තවත්

    “ඉහළ අස්වැන්නකට වඩා ජීවිත වටින නිසා රසායනික පොහොර ආනයනය තහනම් කරනවා”

    0

    රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

    “රසායනික පොහොර භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ගත හැකිය. වැව්, ඇලවේලී සහ භූගත ජලය දූෂණයෙන් ජීවිතවලට වන හානිය එම ලාභයෙන් පියවිය නොහැකිය. රසායනික පොහොරවල බලපෑම වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකට හේතු වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ප්‍රතිකාර සඳහා වැයවන මුදල සහ ජිවිතවලට වන බලපෑම ඉහළය. නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඒ වෙනුවෙන් මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කරන” බව ජනාධිපතිවරයා කියා සිටී.

    අද (22) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීහු සමග පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    මෙරට කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට සියලු පාර්ශ්ව මැදිහත්විය යුතුය. පොහොර සහනාධාරය වෙනුවට කාබනික පොහොර ලබාදීමට සැලසුම් කරන බව ජනාධිපතිවරයා කියා සිටී. වාර්ෂිකව පොහොර ආනයනය සදහා වැය කෙරෙන ඩොලර් මිලියන 400ක මුදල ජන ජීවිතය නගා සිටුවීමට යොදාගත හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

    තමා බලයට පත් කිරීමෙන් ජනතාව ප්‍රතිපත්තිමය වෙනසක් අපේක්ෂා කළහ. රට වෙනුවෙන් එම අපේක්ෂා ඉටු කර ගැනීමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බව ජනාධිපතිවරයා කියා සිටියේය.

    එතනෝල් ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කිරීමෙන් අඛණ්ඩව පාඩු ලැබූ ලංකා සීනි සමාගම අත්කරගත් ලාභය මිලියන 1100කි. වසර 20කට ආසන්න කාලයක් අනියම් හා කොන්ත්‍රාත් පදනම මත සේවය කළ 2500කට ආසන්න පිරිසක් ස්ථීර කිරීමට, උසස්වීම් සහ ප්‍රසාද දීමනා දීමට එමගින් හැකි වූ බව ලංකා සීනි සමාගමේ සභාපතිවරයා පැවසීය.

    ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළින් පාඩු ලැබූ ආයතන රැසක් ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට හැකි වූ බව සභාපතිවරු පෙන්වා දුන්හ.

    “සෞභාග්‍යයේ දැක්ම” තුළින් ආයතන ළගා විය යුතු ඉලක්ක පැහැදිළිව දක්වා තිබේ. කැබිනට්, රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ ආයතන සහ අත්කරගත යුතු ප්‍රගතිය පැහැදිළිව සඳහන් කර ඇත. සාමුහික වගකීමක් ඇතිව වැඩ කර ජනතාව බලාපොරොත්තු වූ ප්‍රතිපත්තිමය වෙනස ළගා කර ගැනීමට කැපවන ලෙස ජනාධිපතිවරයා සභාපතිවරුන්ට පැවසීය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    කොවිඩ් වාතය මගින් පැතිරීමේ අවදානමක් – ඩබල් මාස්ක් පළඳින්න

    0

    ලෝ පුරා යළිත් උත්සන්න වී ඇති කොරෝනා වසංගත තත්ත්වය තුළ covid -19 වෛරසය නුදුරේදීම වාතය මඟින් සම්ප්‍රේෂණය වනු ඇති බවට නවතම සොයා ගැනීමකින් හෙළිවී තිබේ.

    මෙම සොයා ගැනීමත් සමඟ මුඛ ආවරණ දෙකක් එකවර පැළඳීම වඩා සුදුසු බව සෞඛ්‍ය විශේෂඥයෝ අවධාරණය කරති.

    අමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) විසින් කරන ලද අධ්‍යයනයන්ගෙන් මේ බව හෙළි වී තිබේ.

    එබැවින් වාතය මුව තුලට කාන්දු නොවී හුස්ම ගැනීමට හැකිවන පරිදි මුඛ ආවරණ පැළඳිය යුතු බව ඔවුන්ගේ අදහසයි.

    මෙම ක්‍රමය ‘Double masking’ ලෙස හැඳින්වේ.

    රෙදි සහ සර්ජිකල් මාස්ක් (ශල්‍යකර්මවලදී පළඳින එක්වරක් භාවිත කර ඉවත දමන නිල් පැහැ ලේයරයක් සහිත මුඛ ආවරණය) යන දෙකම භාවිත කිරීමෙන් ඇතිවන ද්විත්ව ආවරණ මගින් වාතය කාන්දු වීම වළක්වා ගත හැකි නිසා වඩා ආරක්ෂිත බව විශේෂඥයෝ පෙන්වා දෙති.

    දැනට බහුලව භාවිත කරන මුඛ ආවරණ අතුරින් වෛරසය පෙරීමට ලක්කරන ප්‍රතිශතය පහත පරිදි වේ.

    • සර්ජිකල් මාස්ක් – 56.1%
    • රෙදි මාස්ක් -51.4%
    • අගින් ගැටයක් ගසන ලද සර්ජිකල් මාස්ක් -77%
    • සර්ජිකල් සහ රෙදි මාස්ක් දෙකම – 85.4%
    • N95 මාස්ක් – 95%

    නිල් පැහැති ලේයරයක් ඇති ලේයර තුනකින් සමන්විත  Surgical Mask පළඳින්නේ නම් ඒ භාවිත කිරීමේදී ආවරණය අවසන් වන තැන කනෙ හි රඳවන පටිය ගැටයක් ගැසිය යුතු බව විශේෂඥයන්ගේ උපදෙසයි.

    ඔබ රෙදි මුඛ ආවරණයක් පළඳින්නේ නම් ඒ සමඟ දෙකොන ගැටගැසූ surgical මුඛ ආවරණයක් භාවිත කරන ලෙස විශේෂඥයෝ උපදෙස් දෙති.

    මුඛ ආවරණ දෙකක් භාවිතා කිරීමේදී පළමුව සර්ජිකල් මාස්ක් එක පැළඳිය යුතු බවට ද උපදෙස් දී තිබේ.

