුන්ගේ දුරකථන අංක, ෆේස්බුක් හැඳුනුම්පත්, සම්පූර්ණ නම්, ස්ථාන, උපන්දිනය, බයෝස් සහ සමහර ඊමේල් ලිපින ද මුදාහැර ඇත.

    ෆේස්බුක් සමාගම තොරතුරු කාන්දු වූ දත්තවල නියැදියක් සමාලෝචනය කර තිබේ.

    ෆේස්බුක් ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ 2019 දී සමාගම විසින් ඇති කර තිබූ අනාරක්ෂිත භාවය හේතුවෙන් දත්ත මෙලෙස අයථා භාවිතයට හා අනාවරණයට ලක්වූ බවයි.

    වතු කම්කරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව

    0

    අංජනා මල්ලවආරච්චි

    වතුකම්කරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම සඳහා අයදුම්පත් කැඳවන බව ලංකා වතු කම්කරුවන්ගේ අධ්‍යාපන භාරය සඳහන් කරයි.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ වෙනත් පාඨමාලා එම ශිෂ්‍යත්ව පිරිනැමේ.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සම්මාන සාමාර්ථ හයක් සහිතව සමත් වී තිබීම සහ උසස් පෙළ විභාගය සමත් වීම ශිෂ්‍යත්ව ලබා ගැනීමට සුදුසුකමක් වේ.

    වයස අවුරුදු 25 ට අඩු ශිෂ්‍යයින්ට ඒ සඳහා ඉල්ලුම් කළ හැක.

    වතු කම්කරුවන්ගේ අධ්‍යාපන භාරය යනු ඉන්දීය මහ මහ කොමසාරිස් කාර්යාලය මෙහෙයවන සංවිධානයක් වන අතර එම අයදුම්පත් කොළඹ ඉන්දියානු මහා කොමසාරිස් මහ කොමසාරිස් කාර්යාලය හෝ මහනුවර රජපිහිල්ල මාවතේ පිහිටි සහකාර ඉන්දියානු මහා කොමසාරිස් මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකිය.

    චීනයේ විදේශිකයන්ටත් කොවිඩ් එන්නත් දෙයි

    0

    චීනයේ බීජිං නගරයේ දී විදේශීය ජාතිකයින් සඳහා එරට නිෂ්පාදිත COVID-19 එන්නත්කරන වැඩසටහන ආරම්භ කර තිබේ.

    වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විදේශීය ජාතිකයින්ට ස්වේච්ඡාවෙන් සහභාගී වීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව චීන තානාපති කාර්‍යාලය පවසයි.

    මෙහිදී මේ පිළිබඳ සහභාගි වීම, දැනුවත්වීන සහ අවදානම සඳහා පෞද්ගලික වගකීම භාර ගනිමින් COVID-19 එන්නත ලබා ගැනීමට හැකිවේ.

    අලුත් සහල් මංගල්‍යය

    0

    නෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය අද (04) පෙරවරුවේ ‍අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණ.

    ගොවි ජනතාව වෙහෙසී නෙලාගත් අස්වැන්නෙහි අග්‍රභාගය බුද්ධ පූජාව සඳහා වෙන් කිරීම සාම්ප්‍රදායිකව කරගෙන එනු ලබන වාර්ෂික චාරිත්‍රයකි. 54 වන වරට පැවැත්වුණු ජාතික අලුත් සහල් මංගල්‍යය අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කර තිබිණි.

    කලට වැසි වැස කෙත් වතු සරුසාරවන්නට සොබාදහමේ ශක්තිය සහ රත්නත්‍රයේ ආශිර්වාදය අපේක්ෂාවෙන් සතර දෙසින් පැමිණි ගොවිජනතාව අලුත් සහල් මංගල්‍යය චාරිත්‍රයට එක්වෙති.

    පුරාණ චාරිත්‍රානුකූලව අලුත් සහල් මංගල්‍යය පෙරහැර හේවිසි, සක් නාද මධ්‍යයේ නැගෙනහිර වාහල්කඩින් බෝ මලුවට පිවිස ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස වූ පිඨිකාවේ ස්ථාපිත රන් ආලේපිත පාත්‍රයට මහත් ගෞරවයෙන් සහ ශ්‍රද්ධාවෙන් යුතුව සහල් පිරවීම සිදු කෙරිණ.

    පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පාත්‍රයට අලුත් සහල් පිරවීමේ චාරිත්‍රය ඉටු කෙරිණි.

