තවත්

    උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

    0

    2020 අ.පො.ස. උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලය හරහා නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රතිඵල ලබා ගත හැකිය.

    ප්‍රතිඵල බලන්න මෙතැනින් පිවිසෙන්න👇

    https://www.doenets.lk/examresults

    පෝට් සිටිය ගැන මැතිසබේ විවාදය කල් යයි

    0

    පාර්ලිමේන්තුවේදී හෙට (5) පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදය කල් දමා තිබේ.

    එම කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය මෙතෙක් පාර්ලිමේන්තුවට නොලැබීම හේතුවෙන්‌ මැතිසබේ විවාදය කල් දැමීමට පියවර ගෙන ඇත.

    මේ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පක්ෂ නායකයින් මේ බව තීරණය කර තිබේ.

    කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් 336 ක් රෝහල් වල

    0

    පොලිස් නිලධාරීන් 336 දෙනෙක් මේ වන විට කොවිඩ් 19 වෛරස ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

    ඒ අයගෙන් 126 දෙනෙක් මහනුවර කුණ්ඩසාලේ සහ හන්තාන සිසිල පොලිසියේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටිති. සෙසු කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටිති.

    ඩයනා ගමගේ මන්ත්‍රිනියට පාස්පෝට් 2ක් ඇතැයි CID විමර්ශනයක්

    0

    සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකුව සිටිමින් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ලබා ගෙන තිබීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාලව රහස් පොලිස් පරීක්ෂණයක් ආරම්භවී තිබේ.

    2020 නොවැම්බර් මාසයේදී සිවිල් ක්‍රියාකාරිකයෙක් විසින් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව එම විමර්ශනය සිදුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනවසර සංක්‍රමණ වැලැක්වීමේ අංශය විසිනි.

    ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන්බලපත්‍රයක්ද සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයක්ද දරන බවට එම පැමිණිල්ලෙහි සදහන් වන බැවින් ඊට අදාල තොරතුරුද ආගමන විගමන පාලක වරයාගෙන් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන ඇත

    ඇගේ බ්‍රිතාන්‍ය පුරවැසි භාවය සම්බන්ධයෙන්ද මෙරට බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් තොරතුරු ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.

    රුසියාවේ ස්පුට්නික් ෆයිව් එන්නතේ පළමු මාත්‍රා තොගය මෙරටට

    0

    රුසියාවේ නිෂ්පාදිත, ස්පුට්නික් ෆයිව් කොරෝනා මර්දන එන්න‍තේ පළමු මාත්‍රා තොගය අද (04) අලුයම කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට රැගෙන ආවේය.

    මෙරට රුසියානු තානාපති කාර්යාලයේ නියෝජිතයෙක් විසින් එන්නත් තොගය ගුවන් තොටුපොළේදී එම එන්නත් මාත්‍රා 15,000ක ප්‍රමාණය ඹෟෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාට භාර දුන්නේය.

    මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද එක්ව සිටියේය.

    සාමාන්‍ය පෙළ අගෝස්තුවේත් උසස් පෙළ දෙසැම් බරයේදීත් පැවැත්වීමට කැබිනට් අනුමැතිය

    0

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී ත් අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

    ඊට සමගාමීව 10 සහ 11 ශ්‍රේණිවල විෂය මාලාව වසර 01ක් සහ මාස 09ක කාල සීමාවක් වන සේ ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට ගතවන කාලය අවම කිරීම මගින් අවම කාලසීමාවක් තුළ ප්‍රථම උපාධි සුදුසුකම ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දීම අරමුණුකර ගනිමින් අධයාපන ඇමතිවරයා විසින් මෙම යෝජනාවන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර ඇත.

    උසස් පෙළ ප්‍රතිඵල අද

    0

    මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ ප්‍රතිඵල අද (04) නිකුත් කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කරයි.

    ‍ 2020 වසරේ අගෝස්තු පැවැත්වීමට නියමිතව තිබුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය

    කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එවර පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් මාසයේදීය.

    තුන්ලක්ෂ හැටදෙදහස් අටසිය විසි හතර දෙනෙක් විභාගයට පෙනී සිටි අතර මධ්‍යස්ථාන 2648 කදී විභාගය පවත්වනු ලැබීය.

    අප්‍රේල් මාසයේ අපේ රටේ රිය අනතුරු සිදුවූයේ මෙහෙමයි

    0

    අපේ රටේ වැඩියෙන්ම රිය අනතුරු සිදුවන මාසය ලෙස සැලකෙන්නේ අප්‍රේල් මාසයයි. මේ බව අනාවරණය වී ඇත්තේ පොලිස් රථවාහන අංශය විසින් කාලයක් තිස්සේ රැස්කළ රිය අනතුරු දත්තයන් විශ්ලේෂණයෙනි. අලුත් අවුරුදු මාසය ලෙස සැලකෙන අප්‍රේල් මාසය ආරම්භයත් සමග පොලීසිය මාධ්‍ය ඔස්සේ කට කැඩෙනකම්ම රිය අනතුරුවලින් වැලකෙන හැටි රියදුරන්ව දැනුවත් කරන්නේ එබැවිණි. ඒ පෙර වසරට වඩා එක අනතුරක් හෝ අඩුකර ගැනීමටය. එහෙත් සිදුවන්නේ වසරින් වසර රිය අනතුරු ඉහළ යාමකි.