    පාස්කු ප්‍රහාරය ගැන ප්‍රශ්න කරන්න හරීන් රහස් පොලීසියට කැදවයි

    0

    “හෙට පල්ලි වලට ගහනවා පල්ලි යන්න එපා“ යැයි සිය පියා පැවසූ බව පාස්කු ප්‍රහාරයෙන් පසු සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්හනයක් ආරම්භකර තිබේ.

    ඒ අනුව හෙට (23) දින හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර ඇත.

    පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ඇතිවූ ගැටුමකින් පසු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත්ව මේ වන විටත්නේ වාසිකව ප්‍රතිකාර ගනිමින් සිටිති.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කල කොමිසමද හරීන් ප්‍රනාන්දු මහතාගෙන් මේ ගැන සාක්ෂි විමසා තිබුණි.

    ඡන්දහිමි නාමලේඛනයේ නම තිබේදැයි සොයා බලන් නැයි මැකොස ජනතාවට කියයි

    0

    2020 වර්ෂයට අදාළ ඡන්දහිමි නාම ලේඛනයේ කෙටුම්පත මේ වන විට දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇතැයි මැතිවරණ කොමිසම සදහන් කරයි.

    දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් හෝ www.elections.gov.lk යන මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් වී තිබේදැයි පරික්ෂාකර ගත හැකි වන බවද මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

    මෙම ඡන්දහිමි නාම ලේඛනය 2021 අප්‍රේල් 30 වෙනිදා සහතික කිරිමට නියමිතව ඇති බැවින් ඊට පෙර ඡන්දහිමි නාම ලේඛනයේ තමාගේ නම ඇතුළත් ව තිබේදැයි පරික්ෂා කරන ලෙස ද එම නිලධාරියා ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

    ඡන්දහිමි නාම ලේඛනයේ තමාගේ නම ඇතුළත් වී නොමැති නම් ඒ පිළීබඳව ග්‍රාම නිළධාරිවරයා හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය දැනුවත් කරන ලෙස එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේය.

    කුලියාපිටිය ප්‍රදේශය ලොක්ඩවුන්

    0

    අද (අප්‍රේල් 22) මධ්‍යම රාත්‍රියේ සිට කුලියපිටිය පොලිස් වසම හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ප්‍රදේශයේ COVID-19 පැතිරීම පාලනය කිරීමට මෙම තීරණය ගෙන ඇති බව ඔහු පැහැදිලි කළේය.

    යළි දැනුම් දෙන තුරු කුලියපිටිය පොලිස් ප්‍රදේශය හුදකලා කිරීමේ නියෝගය ක්‍රියාත්මක වන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

    දුම්‍රියක ගැටී ගවයින් 16ක් මරුට

    0
    SONY DSC

    කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන්‌ මී ගවයින්‌ සහ එළ ගවයින්‌ 16 දෙනෙකු මියගොස්‌ තිබේ.

    මෙම ගවයින්‌ රංචුව දුම්රිය මාර්ගය හරහා ගමන්‌ කරමින්‌ සිටියදී ඕමන්තේ ප්‍රදේශයේදී යාපනය සිට අද අලුයම පැමිණි දුම්රියේ ගැටී මෙලෙස මියගොස්‌ ඇත.

    මේ අතර මෙම දුම්රියේ ගැටීමෙන්‌ වව්නියාව තාණ්ඩිකුලම්‌ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ද තුවාල ලැබීය.

    මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ 2020 වාර්ෂික වාර්තාව අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි

    0

    මහජන බැංකුවේ 2020 වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව මහජන බැංකුවේ සභාපති සූජීව රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද (22) දින පෙරවරුවේ පිළිගන්වා ඇත.

    වාර්ෂික වාර්තාවට අනුව මහජන බැකුවේ බදුපෙර ලාභය රුපියල් බිලියන 21ක් වන අතර බදුපසු ලාභය රුපියල් බිලියන 14කි.

    2020 වර්ෂයේ මහජන බැංකුවේ ලාභාංශය රුපියල් බිලියන 3.5ක් ලෙසත් රාජ්‍ය බදු රුපියල් බිලියන 14ක් ලෙසත් සඳහන්ය.

    රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති අනුව යමින් මහජන බැංකුව මේ වසරේ රුපියල් බිලියන 25ක ලාභයක් සහ රුපියල් බිලියන 15කට වැඩි බදු ආදායමක් බලාපොරොත්තුවන අතර ඉලක්කගත ලබාංශය රුපියල් බිලියන 3කි.

    මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සූජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී රංජිත් කොඩිතුවක්කු, මුල්‍ය නිලධාරී අසාම් අහමඩ් සහ අලෙවි විධායක නාලක විජේවර්ධන මහත්වරු සහභාගී වූහ.

    බීමතින් රිය පැදවීමට වඩා මාර්ග නීති කැඩීමෙන් වූ අනතුරු 12 ගුණයකින් ඉහළට

    0
    Car crash accident on street with damaged automobiles after collision

    වසර තිහක් තිස්සේ පැවැති යුද්ධයේදී ජීවිත අහිමි ව ඇත්තේ 29,000 පමණ වූවත් ගෙවී ගිය දස වසර තුළ රිය අනතුරුවලින් පුද්ගල ජීවිත 27000 ක් අහිමි වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සදහන් කරයි.

    “බොහෝ දෙනා සිතන්නේ මත්පැන් භාවිතා කර බීමත් රිය ධාවනය තුළ අනතුරු වැඩි වෙනවා කියලා. සමස්ත රිය අනතුරු සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස ගත්කල බීමත් අනතුරු සිදුව ඇත්තේ සියයට 04 ක් පමණයි. සියයට 48 ක් රිය අනතුරු සිදු වන්නේ සාමාන්‍ය මාර්ග නීති උල්ලංඝනය කිරිම තුලින්. එම අනතුරුවලින් සියයට 50 වඩා වැඩි ප්‍රතිශතයක් ගංජා, අයිස්, මත්කුඩු හා වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කර වාහන පැදවීම තුළින් සිදුවන බව අනාවරණය වී තිබෙනවා.“ යැයිද මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවැසීය.