    මැති ඇමතිවරු සහ නන් දෙසින් පැමිණි ගොවීහු පාත්‍රයට අලුත් සහල් පිරවීමට එක්වූහ.

    අලුත් සහල් මංගල්‍යය වෙනුවෙන් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සම්පාදනය කළ සඟරාවේ මුල් පිටපත ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා විසින් පිළිගන්වනු ලැබීය.

    සමන් දේවාලයේ බස්නායක නිලමේ නිගාර ජයසුන්දර බණ්ඩාර මහතා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කෙරෙන ගිතෙල් පාත්‍රය භාර දුනි.

    අලුත් සහල් මංගල්‍යයට සමගාමීව ආදී වාසි ජනතාව විසින් සාම්ප්‍රදායිකව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කෙරෙන මී පැණි බඳුන් වැදි නායක වන්නිල ඇත්තන් වෙනුවෙන් නියෝජ්‍ය නායක උරුවරිගේ ගුණබණ්ඩා විසින් භාරකරනු ලැබීය.

    පළාත් 9 නියෝජනය කරමින් පැමිණ සිටි ගොවි සමිති නියෝජිතයන්ට, භික්ෂූන් වහන්සේ විසින් පිරිත් සජ්ජායනා කොට බලගන්වන ලද බිත්තර වී බෙදාදීම මෙහිදී සංකේතාත්මකව සිදුකෙරිණ.

    මහා සංඝරත්නය, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ, අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍යරුන් වන දුමින්ද දිසානායක, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ශෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි යන මහත්වරු, රාජ්‍ය නිලධාරීන් සහ ගොවි ජනතාව ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    මෛත්‍රීට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි අගරදගුරු හිමි ඉල්ලයි

    0

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පතකළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් චූදිතයකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් අද ඉල්ලා සිටියේය.

    එම වාර්තාවේ සඳහන්‌ පරිදි චූදිතයන්ට හැකි ඉක්මනින් ක්‍රියාවට නංවන ලෙසත් ඒ සඳහා කොමිෂන් සභා පත්කරමින් කල් යැවීම අවශ්‍ය නොවන බවද කාදිනල් හිමිපාණන් එහිදී පෙන්වා දුනි.

    අද පැවති පාස්කු දේවමෙහෙය අවසන්වීමෙන් අනතුරුව කාදිනල් හිමිපාණන් එම අදහස් පළ කළේය.

    “මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා රජයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යනය කරන්නට පත්කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා. අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙන ද මේ කතාව කියන්නේ කියලා. මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ ආයෙත් සැරයක්. කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ. කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙකු හැටියට හඳුන්වලා තියෙනවා. එහෙමනම් එතුමාට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නෑ. තමන්ගේ අතේ වැරදි තියාගෙන අත් හෝදගන්න යන පිලාත්ලා වෙන්න එපා කියලා මම ඒ අදාළ නායකයින්ට කියනවා. ගෙදර ගිහින් වැඩක් බලා ගන්න.”

    පාස්කු ඉරුදින දේවමෙහෙය අද (04) උදෑසන අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැත්විය.

    2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් සමඟ එක්ව සොව පළ කිරීමේ ආගමික මෙහෙයන්ද ප්‍රහාරයට ලක් වූ දේවස්ථානවල අද දින පැවැත්වුණි.

    ඉන්දියාවට වැඳලා හරි කොවිෂීල්ඩ් එන්නත ගෙන්න ගන්න – රවි කුමුදේශ්

    0

    අංජනා මල්ලවආරච්චි

    ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට නොහැකිව සෞඛ්‍ය බලධාරීන් විවිධ කතා කියමින් සිටින්නේ යැයි වෛද්‍ය රසායනාගර වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

    සෞඛ්‍ය බලධාරීන් අත්තනෝමතික ලෙස කටයුතු කළ හෙයින් එන්නත් ලක්ෂ 10ක් නාස්ති වීමේ අවදානමක් හටගෙන ඇතැයි ද වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය .

    පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණය ආරක්ෂා කිරිමට නම් අනිවාර්යෙන්ම දෙවන මාත්‍රාව ලබාදීම අත්‍යවශ්‍ය බව ද ඔහු කීය.

    එම නිසා ඉන්දියාවට වැඳ නමස්කාර කර හෝ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාගෙන දෙවන මාත්‍රාව ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ යුතු බවට රවි කුමුදේශ් මහතා කීය.

