fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්වෙළෙඳ පොළේ පොල්තෙල් භාවිතය අනතුරුදායකයි - මන්ත්‍රී විජයදාස

    වෙළෙඳ පොළේ පොල්තෙල් භාවිතය අනතුරුදායකයි – මන්ත්‍රී විජයදාස

    දැනට වෙළෙඳපොළේ ඇති පොල් තෙල් පරිභෝජනය අනතුරුදායක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    වෙළඳපොලෙන් ලබාගත් සාම්පල්වල මිනිස් සිරුරට අහිතකර ඇෆලටොක්සීන් නොමැති බවට පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයා කළ ප්‍රකාශය අසත්‍යක් බවත් එම නිවේදනය මගින් මන්ත්‍රීවරයා චෝදනා කර ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඊයේ (02) දිනයේදී මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටී.

    එම මාධ්‍ය නිවේදනයේ මෙසේ දැක්වෙයි.

    “පිළිකාකාරක පොල් තෙල් සම්බන්ධ මාධ්‍ය නිවේදනය

    2021 මාර්තු මස 25 සහ 26 යන දිනවල ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පාරිභෝගික සේවා අධිකාරිය විසින් විවෘත වෙළෙඳපොළෙන් ලබාගන්නා ලද පොල්තෙල් සාම්පල් 55 ක් පොල් සංවර්ධන අධිකාරිය වෙත භාරදුන් අතර එම සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි ප්‍රථිපල අප්‍රේල් මස පළමු වැනි දින පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලබාදී ඇත.

    එසේ පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලැබී ඇති සාම්පල් පරීක්ෂාව milligrams per kilo (10 PPB) එනම් අංශු බිලියනයකට ඇෆලටොක්සීන් කොටස් ගණනය කිරීමේ ක්‍රමය මගින් සිදුකර ඇත.

    ඉහත කී පරීක්ෂණ ක්‍රමවේදයට අනුව පොල් තෙල්වල අංශු බිලියනයකට ඇෆලටොක්සීන් අංශු 10කට වඩා වැඩිනම් එය ඉතා බරපතළ ගණයේ මිනිස් සිරුරට පිළිකා කාරක සපයන්නක් වේ.

    එකී පරීක්ෂණය අනුව අංශු 17.9 ක් වැනි ඉතාමත්ම භයානක මට්ටමකට පිළිකා කාරක අන්තර්ගත වූ පොල් තෙල් සාම්පල් ද පැවැති බවට නිගමනය කොට ඇත.

    සාම්පල 55 අතුරින්,

    • ඇෆලටොක්සීන් අගය 10 ඉක්ම වූ සාම්පල් 06ක්
    • ඇෆලටොක්සීන් අගය 05 ඉක්මවූ සාම්පල් 4ක්
    • ඇෆලටොක්සීන් නොතිබූ බවට තහවුරු කළ සාම්පල් 08ක්

    ඉහත කරුණු අනුව පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එම්.එල්.ඩී. නිරෝෂන මහතා අප්‍රේල් පළමු වන දින මාධ්‍ය අමතමින් එම සාම්පල්වල මිනිස් සිරුරට අහිතකර ඇෆලටොක්සීන් නොමැති බවට කළ ප්‍රකාශය ඉතා බරපතළ අසත්‍යක් බවත්, ඔහු හිතාමතාම පිළිකා කාරක අඩංගු පොල් තෙල් මහජනතාවට පරිභෝජනය කිරීමට පොළඹවා ජනතාවගේ ජීවිත විනාශ කිරීමට තැත්කරන බවත් පැහැදිලිය.

    එකී සාම්පල ලබාගෙන තිබුණේ පිටරටින් ආනයනය කරන ලද පිරිපහදු නොකළ පොල් තෙල් (crude coconut oil) තොගවලින් නොවන බවත්, දැනටමත් රටපුරා බෙදාහැර ඇති සිල්ලර කඩවලින් ලබාගෙන ඇති සාම්පල්වලින් බවත් පැහැදිලි වේ.

    ඒ අනුව දැනට වෙළෙඳපොළේ ඇති පොල්තෙල් පරිභෝජනය ඉතා භයානක සහ අනතුරුදායක බව ජනතාවට අවධාරණය කර සිටිමි.

    විජයදාස රාජපක්ෂ
    පාර්ලිමේන්තු මන්ත්‍රී”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.