    මෙම අදහස් ඇමතිවරයා සදහන් කරනු ලැබුවේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට සුදුසු උපකරණ භාවිතය සම්බන්ධව රේඛීය අමාත්‍යංශ දෙපාර්තමේන්තු හා සංවිධාන සමග පැවති රැස්වීමකදීය.

    IDH පිරී යයි – ICU ත් ෆුල්

    0

    සිංහල අලුත් අවුරුද්දෙන් පසුව කොවිඩ් ආසාදිතයන් ඇතුළත් කිරීම ඉහළ ගොස් ඇති බැවින් අයි.ඩී.එච්. රෝහලේ පවතින ඉඩ ප්‍රමාණයට වඩා රෝගීන් මේ වනවිට ඇතුළුත් කර ඇති බව වාර්තා වේ.

    එහි රෝගීන් 120 දෙනෙකුට ඉඩ පහසුකම් පවතින අතර නමුත් මේවන විට කොවිඩ් ආසාදිතයන් 138 දෙනෙකු එහි ප්‍රථිකාර ලබයි.

    එමෙන්ම එහි දැඩිසත්කාර ඒකකයේ ඇති ඇඳන් 08ම පිරී ඇති බව ද සඳහන් ය.

    එම රෝහලේ 20%කට කෘත්‍රිම ඔක්සිජන් සැපයීමත් සමඟ ඔක්සිජන් අවශ්‍යතාව ද ඉහළගොස් ඇති බව වාර්තා වේ.

    ඉදිරියේ දී ලොක්ඩවුන් කරන ප්‍රදේශ වැඩිවන ලකුණු

    0

    කොරෝනා වසංගත‌ ව්‍යාප්තිය වැඩිවීමේ තත්ත්වය මත හුදෙකලා කරන ප්‍රදේශ ඉදිරියේදී වැඩි විය හැකි බව කොවිඩි- 19
    පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත
    මධ්‍යස්ථානය පවසයි.

    දැනට ව්‍යාප්ත වන වෛරස ප්‍රභේද සම්බන්ධයෙන්‌ අධ්‍යනය කරමින් පවතී.‌

    පවතින තත්ත්වය තවදුරටත් උත්සන්න වුවහොත්‌ එම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම හුදෙකලා කරන බවත්‌ හමුදපති ශවේන්ද්‍ර සිල්වා මහතා කීය.


    මාලේ ගුවන් තොටුපලේදී සේවා රථයක් ශ්‍රී ලන්කන් ගුවන් යානයක ගැටී සුළු අනතුරක්

    0

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් මාලදිවයින ගුවන් තොටුපලේ නවතා තිබියදී ගුවන් තොටුපලේ සේවා සපයන රථයක් එම යානයේ පසුපස කොටසේ වැදීමෙන් සුළු හානියක් සිදුව තිබේ.

    අනතුර හේතුවෙන් වෙනත් කිසිදු හානියක් වාර්තා වී නැති අතර ශ්‍රී ලාංකික ඉංජිනේරු කණ්ඩායමක් විසින් දැනටමත් එය යථා තත්ත්වයට පත්කරමින් සිටී.

    අනතුර සම්බන්ධයෙන් මාලදිවයින බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

    A320neo එයාර්බස් වර්ගයේ ගුවන් යානයක් වන මෙය වසර 4ක පමණ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ධාවනය වන යානයකි.

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ දෙවසරක අනුස්මරණය

    0

    පාස්කු ඉරිදා සිදුවු ත්‍රස්ත ප්‍රහාරයට දෙවසරක් ගතවෙන 21 දින කටුවාපිටිය  දේවස්ථානය වෙත පැමිණි පාගමන හා මිය ගිය අය සිහි කිරීම.

    මැතිසබේ ගැටුම ගැන විමර්ශනයට කථානායකගෙන් කමිටුවක්

    0

    ඊයේ (21) පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සත් දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු කමිටුවක් පත් කෙරේ.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව අද ප්‍රකාශ කළේය.

    ඊයේ මැතිසබය තුළ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන දෙපා‍ර්ශ්වයම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධතා දැක්වූ අතර එහිදී හරීන් ප්‍රනාන්දු සහ තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා අතර උණුසුම් තත්ත්වයක් හටගැනුණි.

    එම අවස්ථාවේදී සෙසු මන්ත්‍රීවරු පැමිණ තත්ත්වය සමථයකට පත් කර තිබුණි.

    අණ නොතකා ගිය වැලි ට්‍රැක්ටරයකට හමුදාවෙන් වෙඩි

    0

    යුද හමුදා අන නොතකා පලායමින් සිටි වැලි ජාවාරම්කරුවන් පිරිසකට යාපනය චාවකච්චේරි පොලිස් වසමේ පලාවි ප්‍රදේශයේ දී යුදහමුදාව අද (22) අලුයම වෙඩිතැබීමක් සිදු කර තිබේ.

    ට්‍රැක්ටර්යේ රෝදවලට වෙඩි වැදි ඇති අතර සැකකරුවන් තිදෙනකු ට්‍රැක්ටරය දමා පලා ගොස් ඇත.

    යුදහමුදාව බාරයට ගත් එම ට්‍රැක්ටරය  චාවකච්චේරි පොලීසියට බාරදීමට පියවර ගෙන ඇත.

    Today is the Earth Day! 🌏

    0

    “We Do Not Inherit the Earth from Our Ancestors; We Borrow It from Our Children.”

    කොළඹ ත්‍රිරෝද රථ ගාල් කර යද්දී ප්‍රවේශමෙන්

    0

    කොළඹ ප්‍රදේශවල ත්‍රිරෝද රථ ඇතුළු වාහන ගාල්‌ කර යෑමේදී අවධානයෙන්‌ පසුවන ලෙස පොලිසියෙන්‌ දැනුම්‌ දීමක්‌
    කරයි.