    කොල්ලුපිටියේ පැරණි සුපර්මාකට් ගොඩනැගිල්ල ඉවතට

    0

    කොල්ලුපිටිය නගර මධ්‍යයේ පිහිටි පැරණි වෙළෙඳපොළ වෙනුවට මහල් 40කින් සමන්විත නවීන බහු-මහල් වෙළෙඳ පරිශ්‍රයක් ඉදි කිරීමට රජය සැලසුම් කර තිබේ.

    පුළුල් මහජන සේවාවක් සැපයීමට හැකි වන පරිදි නවීන පහසුකම් සහිතව මෙම මහල් ගොඩනැගිල්ල ප්‍රතිනිර්මාණය කෙරෙනු ඇත.

    එම නවීන වෙළෙඳ පරිශ්‍රය තුළ නිවාස, කාර්‍යාල, සාප්පු, රථගාල, හෝටල්,උත්සව ශාලා ඇතුළු සියලු පහසුකම් එකම වහලක් යටින් ලබා ගත හැකිවන පරිදි සකස් කිරීමට සැලසුම් කර ඇත.

    දිස්ත්‍රික් 7ක් රත්වෙයි

    0

    ඉදිරි දින කිහිපය තුළ රටපුරා උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින අතර දිස්ත්‍රික් 7කට අධික උණුසුම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවලට අද වැඩි උෂ්ණත්වයක් වාර්තා විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දැනට රටට බලපා ඇති අන්තර් මෝසම් සමය තුළ එවැනි උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    අධික උණුසුමෙන් ඇතිවිය හැකි හදිසි රෝගී තත්වයන් පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් ජලය පානය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගතයුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    පාස්කු කොමිසමේ නිර්දේශ ගැන සොයන ඇමැති අන ු කමිටු වාර්තාව හෙට ජනපති අතට

    0

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කල විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යනයට පත් කළ අමාත්‍යාංශ අනු කමිටුවේ වාර්තාව හෙට (05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    කමිටු වාර්තාව මේ වන විට සකස්කර අවසන් බව එම කමිටුවේ ලේකම් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ හරිගුප්තා රෝහණධීර මහතා සදහන් කරයි.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු අධ්‍යනය කළ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව විසින් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළ නිර්දේශ ගැනද මෙම අනුකමිටුවේ අවධානයට යොමුවූ තිබේ.

    චමල් රාජපක්ෂ ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍යාංශ අනු කමිටුව උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු හා රෝහිත අබේගුණවර්ධන මහත්වරුන්ගෙන් සමන්විතය.

    කමිටුවේ වාර්තාව භාරදීමට මුලින් නියමිතව තිබුණේ පසුගිය 15වැනිදා ය. එහෙත් වැඩි දුර විමර්ශනය කිරීම සඳහා කමිටුව විසින් තවත් සති දෙකක කාලයක් ඒ සදහා ලබා
    ගත්තේය. එම කාලසීමාව පසුගිය 30 වැනිදායින් අවසන් විය.

    වී මෙට්‍රික් ටොන් 60,000 රජය මිලදී අරන්

    0

    මහා කන්නයේ අස්වැන්නෙන් වී මෙට්‍රික් ටොන් 60,000 ක් පමණ මේ වන

    විට රජය විසින් මිලදී ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද

    අලුත්ගමගේ මහතා සදහන් කරයි.

    වී කිලෝග්‍රෑමයක් රුපියල් 56 යි ශත 50 බැගින් රජය විසින් මේ වන විටත්

    ගොවීන්ගෙන් මිලදී ගනිමින් ඇතැයිද ඇමතිවරයා කීය.

    අමාත්‍යාංශයේ අරමුණ වී ඇත්තේ වී අලෙවි මණ්ඩලය හරහා මෙට්‍රික්

    ටොන් ලක්ෂ 03 ක වී සංචිතයක් පවත්වාගෙන යමින් හාල් මිලෙහි

    පාලනයක් ඇති කිරීමය.

    මෙවර මහා කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න සදහන් වන්නේ මෙට්‍රික්

    ටොන් ලක්ෂ 28 ක් ලෙසිණි. මේ වන විට පුද්ගලික අංශය විසින් තරගකාරී

    මිලකට ගොවීන්ගෙන් වී මිලදී ගනිමින් සිටී.

    චීනයේ ධීවර බෝට්ටුවක් පෙරළී පිරිසක් අතුරුදන්

    0

    නැගෙනහිර චීනයේ ෂෙජියැං පළාතේ අද උදෑසන ධීවර බෝට්ටුවක් ගිලී යාමෙන් 16 දෙනෙකු දිවි ගලවා ගෙන ඇත.

    කිහිප දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බව පළාත් සමුද්‍රීය සෝදිසි හා ගලවා ගැනීමේ මධ්‍යස්ථානය උපුටා දක්වමින් එරට වාර්තා පවසයි.

    ඉරිදා අලුයම 4: 28 ට මධ්‍යස්ථානයට වාර්තා වී ඇත්තේ අසල්වැසි ජියැන්ග්සු පළාතේ කාර්ය මණ්ඩලය 20 ක් පමණ සිටින බෝට්ටුව, ෂුජියාජියන්ට නාවික සැතපුම් 100 ක් පමණ නැගෙනහිර දෙසින්, ෂින්ජියැං හි නිංබෝ ෂූෂාන් වරායට ආසන්නයේ පෙරළී ඇති බවයි.

    නාවික සෙවුම් කණ්ඩායම් සහ ඒ අසල ධීවර බෝට්ටුවලින් ගලවා ගැනීමේ යාත්‍රා සහ හෙලිකොප්ටර් යානා බේරා ගැනීමේ මෙහෙයුමට එක්වී ඇති බව බලධාරීහු පවසති.

    කාර්ය මණ්ඩල සාමාජිකයින් 16 දෙනෙකු බේරාගෙන ඇති අතර ඔවුන්ගෙන් හතර දෙනෙකු සාමාන්‍ය තත්ත්වයේ පසුවූ අතර තවත් 12 දෙනෙකු අසාධ්‍ය ත්ත්වයක් පෙන්නුම් කර ඇත.

    කිහිප දෙනෙකු අතුරුදහන් වී ඇති බැවින් ඔවුන් සෙවීමේ කටයුතු තවමත් සිදු වෙමින් පවතී.

    “වරෙක පාස්කු ඉරිදා ගොදුරු කරගත් ප්‍රහාරකයින්ට නීතියෙන් ගැලවී යාමට ඉඩ දෙන්නේ නෑ”- ජනපති සහතික වෙයි

    0

    කිතුණු ජනතාව අසීමිත ගෞරවයෙන් හා භක්තිවන්තව අද සමරන පාස්කු ඉරිදාව අන්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයකට වරෙක ගොදුරු බවත් ඒ පාපී ක්‍රියාවට වැරදිකරුවන් වන පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට කිසිදු ඉඩක් නොතබන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වෙයි.

    එසේම නැවත එවන් ඛේදාන්තයන්ට කවර හෝ අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටින බවද පාස්කු දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත්කරමින් පවසා තිබේ.

    එම නිවේදනය මෙසේය.

    “පාස්කුව ලෝකවාසී කිතුණු ජනතාවගේ උතුම්ම මංගල්‍යයයි. පාස්කු මංගල්‍යයේ අර්ථය පාපයෙන් ගැලවීමයි. ජන්ම පාපයෙන් නිදහස් ව, කළ වැරදි ගැන පසුතැවිලි වෙමින් නව දිවියක් ආරම්භ කිරීම ඉන් තවදුරටත් අරුත් ගැන්වෙයි.

    ලොවපුරා විසිර පැතිර සිටින කිතුණුවෝ අළු බදාදා ආරම්භ වන, දින 40 ක කාලපරිච්ඡේදයක් ක්‍රිස්තූන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ මරණය සිහිකරමින් ආධ්‍යාත්මික වතාවත්හි නිරත වෙති. පාස්කු ඉරුදින ඔවුහු උන්වහන්සේ උත්ථානවීමේ විජයග්‍රාහී මොහොත මහත් ප්‍රීතියෙන් සමරති.

    කිතුණු ජනතාව මේ කාලය තුළ ක්‍රිස්තූන් වහන්සේ මානව සංහතිය පාපයෙන් මුදාගැනීමේ චේතනාවෙන් කුරුසියේ දුක්විඳ ඉතා වේදනාකාරී මරණය පරාජයකර නැවත නැගිට විමුක්තිය අත්කරදීම මෙනෙහි කරති.

    ශ්‍රී ලාංකේය කිතුණු ජනතාව අසීමිත ගෞරවයෙන් හා භක්තිවන්තව සමරන පාස්කු සමය අන්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයකට වරෙක ගොදුරු විය. ඉන් බිඳුණු හදවත්වල වේදනාව අදටත් මැකී ගොස් නැත. ඒ පාපී ක්‍රියාවට වැරදිකරුවන් වන පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට අප කිසිදු ඉඩක් තබන්නේ නැත. එසේම නැවත එවන් ඛේදාන්තයන්ට කවර හෝ අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටී.