    ඒ ප්‍රදේශ තුනකින්‌ ත්‍රිරෝද රථ සොරා ගැනීමේ සිද්ධීන්‌ වාර්තා වී‌ සමඟයි.

    පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත්‌ රෝහණ කියා සිටියේ කොටුව, බොරැල්ල සහ මෝදර යන ප්‍රදේශවලින්‌ මෙලෙස ත්‍රිරෝද රථ සොරාගැනීමේ සිද්ධීන්‌ වාර්තා වී ඇති බවයි.

    කුරුණෑගල ප්‍රදේශයක් ලොක්ඩවුන්

    0

    කුරුණෑගල ගනේවත්ත තිත්තවැල්ගාල ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබේ.

    කිරුළ අතහැරි ජූරි ලෝක විවාහක රූ රැජිණ සංවිධානයෙන් කළ අවසන් ඉල්ලීම

    0

    ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේදී සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම හමුවේ ස්වකීය තීරණයක් මත ලෝක විවාහක රූ රැජිණ කිරුළ යළි බාරදුන් කැරොලයින් ජූරි ඒ පිළිබඳ Mrs world Inc වෙත දැන්වීමේදී අවසාන වශයෙන් ඉල්ලීමක් කර තිබේ.

    ඒ 2019 වසරේ දී අමෙරිකාවේ ලාස්වේගාස් හිදී ඇය ලෝක විවාහක රූ රැජින කිරුළ දිනා ගත් විගසම කරන ලද පළමු ඉල්ලීමයි.

    එනම් මීළඟ ලෝක විවාහක රූ රැජිණ තරගය ශ්‍රී ලංකාවේ පවත්වන ලෙසයි.

    එදින කළ ඉල්ලීම අවසාන වශයෙන් ද ඉල්ලා සිටිමින් ඇය කියා ඇත්තේ සැලසුම් කළ පරිදිම එය මෙරටදී පවත්වන ලෙසත් කොවිඩ් වසංගතයෙන් ඇදවැටුණු සුන්දර ශ්‍රී ලංකාවට එය මහඟු පිටුවහලක් වනු ඇති බවත් ය.

    ඉලක්ක සපුරා නැති රාජ්‍ය ආයතන සභාපතිවරුන් ට ජනපතිගෙන් රතු එළියක්

    0
    Emily Jean Thomas/Stocksy United

    රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට ලබාදී ඇති ඉලක්ක සපුරාලීමට අපොහොසත්වී ඇත්නම් ඒ අයව ඉවත් කර සුදුසු අය පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කරයි.

    රාජ්‍ය අමාත්‍යවරුන් සමග මාසිකව පැවැත්වෙන සමාලෝචන රැස්වීමට අද (21) එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව පවසා තිබේ.

    රාජ්‍ය ආයතනවල සභාපතිවරු පත්කිරීම සිදුවූයේ යම් ක්‍රමවේදයක් අනුගමනය කරමින් බවද එහිදී ජනාධිපතිවරයා රජ්‍ය අමාත්‍යාවරුන්ට පෙන්වා දී ඇත. මැති ඇමතිවරුන්ට තමා යටතේ සිටින සභාපතිවරුන් අධික්ෂණය කිරීමටත් ඒ අය රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව වැඩ කටයුතු කරන්නේදැයි කියාත් සොයා බැලීමට බලයක් පවතින බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ඇමතිවරුන්ට එහිදී දැනුම් දී තිබේ.

    ඒ අය අවශ්‍ය ඉලක්ක කරා එන්නේ නැති නම් ඒ ගැන දැනුම් දෙන ලෙසත් එවිට ඒ අය මාරුකර වෙනත් සුදුසු අයෙක් පත්කිිරීමට හැකිබවත් ජනාධිපතිවරයා සදහන්කර ඇත.“මට හෝ අගමැතිතුමාට ඕනේ අය නෙමෙයි දාල තියෙන්නේ. යම් කිසි මතයක් තිබෙනවා ජනාධිපතිවරයාගෙන් පත්වුනා, අගමැතිවරයාගෙන් පත්වුනා කියල. ඒක වැරදියි. එහෙම වැඩ කරන්න බැහැ.“ යැයිද ජනාධිපතිවරයා අවධාරණයෙන් එහිදී සදහන් කළේය.

    “ජනතාව සමගයි අපේ ශක්තිය තිබෙන්නේ, ඔවුනගේ අවශ්‍යතා කඩිනමින් ඉටු විය යුතුයි. ගැටලුවලට ඇහුම්කන් දෙමින්, ජනතාවගෙන් දුරස්නොවී වැඩ කරන්න,” යැයි ජනාධිපතිවරයා මෙහිදී රාජ්‍ය අමාත්‍යවරුන්ට සදහන් කර තිබේ.

    රජයේ ප්‍රතිපත්තිය රැකියා නිෂ්පාදනය බව ද එහිදී පැවසූ ජනාධිපතිවරයා එබැවින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගම තුළ ගොඩනගා රැකියා අවස්ථා උදා කිරීමේ හැකියාව ද රාජ්‍ය අමාත්‍යවරුන්ට පෙන්වා දෙනු ලැබීය.

    විිකිරණශීලී ද්‍රව්‍ය රැගත් නෞකාවක් හම්බන්තොටට

    0

    නිසි තොරතුරු ලබා නොදී හම්බන්තොට වරායට ඇතුළු වූ විකිරණශීලී ද්‍රව්‍ය රැගත් නෞකාවක් වහාම වරායෙන් පිටතට රැගෙන යන ලෙස පරමාණුක බලශක්ති නියාමන අධිකාරිය අද (21) අදාල නෞකාවට දැනුම් දී තිබේ.

    මෙම නෞකාව හම්බන්තොට වරායට ඇතුළුවී ඇත්තේ ඊයේ (20) රාත්‍රියේය.

    නෙදර්ලන්තයේ රොටඩෑම් සිට චීනය බලා යාත්‍රා කරමින් තිබුණු මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණ ඇත්තේ යැයි කියවෙන්නේ එහි හටගත් බව කියන යාන්ත්‍රික දෝෂයක් හේතුවෙනි.