    ජේසුස් වහන්සේ එදා දේශනා කළ මානව විමුක්තිය සමාජයට ශක්තියකි. අද ලෝකය හමුවේ මුහුණපෑමට සිදුවන බහුවිධ තාඩන පීඩන පරාජයකර නැගීසිටීමටත් ප්‍රේමයෙන් දයාවෙන්යුතු මානව හිතවාදී සමාජයක් තුළ ජීවත්වීමටත් මේ පාස්කු සමය ආශීර්වාදයක් කරගනිමු.

    සැමට සාමකාමී පාස්කු මංගල්‍යයක් වේවා!”

    පාස්කු ඉරිදා දිනය අදයි

    0

    මිනිස් ජීවිතයට විමුක්තිය ගෙන ආ අති උතුම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් උට්ඨානයවීම සිහි ගැන්වෙන පාස්කු ඉරිදා දිනය අදට (04) යෙදී තිබේ.

    දිවයින පුරා දේවාස්ථානවල ඊයේ (03) රාත්‍රීයේ ද දේව මෙහෙයන් පැවති අතර අද සියලු දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ දේව මෙහෙයන් පැවැත්වේ.

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ උත්ථානය සිහි කරමින් කිතුණු ජනතාව අද පාස්කු ඉරුදින විශේෂ දේව මෙහෙයන් පවත්වයි.

    දින 40ක චතාරික සමය ගෙවන කිතුණු බැතිමත්හු උපවාසයේ නිරත වෙමින් සහ ආගමික වතාවත්වල නිරත වෙමින් අද දිනයේ එම මංගල්‍යයට සහභාගී වෙති.

    මීට දෙවසරකට පෙර අන්තවාදී පිරිසක් විසින් පාස්කු ඉරිදා දිනයේදී මෙරට දේවස්ථාන කිහිපයකට හා හෝටල් කිහිපයකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින්, වින්දිතයන් සිහිපත් කිරීමද එහිදී සිදුවේ.

    මේ අතර පාස්කු ඉරිදා දිනය වන අද දේවාස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 12,500 කට අධික ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් පිරිසක් රාජකාරී කටයුතුවලට යොදවා සිටී .

    “ප්‍රමිතිය බලන්න ඇල්ලුවම රජයට බනින්නේ විස පොල්තෙල් ගේනවා කියලා” – ජනපති

    0

    ව්‍යාපාරිකයන් ගෙන්වන පොල්තෙල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට රජයේ ආයතන ඇති බවත් ඒවා පරීක්ෂා කිරීමට ගත් විට විස පොල්තෙල් ගේන බවට ඇතැම් පිරිස් රජයට චෝදනා කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ආනයනික පොල්තෙල් තොගයක් පරිභෝජනයට නුසුදුසු බව පසුගියදා හඳුනාගැනීමට හැකි වූයේ මෙම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසින් බව උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන “ගම සමග පිළිසඳර” පළමු වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

    ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන පැවැත්විණ.

    “මම කටු පොල් වගාව තහනම් කළා. විශාල විරෝධයක් තිබුණා පරිසරය, ජල මූලාශ්‍ර හිඳිලා කියලා. අපේ පොල් තෙල් තමයි හොඳ. පහුගිය කාලවල්වල අපේ පොල්ගසුත් කැපුවා. අපිට පිටරටින් පොල් තෙල් ගෙන්නන්නට සිද්ධ වුණා. එක එක ව්‍යාපාරිකයෝ තමයි මේවා ගෙන්නන්නේ. හැබැයි මේවා හරි ප්‍රමිතියක් තියෙනවා ද කියලා බලන්න රජයේ ආයතන තියෙනවා. ඒවා ඇල්ලුවාම රජයට බනිනවා වස විස තියෙන පොල් තෙල් ගේනවා කියලා.”

    වව්නියාව උතුරු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාමසේවා වසමේ දී අද පැවැත්වූ මෙය “ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහනයි.

    එම වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

    “පවුල් 800කට විතර ගොවිතැන් කරන්නට ඉඩම් නෑ කියලා කිව්වා. ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒවා කඩිනමින් ලබාදෙන්න තමයි ජනාධිපතිවරයා වශයෙන් මේ පැත්තට එන්නේ. දැන් මම මේ ඉඩම් ලබා දෙන්න කිව්වොත් හෙට ඉඳලා ගහයි මම කැළෑ කපන්න කිව්වා කියලා. සමහර වෙලාවට වනරක්ෂණයේ ඉන්න නිලධාරීන්ට පවා මේවා තේරෙන්නේ නෑ. ඒගොල්ලෝ වනරක්ෂණ වැඩ විතරයි. අනෙක් පැත්ත බලන්නේ නෑ. අපි වගේ එක්කෙනෙක් ආවාම මාධ්‍යත් පහර ගහනවා හෝ ගාලා.”