    නෞකාව හම්බන්තොට වරායට ඇතුළු වීමේදී නෞකාවේ විකිරණශීලී ද්‍රව්‍ය ඇතැයි වරාය බලධාරීන්ට නිසි පරිදි තොරතුරු ලබාදී නොමැති බව පරමාණුක බලශක්ති නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා පැවසී ය.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත දුන් මෙරට 6කට රුධිර කැටි ගැසීම් – 3ක් මරුට

    0

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් මෙරට පුද්ගලයන් 6 දෙනකුට රුධිරය කැටිගැසීම සිදුවී ඇති බවත් ඉන් තිදෙනෙකු මියගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී හෙළි කළාය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය ඒ බව කීය.

    “ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී සති කිහිපයක් ඇතුළත රුධිරය කැටි ගැසීම වාර්තා වු රෝගීන් ලෝකයේ සමහර රටවලින් වාර්තාවී ඇත. ලංකාවේත් එවැනි අවස්ථා 6ක් වාර්තා වී ඇති අතර, ඉන් තුන්දෙනෙක් මරණයට පත්ව ඇත.

    මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් හා අතුරු ආබාධ සම්බන්ධ කමිටුවේ මතය අනුව රුධිරය කැටි ගැසීම හා එන්නත් අතර ඍජු සම්බන්ධතාවයක් හඳුනා ගෙන නොමැති අතර, මෙවැනි සිදුවීම් වාර්තා වීම මිලියනයකට 4 -6ත් අතර බව දළ වශයෙන් ඇස්තමේන්තු කර ඇත. ඒ නිසා කොරෝනා රෝගී තත්ත්වය නිසා ඇති විය හැකි ආබාධ සමග සංසන්දනය කිරීමේ දී රුධිරය කැටි ගැසීමට ඇති ප්‍රවණතාවය ඉතා අල්ප බව ලෝක දත්ත අනුව පැහැදිලි වේ. තවද ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිත කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇත.“

    මේ අතර ඊයේ, මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 367ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පැවසූහ.

    ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 97,471කි.

    ඒ කඳුලු නැවත නොඑන්න!

    0

    අද වැනි දිනෙක පාස්කු ඉරිදා එල්ල වූ අන්තවාදී ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් රටට අහිමි කළ ජීවිත ගණන 274කි. තවල් 596 දෙනෙක් තුවාල ලැබූහ.
    හදවතේ ගැඹුරින් ඔබ සියලු දෙනා සිහි කරන අතර එවන් අඳුරු මතකයක කඳුලු නැවත නොඑන්න ! යැයි ප්‍රාර්ථනා කරමු.

    ඉන්දියාවෙන් ඇල්ලූ මත්කුඩු බෝට්ටුවේ සිටි අංජුගේ ගෝලයින් මෙන්න

    0

    ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබියදී ඉන්දියානුු මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මෙරට රාජ්‍ය බුද්ධි සේවයෙන් ලබාදුුන් තොරතුරකට අනුව ඉන්දියානු සාගර සීමාවේදී අල්ලාගත් මත්කුඩු කිලෝ 340 ක් සහිත බහුදින යාත්‍රාවේ සිටි පස් දෙනා හදුනා ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය සමත්ව ඇත.

    අගුලානේ සහ බඩෝවිට පදිංචිකරුවන් වන විමලසිරි (58), සෝමසිරි (55) , ධර්මදාස (49), අජිත් ඉෂාන් (48) සහ ආරියරත්න පෙරේරා (48) යන පස් දෙනා ඉන්දියානු අත්අඩංගුවේ පසුවෙති.

    මේ අය අතර සිටින ධර්මදාස, අජිත් සහ ආරියරත්න යන තිදෙනා මේ වන විට ප්‍රංශයේ රැදී සිටිමින් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින කුඩු අංජු නැමැත්තාගේ ගෝලයින් බවට හදුනාගෙන ඇත. මෙම මත්කුඩු තොගය භාර ගෙන මෙරටට රැගෙන ඒමේ කටයුත්ත පැවරී ඇත්තේද මෙම තිදෙනාට බව හෙළිවී තිබේ.

    ඒ අනුව මෙරට මොවුන්ගේ මත්කුඩු ජාලයට සම්බන්ධකම් ඇති පිරිස් සොයා මෙරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ද මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇත.

    දේශපාලන පළිගැනීම්වලට සහන දෙන අලුත් කොමිසමට ඩී.අයි.ජී. චම්පික නම් කරයි

    0

    යහපාලන ආණ්ඩුව සමයේදී සිදුවූ බව කියන දේශපාලන පළිගැනීම් පිළිබදව විමර්ශනය කිරීමට පත්කල ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ ඇතුලත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පත්කල නව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පොලිස් විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ නම පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් නිර්දේශකරමින් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා වෙත ලිපියක් ඊයේ (20) යොමුකර තිබේ.

    ඊට අමතරව පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තවත් නිලධාරීන් 05 දෙනෙකුගේ නම්ද කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට නිර්දේශකර ඇත. එම නිලධාරීන් පොලිස් මූලස්ථාන සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය, කොළඹ අපරාධ කොට්ඨාශය, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය, සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය සහ වලානේ පිහිටි මධ්‍යම කොට්ඨාශ දූෂණ මර්දන බලකාය යන අංශවල සේවයේ නිරතව සිටින්නන්ය.

    ඉකුත් පෙබරවාරියේ පත්කළ ‍නව ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මහතා පත් කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඛේමා කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය සහ අභියාචානාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා කොමිසමේ සෙසු සාමාජිකයන් වශයෙන් කටයුතු කරයි. කොමිසමේ ලේකම් ලෙස පත්කර සිටින්නේ බුවනෙක හේරත් මහතාය.

    පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ඇතැමුන්ගෙන් විමර්ශනවලට බලපෑම්- අගමැති හෙළිකරයි

    0

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුතු සියලුදෙනා නීතිය ඉදිරියට ගෙන එන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද යළි සහතික විය.

    පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් සැපිරීම හේතුවෙන්, සභාවේ අවසරය ඇතිව අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කීය.

    පසුගිය රජය විසින් සිදුකළ සාපරාධී නොසලකා හැරීම් හා මඟ හැරීම් හේතුවෙන් වන්දිගෙවීමට සිදුවුයේ අහිංසක ජනතාවට බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය.

    අදත් එම ප්‍රහාරයට වගකිව යුතු ඇතැම් පිරිස් සමාජයට බොරු කියමින් විමර්ශනවලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිශාවකට යොමුකරමින් සිටින බව ද අගමැතිවරයා මෙහිදී හෙළිකළේය.

    මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා,

    “පාස්කු කොමිසම විසින් හෙළිදරව් කර ගත් තොරතුරු අනුව, සකස් කළ වාර්තාව හා අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා.

    අධිකරණ කටයුතු කෙරෙහි මැදිහත්වීම නොකරත් ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට අවශ්‍ය ඕනෑම සහයකට රජයක් හැටියට සුදානම් බව කියන්න කැමතියි. කොමිෂන් සභාවට අමතරව ක්‍රියාත්මක කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ඉතාම ස්වාධීනව සිදුකරගෙන යෑමට අවශ්‍ය පහසුකම් ජනාධිපතිවරයා විසින් සපයා දී තිබේ.

    පරීක්ෂණ අවසානයේ ඒ ඒ දෙපාර්තමේන්තු විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේ දී කටයුතු කරයි කියලා අපට විශ්වාසයි.“

    මේ අතර පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ පිරිස සහ තුවාල ලැබූ පිරිස සිහිපත් කිරීමේ අවස්ථාව සඳහා අද (21) උදෑසන 8.45ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කිරීම සහ පහන් දැල්වීම අරලියගහ මන්දිරයේදී සිදුවී තිබුණේ මෙසේය .

    පාස්කු ප්‍රහාරයේ පිටුපස සත්‍ය නිරාවරණය පමාවීම රටම අනතුරේ හෙළීමක් – අගරදගුරු

    0

    පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටින සමස්ත සත්‍ය නිරාවරණය කිරීම අත්‍යවශ්‍ය බවත් එය ප්‍රමාද කිරීම මුළු රටේම ආරක්ෂාව අනතුරේ හෙළීමක් බවත් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ පවසති.

    ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කර වින්දිතයින්ට සාධාරණය ඉටුකරන තෙක් මේ වන විට දියත් කර ඇති විරෝධතා දිගටම පවත්වන බව උන්වහන්සේ කියා සිටියේ “පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් අනුස්මරණය” සඳහා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති වැඩසටහනකදීය.

    පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට හා ආබාධිතව රෝද පුටුවල සිටින අයටත් සාධාරණයක් හිමිවන්නේ සත්‍ය හෙළිදරව් වී යුක්තිය ඉටුවූ විට බව හිමිපාණෝ වැඩිදුරටත් සඳහන් කළහ.

    “පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සිදුවී වසර දෙකක් ගෙවී ඒ පිළිබඳව කිසිවෙකුට විරුද්ධව නඩු පැවරී නැති වටා පිටාවක් තුළ, එම වින්දිත පවුල්වලටත් සියලු ශ්‍රී ලාංකික සහෝදර සහෝදරයින්ටත් මම පවසන්නේ, පාස්කු දින ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කර වින්දිතයින්ට යුක්තිය හා සාධාරණය ඉටුවන තුරු අප දියත් කර ඇති විරෝධතා ව්‍යාපාර දිගින් දිගටම කරගෙන යනවා.”

    ජූරිගේ කිරුළ අයර්ලන්තයේ කේට්ට පිරිනමයි

    0

    කැරොලයින් ජූරි විසින් දැරූ ලෝක විවාහක රූ රැජිණ කිරුළ එම තරගයේ දෙවැනියා වූ අයර්ලන්ත කාන්තාවක වන Kate Schinder වෙත පිරිනැමූ බව එම සංවිධානය නිවේදනය කරයි.

    ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධිය හේතුවෙන්‌ කැරලයින් ජූරි තමා විසින්ම ලෝක විවාහක රූ රැජිණ කිරුළ යළි භාරදීමට කටයුතු කළාය .

    නිවේදනය දැක්වෙන්නේ එම ඉල්ලා අස්වීම හේතුවෙන් එම කිරුළ තරඟයේ දෙවැනියාට ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

    රෝසි සේනානායක මහත්මිය විසින් මුල්ම ලෝක විවාහක රූ රැජින ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ කිරුළ වසර තිස් පහකට පසුව ගෙන එන ලද්දේ කැරලයින් ජූරි විසිනි.

    නව ලෝක විවාහක රූ රැජින

    ඉන්දීය අත්අඩංගුවට ගත් මත්කුඩු තොග‍ය ප්‍රංශයේ සිටින අන්ජුගේ ඇනවුමක්

    0

    ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් එරට දී අත්අඩංගුවට ගත් මත්කුඩු කිලෝ 340 ජාවාරමේ ප්‍රධානියා මේ වන විට ප්‍රංශයේ සැඟවී සිටින ගොනාකෝවිලේ අන්ජු නැමැත්තා බවට අනාවරණය වී තිබේ.

    ඔහු සිය බිරිඳ සහ දරුවන් සමඟ මේ වන විට ප්‍රංශයෙහි ජීවත් වේ.

    ඔහුගේ ඇනවුමකට අනුව මෙම හෙරොයින් මත්කුඩු තොගය ඉරාන නෞකාවකින් ලංකාවට ගෙනෙමින් තිබියදී මෙරටින් ගිය බෝට්ටුවකට ජාත්‍යන්තර මුහුදු සීමාවේදී පටවා තිබේ .

    මේ සම්බන්ධීකරණය කරන ලද්දේ ඩුබායි හි සිටින අංජුගේ ප්‍රධාන ගෝලයෙක් බව කියැවෙන ඇල්ටෝ ධර්මේ නමැත්තාය.