    “අපිට කිව්වේ ඔන්න සුදු වෑන් එනවා, කිඹුල්ලුන්ට කන්න දෙනවා, මිනිස්සු උස්සන් ගිහිල්ලා මගේ අර මාළු ටැංකියට දාලා මෝරුන්ට කන්න දෙනවා.. දැන් ඉතින් වෙන එකක් අල්ල ගන්නවා. පරිසරය අල්ල ගන්නවා. වැරදි වැඩ කරනකොට අපි අල්ලනවා.”

    “මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජය කරන්න එක හේතුවක් වුණේ එතනෝල්. දැන් අපි එතනෝල් සම්පූර්ණයෙන්ම නැවැත්වුවා. හැබැයි හොරෙන් ගේනවා. ඒවා අල්ලන්න ඕනේ. කුඩු හොරෙන් ගේනවා. කුඩු අල්ලනකොට කියනවා ඔන්න දැන් කුඩු එනවලු.”

    “රජයේ අනෙක් ප්‍රතිපත්තිය තමයි දූෂණය නවත්වන එක. අපේම ජනතාවනේ මේවා කරන්නේ. ඒ අය අතර ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනේ.”

    “දැන් වියත්මගටත් බනිනවා. වෘත්තිකයන්ටත් බනිනවා. ඒ අයට වැඩ කරන්න බෑ. ජනතාව සහ නිලධාරීන් එක්ක වැඩ කරන්න දන්නෑ කියලා විශාල චෝදනා. දැන් මම තීරණය කළා ඒ අය ක්‍රමයෙන් මාරු කරන්න. මාරු කරනකොට ඔන්න එනවා මට ලියුම් හොඳ නිලධාරියෙක් ඇයි මේ මාරු කරන්නේ කියලා. හැබැයි ඉන්නකම් බයිනවා.”

    “මේ රජයට මට විරුද්ධව සංවිධානාත්මකව මේ බොරු මත ගෙනියනවා. මම හැම තිස්සෙම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි වැදගත්. මාව මේ තැනට ගෙනාපු මතවාදය, ඒ බලවේගය. ඒක තමයි අපි ආරක්ෂා කරගන්න ඕනේ. මේවට විරුද්ධව තමයි බොරු ප්‍රචාර ගෙනියන්නේ. මම ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් තමයි මම කරගෙන යන්නේ.”

    “කොවිඩ් නිසා විශාල රටවල් වැහෙනවා. අපේ රට අපි අරගෙන යන්න හදනවා. අපි පිටරටින් ගෙනෙන ඒවා පාලනය කළාම බඩු මිල ඉහළ යනවා. හැබැයි දේශීයව වගා කරනකොට ඒ ආදායම යන්නේ ගොවියා වෙත. ඒ වගේම අපි පාරිභෝගිකයා ගැනක් කල්පනා කරන්න ඕනේ.”

    “මේ ප්‍රශ්න කතා කරන එකටත් සමහර අය මට බනිනවා. මටත් පුළුවන් කොළඹ වාඩිවෙලා ඉඳලා.. නමුත් මම කැමතියි ජනතාව ළඟට ඇවිල්ලා, එන මග ඉන්න අයටත් මම කතා කරනවා. ඉන් අවස්ථාව ලැබෙනවා මේ ප්‍රශ්නවලට කෙලින්ම පිළිතුරු දෙන්න. “

    අද පෙරවරු 10.00 ට ආරම්භ වූ වැඩසටහන සඳහා වව්නියාව දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයින්, අමාත්‍යංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්‍රධානීන් මෙන්ම නිලධාරීන් ද සහභාගී විය.

    පවුල් 478 කින් සමන්විත වන වෙඩිවෛත්‍යකල්ලු ගම්මානයේ පුද්ගලයින් 1,520 දෙනෙකු ජීවත් වන අතර වී සහ හේන් ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව තිබේ.

    2010 වසරින් පසු සංවර්ධනය නොවූ අතුරු මාර්ග, නිවාස, විදුලිය ඇතුළු යටිතල පහසුකම් ඌනතාව, පානීය සහ වගා ජල හිඟය, කෘෂිකාර්මික ගැටළු මෙන්ම වනඅලි තර්ජනය ඇතුළු ප්‍රශ්නවලට එම ජනතාව මුහුණ දී සිටී.

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ සාධාරණය ඉටුවන තුරු කිතුණු ජනතා ඉවසීම විශිෂ්ටයි – අගමැති

    0

    පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වූ සැමට සාධාරණය ඉටුවන තෙක් වූ කිතුණු ජනතා ඉවසීම විශිෂ්ට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (03) දින සිහිපත් කළේය.

    දෙවසරක් ගතවන පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

    “ලොව පුරා කිතුණු බැතිමතුන් සමඟ එක්ව ශ්‍රී ලාංකේය කිතුණු ජනතාව හෙට (04) දිනයේ ඉමහත් හරසරින් පාස්කු මංගල්‍ය සමරති.

    විමුක්තිදායක ප්‍රීතියේ සැමරුම් දිනය වන මෙදින ශ්‍රී ලාංකේය කිතුණු ජනතාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානවීම බැතියෙන් සිහි කරති.

    මෙයට වසර දෙකකට පෙර 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු මංගල්‍යය දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු කිතුණු බැතිමතුන් දෙසිය පනහකට අධික පිරිසකගේ ජීවිත අහිමු වූ බව අපි දනිමු.

    මෙම මිලේච්ඡ ප්‍රහාරය එදා මෙන්ම අදත් අප තරයේ හෙළා දකින අතර ප්‍රහාරයෙන් ජීවිත අහිමි වු කිතුණු ජනතාවගේ පවුල්වල සමාජිකයන්ට මෙන්ම සමස්ත කිතුණු ජනතාවට අපගේ සංවේගය පළ කරන්නෙමු.

    එමෙන්ම පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමේ පරීක්ෂණ රජයක් ලෙස මේ දක්වා අඛන්ඩව ඉටු කර තිබෙන බව ඔබට සිහිපත් කරමි.

    කිතුණු ජනතාව බලාපොරොත්තුවන පරිදි ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවේ වරදකරුවන්වනතුරු එම පරීක්ෂණ ක්‍රියාවලිය කිසිඳු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වේ.

    පාස්කු දින ඉටි පහනේ අලෝකය සහෝදර ජනතාවට සහනාලෝකය අත්විඳින්නට ඉඩ සළස්වනවා මෙන්ම පාස්කු අර්ථයෙන් ගත්විට සියලු දෙනා එතෙර වීම කිතුණු ජනතාවගේ ද අපේක්ෂාවයි.

    එම උදාර අරමුණ අනුව යමින් පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වූ සැමට සාධාරණය ඉටුවන තෙක් වූ කිතුණු ජනතා ඉවසීම විශිෂ්ට බව සිහිපත් කරමි.

    සමාජය තුළ මුහුණ දීමට සිදුවන විවිධ අභියෝග හමුවේ මානව දයාවෙන්, සහජීවනයෙන් හා අන්‍යෝනය ප්‍රේමයෙන් යුතුව දිවි ගෙවීමට කිතුණු ජනතාවට හැකිවේවා යන්න අප සැමගේ ප්‍රාර්ථනාවයි.”

    ශ්‍රී ලාංකේය කිතුණු බැතිමතුන් සැමට සුබ පාස්කු මංගල්‍යයක් වේවා යැයි ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    වෙළෙඳ පොළේ පොල්තෙල් භාවිතය අනතුරුදායකයි – මන්ත්‍රී විජයදාස

    0

    දැනට වෙළෙඳපොළේ ඇති පොල් තෙල් පරිභෝජනය අනතුරුදායක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    වෙළඳපොලෙන් ලබාගත් සාම්පල්වල මිනිස් සිරුරට අහිතකර ඇෆලටොක්සීන් නොමැති බවට පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයා කළ ප්‍රකාශය අසත්‍යක් බවත් එම නිවේදනය මගින් මන්ත්‍රීවරයා චෝදනා කර ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඊයේ (02) දිනයේදී මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටී.

    එම මාධ්‍ය නිවේදනයේ මෙසේ දැක්වෙයි.

    “පිළිකාකාරක පොල් තෙල් සම්බන්ධ මාධ්‍ය නිවේදනය

    2021 මාර්තු මස 25 සහ 26 යන දිනවල ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පාරිභෝගික සේවා අධිකාරිය විසින් විවෘත වෙළෙඳපොළෙන් ලබාගන්නා ලද පොල්තෙල් සාම්පල් 55 ක් පොල් සංවර්ධන අධිකාරිය වෙත භාරදුන් අතර එම සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි ප්‍රථිපල අප්‍රේල් මස පළමු වැනි දින පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලබාදී ඇත.