    ඇල්ටො ධර්මයේ නැමැත්තා 2018 දි ධනංජය සිල්වා නම් ක්‍රිකට් ක්‍රීඩකයාගේ පියාට වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුය . එම සිදුවීමෙන් පසු ඔහු ඩුබායි වෙත පළා ගොස් තිබේ .

    නුවර පදිංචිව සිට දැනට ඩුබායි හි සිටින සයිමා නම් තවත් පුද්ගලයකු මෙම ජාවාරමට සම්බන්ධ වී ඇත.

    නුවර ප්‍රදේශයේ මත් කුඩු බෙදාහැරීමේ ඩුබායි සිට සම්බන්ධීකරණය කරනු ලබන්නේ සයිමා නැමැත්තා බව වාර්තා වේ.

    එම මත්කුඩු රැගත් බෝට්ටුව මෙරට බොහොම සීමාවෙන් පිට වන විට රාජ්‍ය බුද්ධි සේවයට ලද ඔත්තුව ඉන්දියාවට ලබා දීමෙන් පසු මෙම බෝට්ටුව සහ ලාංකිකයන් පස් දෙනා පස්දෙනා ඉන්දීය අත්අඩංගුවට ගෙන ඇත .

    අත්අඩංගුවට ගත් ලාංකිකයන් පස්දෙනා රත්මලාන අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෝ ය.

    ඉන් තිදෙනෙක් අංජුගේ ප්‍රධාන ගෝලයන් බවට මේ වන විට හඳුනාගෙන තිබේ.

    ඔවුන් කිසි දිනෙක මුහුදු ගිය අය නොවන බවත් මත් කුඩු ගෙන ඒම සදහා පමනක් මෙම ගමනට සහභාගී වී ඇති බවත් වාර්තා වේ .

    පාස්කු ඉරිදා ප්‍රහාරයට අදට දෙවසරක්

    0

    2019 වසරේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදිනයේ මිලේච්ඡ අන්තවාදී ත්‍රස්තවාදීන් පිරිසක් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර දෙකක් සපිරේ.

    ප්‍රහාරයෙන් විපතට පත්වූවන් අනුස්මරණය කරමින් උදෑසන 8.45ට දේවස්ථානවල සීනූ නාද කෙරෙන අතර ඉන් පසු මිනිත්තු 2ක නිෂ්ශබ්දතාවයක් පැවැත්වෙනු ඇත.

    ප්‍රහාරයෙන් මියගිය 269 දෙනා සිහි කර කිතුනු දේවස්ථානවල අද (21) විශේෂ ආගමික සහ සැමරුම් උත්සව පැවැත්වීමට කතෝලික සභාව කටයුතු සූදානම් කර තිබේ.

    පාස්කු ප්‍රහාරයේ ඉලක්ක බවට පත්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි යන දේවස්ථානවලදීත් අද විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක්ම පැවැත්වීමට නියමිතය.

    කතෝලික සභාව පවසන්නේ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ප්‍රකාශයක්ද මෙරට සිටින වතිකානු තානාපති රදගුරුතුමා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවය.

    එම සැමරුම් උත්සව පැවැත්වෙන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට මාර්ගවල අද මධ්‍යහ්න 12 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ

    පොලිසිය පවසන්නේ සෙසු කතෝලික දේවස්ථානවලටද විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බවය.

    සියලුම කතෝලික පාසල්වලට අද දින නිවාඩු ලබාදී තිබේ.

    ස්වාධීන රාජ්‍යවල ස්වෛරීභාවය කිසිසේත් අඩපණ නොකළ යුතු බව ජනපති ජාත්‍යන්තරයට කියයි

    0

    ජාතික සහ ජාත්‍යන්තර ප්‍රතිපත්ති, සම්මතයන්, නීති අතර සාධාරණ සමබරතාවයක් පවත්වාගෙන යාමේදී ස්වාධීන රාජ්‍යයන්හි ස්වෛරීභාවය කිසිසේත් අඩපණ නොකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තර ප්‍රජාවට අවධාරණය කරයි.

    ආසියාව සඳහා වූ බොආඕ සංසදයේ ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් සිය දේශනය ඔස්සේ ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

    ආසියාවේ සහ සෙසු මහද්වීපවල රාජ්‍ය නායකයන්, ව්‍යාපාරිකයන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “බොආඕ සංසදය“ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

    ලොව සමාජීය සහ ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ආසියානු මහද්වීපයේ සහ තවත් රටවල් කිහිපයක රාජ්‍ය නායකයන්ගේ සහභාගීත්වයෙන් “බොආඕ සංසදය“ පිහිටුවා ගැනුණි.

    එහිදී බොආඕ සාමාජික සංසදය අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් මේ බව කීය.

    “මේ වසරේ, ආසියාව සඳහා වූ බොආඕ සංසදයේ ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගී වීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙමි. පළමුව, රටවල් එක අරමුණකට ගෙන ඒම සඳහා දශක දෙකක විශිෂ්ට කාර්යයක් නිම කිරීම පිළිබඳව බොආඕ සංසදයට මම සුබ පතමි.

    මහජන චීන සමූහාණ්ඩුව විසින් ආසියාවේ බොආඕ සංසදය තුල සිදු කරන ලද ප්‍රධාන කාර්යභාරය අගය කිරීමටද මම මෙය අවස්ථාවක් කර ගනිමි. ශතවර්ෂ ගණනාවක ප්‍රෞඩ ඉතිහාසය තුළ, ශ්‍රී ලංකාව සහ චීනය අන්‍යෝන්‍ය ගෞරවය, විශ්වාසය සහ සහයෝගිතාව මත පදනම් වූ ශක්තිමත් ක්‍රමෝපායික සහයෝගී හවුල්කාරිත්වයක් පවත්වාගෙන ඇත. ශ්‍රී ලංකාවේ යහපතට හේතුවන වැදගත් ක්ෂේත්‍රයන් උදෙසා අතිගරු ෂී ජින් පිං ජනාධිපතිතුමා සහ චීන රජය විසින් ශ්‍රී ලංකාව වෙත දැක්වූ සහයෝගය මම අගය කරමි.