    එසේ පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලැබී ඇති සාම්පල් පරීක්ෂාව milligrams per kilo (10 PPB) එනම් අංශු බිලියනයකට ඇෆලටොක්සීන් කොටස් ගණනය කිරීමේ ක්‍රමය මගින් සිදුකර ඇත.

    ඉහත කී පරීක්ෂණ ක්‍රමවේදයට අනුව පොල් තෙල්වල අංශු බිලියනයකට ඇෆලටොක්සීන් අංශු 10කට වඩා වැඩිනම් එය ඉතා බරපතළ ගණයේ මිනිස් සිරුරට පිළිකා කාරක සපයන්නක් වේ.

    එකී පරීක්ෂණය අනුව අංශු 17.9 ක් වැනි ඉතාමත්ම භයානක මට්ටමකට පිළිකා කාරක අන්තර්ගත වූ පොල් තෙල් සාම්පල් ද පැවැති බවට නිගමනය කොට ඇත.

    සාම්පල 55 අතුරින්,

    • ඇෆලටොක්සීන් අගය 10 ඉක්ම වූ සාම්පල් 06ක්
    • ඇෆලටොක්සීන් අගය 05 ඉක්මවූ සාම්පල් 4ක්
    • ඇෆලටොක්සීන් නොතිබූ බවට තහවුරු කළ සාම්පල් 08ක්

    ඉහත කරුණු අනුව පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එම්.එල්.ඩී. නිරෝෂන මහතා අප්‍රේල් පළමු වන දින මාධ්‍ය අමතමින් එම සාම්පල්වල මිනිස් සිරුරට අහිතකර ඇෆලටොක්සීන් නොමැති බවට කළ ප්‍රකාශය ඉතා බරපතළ අසත්‍යක් බවත්, ඔහු හිතාමතාම පිළිකා කාරක අඩංගු පොල් තෙල් මහජනතාවට පරිභෝජනය කිරීමට පොළඹවා ජනතාවගේ ජීවිත විනාශ කිරීමට තැත්කරන බවත් පැහැදිලිය.

    එකී සාම්පල ලබාගෙන තිබුණේ පිටරටින් ආනයනය කරන ලද පිරිපහදු නොකළ පොල් තෙල් (crude coconut oil) තොගවලින් නොවන බවත්, දැනටමත් රටපුරා බෙදාහැර ඇති සිල්ලර කඩවලින් ලබාගෙන ඇති සාම්පල්වලින් බවත් පැහැදිලි වේ.

    ඒ අනුව දැනට වෙළෙඳපොළේ ඇති පොල්තෙල් පරිභෝජනය ඉතා භයානක සහ අනතුරුදායක බව ජනතාවට අවධාරණය කර සිටිමි.

    විජයදාස රාජපක්ෂ
    පාර්ලිමේන්තු මන්ත්‍රී”

    අලුත් අවුරුද්ද සෞඛ්‍යාරක්ෂිතව සමරන්නේ මෙහෙමයි.

    0

    සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සම්බන්ධයෙන් වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර ඇති අතර එහි සම්පූර්ණ විස්තර පහතින් දැක්වේ.

    ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 3.4 ක වර්ධනයක් ලෝක බැංකුව අපේක්ෂා කරයි

    0

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙම වසරේදී සියයට 3.4 කින් වර්ධනය වෙමින් ප්‍රකෘතිමත් වීමක් දැකගත හැකිවනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ.

    දකුණු ආසියාවේ සමස්ථ ආර්ථික වර්ධනය මෙම වසරේ සියයට 7.2 ක් වනු ඇතිබවද එම පුරෝකථනයේ සදහන්ය. ඊට අනුව ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 5.8 ක්ද, බංගලාදේශයේ ආර්ථික වර්ධනය සියයට 5.1 ක් වනු ඇතැයිද ලෝක බැංකුව සදහන් කරයි.

    දකුණු ආසියාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති එම වාර්ථාවට අනුව කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් 2020 වසරේ සියයට 28 කින් සංකෝචනය වූ මාලදිවයිනේ ආර්ථිකය සියයට 17.1 කින් මෙම වසරේ වර්ධනය වනු ඇතැයිද පුරෝකථනය කර තිබේ.