    ශ්‍රී ලංකාව සියලුම මිත්‍ර රටවල්, විශේෂයෙන්ම ආසියානු කලාපයේ අසල්වැසි රටවල් සමඟ සහයෝගීතාව අපේක්ෂා කරන පැහැදිලි හා නව ජවයකින් යුත් විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යයි. එම විදේශ ප්‍රතිපත්තිය සමානාත්මතාව හා නොබැඳි කොන්දේසි මත පදනම් ව සැකසී ඇත. මෙම මූලධර්ම අපගේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව වන ‘සෞභාග්‍යයේ දැක්ම’ තුළ අන්තර්ගත වේ.

    එබැවින්, සමුළුවේ මේ වසරේ තේමාව තුලින් ගෝලීය පාලනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ඉස්මතු කර තිබීම මම අගය කරමි. ජාත්‍යන්තර සබඳතා සඳහා වඩාත් සාධාරණ හා ගෞරවනීය පදනමක් කරා අප ළඟාවීම අත්‍යාවශ්‍ය වේ.

    පවත්නා ගෝලීය ව්‍යුහයන් සහ පාලන යාන්ත්‍රණයන් නිරන්තරයෙන් වෙනස්වන ගෝලීය අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලොවපුරා සිටින ජනතාවට දැවැන්ත අභියෝගයන්ට මුහුණ දීමට සිදුව ඇත.

    සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් ලෝක ආර්ථිකයට සපයන දායකත්වය කුමක් වුවත්, මෙම රටවලට අප්‍රමාණ වූ නීති, රෙගුලාසි සහ පාලන ව්‍යුහයන් පිළිපැදිමට සිදු වේ. එනමුත් ඔවුනට ගෝලීය නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට ප්‍රවේශ විය නොහැකි බවත් අපි දනිමු. මෙය කණගාටුදායක තත්වයකි.

    ජාතික ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර හවුල් ප්‍රතිපත්ති, සම්මතයන් සහ නීති අතර සාධාරණ සමබරතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම සමානාත්මතාව පවත්වාගෙන යාමේදී ස්වාධීන රාජ්‍යයන්හි ස්වෛරීභාවය කිසිසේත් අඩපණ නොකළ යුතුය.

    කලාපයේ දීර්ඝකාලීන සංවර්ධන අභිලාෂයන් ආමන්ත්‍රණය කිරීම අරමුණු කරගත් සේද මාවත ප්‍රවේශය කලාපීය රාජ්‍ය හා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් එක්ව පොදු කාර්යයක් සඳහා එකට වැඩ කිරීමට හැකිවී තිබේ. එවැනි මුලපිරීම් ප්‍රශංසනීයය.

    ශ්‍රී ලංකාව සාමකාමී, දේශපාලනික වශයෙන් ස්ථාවර රාජ්‍යයක් වන අතර එහි සංවර්ධන රාමුව යටතේ සිය අරමුණු සපුරාලීම සඳහා දේශීය පාලන ක්‍රමවේදය වැඩි දියුණු කිරීම සඳහා විවිධ පියවර ගෙන තිබේ. ඵලදායී පුරවැසියන්, සතුටින් පිරි පවුලක්, විනයගරුක සමාජයක් සහ සමෘද්ධිමත් ජාතියක් යන සිව් වැදෑරුම් ප්‍රතිඵල ලබා දීම සඳහා ප්‍රතිපත්ති ක්ෂේත්‍ර 10 ක් හඳුනාගෙන ඇත.

    අඩු ආදායම්ලාභී පවුල් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීම, ග්‍රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, අනාගත අවශ්‍යතා සපුරාලීම සඳහා අපගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ රට පුරා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා තාක්‍ෂණය භාවිතය වැඩි දියුණු කිරීම සඳහා අප හොඳින් සිතා බලා සැලසුම් සකස් කර ඇත. ඉදිරි වසරවලදී අපගේ ආර්ථිකය සැලකිය යුතු ලෙස නගාසිටුවීමට හා ශක්තිමත් කිරීමට අපට අපේක්‍ෂා සහගත සැලසුම් තිබේ.

    මෙම ක්‍රියාවලියට සඳහා අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ දායකත්වය අපි අපේක්ෂා කරමු. අපගේ බලාපොරොත්තුව ණය ලබා ගැනීමට නොව ආයෝජන දිරිමත් කිරීම වේ. වාසිදායක බදු ව්‍යුහයක් සහ වෙනත් දිරිගැන්වීම් ඇතුළුව විදේශ සෘජු ආයෝජන සඳහා අපි ආකර්ශනීය ප්‍රතිපත්ති සකස් කර ඇත්තෙමු.

    බෝආඕ සංසදයේ සාමාජික රටවල රජයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාව ඔවුන්ගේ ආයෝජන සඳහා ගමනාන්තයක් සේ සලකන ලෙස. එලෙසම එම රටවල් මගින් අප රට තුල තවත් ව්‍යාපාර ඇරඹිමට ආයෝජකයන් ධෛර්යමත් කරන ලෙස ද ඉල්ලා සිටිමු. විශේෂයෙන් අපේ ආර්ථිකයට වාසිදායක බලපෑමක් ඇති කරන අපනයන අරමුණු කරගත් කර්මාන්තවල ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අප උත්සාහ කරන්නෙමු.

    අවසාන වශයෙන්, බොආඕ සංසදයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව එහි උපදෙස්, මූලධර්ම සහ එහි අරමුණ කෙරෙහි ඇති කැපවීම මම සහතික වෙමි.

    මෙම ගෝලීය වශයෙන් අභියෝගාත්මක තත්වය තුල 2021 BFA වාර්ෂික සමුළුව මගින් කලාපයේ සහ ලෝකයේ අනෙකුත් රටවල් අතර වාසිදායක තත්වයක් ඇති කිරීමට දායකත්වයක් සපයනු ඇතැයි මම විශ්වාස කරමි.”