    මෙවරත් අප්‍රේල් මාසයේ රි අනතුරු සම්බන්ධයෙන් දත්තයන් පොලිස් රථවාහන අංශය විශ්ලේෂණය කර හමාරය. ඊට අනුව මෙවර අප්‍රේල් මාසයේ සිදුව ඇති රිය අනතුරු ගණන 1959 කි. මේ පොලීසියට වාර්තාවූ රිය අනතුරු පමණි. මේ හා සමාන දෙතුන් ගුණයක් වුවත් රිය අනතුරු මේ කාලය තුළ සිදුව තිබෙන්නට පුළුවනි.

    පොලීසියට වාර්තා වූ අනතුරුවලින් පුද්ගල ජීවිත 205 ක්ම මෙවර අප්‍රේල් මාසයේදී අහිමිව තිබේ. එසේම ඒ කාලය තුළ සිදුවූ අනතුරුවලින් තුවාල ලැබූවන්ගේ ගණන 1254 දෙනෙකි. ඒ අයගෙන්ද 461 දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා ඇත. ඒ අය අතර සදා කාලීන අබාධයන්ට ලක්වූවන්ද නැත්තේම නැත.

    සංඛ්‍යා දත්ත විශ්ලේෂණ විග්‍රහකරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කරන්නේ අප්‍රේල් මාසයේ වැඩිම රිය අනතුරු සංඛ්‍යාවක් සිදුව ඇත්තේ බස්නාහිර පළාත තුළ බවයත. එම ගණන 768 කි. එසේම ඊට පසු වැඩිම රිය අනතුරු ගණනක් වාර්තා වී ඇත්තේ වයඹ පළාතෙනි. එම ගණන 237 කි.

    මේ අනුව බලන කළ අප්‍රේල් මාසය තුළ රටේ සිදුවූ සමස්ත රිය අනතුරුවලින් සියයට 51 ක් පමණ සිදුව ඇත්තේ බස්නාහිර සහ වයඹ පළාත් ආශ්‍රිතවය.

    එසේම රිය අනතුරු සම්බන්ධයෙන් තවත් විශ්ලේෂණයක් සිදුව ඇත. එනම් සතියේ දින 07 න් අප්‍රේල් මාසයේ වැඩිම රිය අනතුරු සිදුව ඇත්තේ කවදාදැයි කියාය. ඊට අනුව අප්‍රේල් මාසයේ වැඩිම රිය අනතුරු ගණනක් සිදුව ඇතැයි අනාවරණය වන්නේ සදුදා දිනයේදී බවය. එසේම වැඩියෙන්ම රිය අනතුරු සිදුවන්නේ දහවල් 12.00 ත් රාත්‍රී 8.00 අතර බවද මේ විශ්ලේෂණයේදී පෙනී ගොස් ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කරන්නේ අප්‍රේල් මාසයේ සිදුවූ රිය අනතුරුවලින් වැඩිම අනතුරු සිදුව ඇත්තේ යතුරු පැදිවලින් බවය. දෙවැනියටම වැඩිම අනතුරු සිදුව ඇතැයි විශ්ලේෂණයට හසුවී ඇත්තේ ත්‍රී රෝද රථය.

    පොලීසියේ විශ්ලේෂණයන්ට අනුව අනතුරු ඉහළ යාමට යතුරුපැදි සහ ත්‍රී රෝද රථ ඉවහල්වන බව පෙනී යයි. එහෙත් අපේ රටේ සමස්ත රථවාහන සංඛයාව ගණනය කළහොත් වැඩිම රථවාහන ප්‍රමාණයක් ඇත්තේ යතුරු පැදිය. දෙවැනියට වැඩියෙන්ම ඇත්තේ ත්‍රී රෝද රථය. එම වාහන සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස රිය අනතුරු ගණනය කළහොත් පෙනී යන්නේ මෙරට අඩුවෙම්නම රිය අනතුරු සිදුවීමේ ප්‍රතිශතයක් ඇත්තේ යතුරු පැදි සහ ත්‍රී රෝද රථ බවකි.

    කිලිනොච්චියෙන් හොර සල්ලි මතුවේ

    0

    රුපියල් 1000 නෝට්ටු ව්‍යාජ ලෙස මුද්‍රණය කර බෙදා හැරීමේ ඡාවාරමක් හෙළිකරගත් කිලිනොච්චි පොලීසිය එම ඡාවාරමට සම්බන්ධ සැකකරුවෙක් රුපියල් ලක්ෂ 08 කට අධික මුහුණත වටිනාකමක් සහිතව මුද්‍රණය කළ ව්‍යාජ රුපියල් 1000 නෝට්ටු 815 ක් සමග ඊයේ (03) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    කිලිනොච්චිය ශාන්තිපුරම් හී පිහිටි සැකකරු පදිංචි නිවසේ සගවා තිබී එම නෝට්ටු තොගය සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

    එම සැකකරු 38 වියැති පුද්ගලයෙකි. මේ පුද්ගලයා කිලිනොච්චිය සහ යාපනය යන ප්‍රදේශවල මෙම මුදල් බෙදා හැරීමට සැළසුම්කර ඇති අතර ඒ ගැන පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයේ කිලිනොච්චි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර ඇත.

    වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන ඒකකයට භාරදී ඇත.

    ලොව සිව්වන ධනවතාත් දික්කසාද වෙයි

    0

    බිල් සහ මෙලින්ඩා ගේට්ස් වසර 27 කට පසු ඔවුන්ගේ විවාහය අවසන් කරමින් සිටින බව සිය නිල සමාජ ජාල ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

    “අපගේ සම්බන්ධතාවය පිළිබඳ විශාල චින්තනයකින් හා වැඩ කිරීමෙන් පසු අපගේ විවාහය අවසන් කිරීමට අපි තීරණය කර ඇත්තෙමු” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වේ.

    මෙම යුවළ 2000 දී බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම අරඹා ඔවුන්ගේ සුබසාධන සංවිධානය ආරම්භ කළහ.

    එතැන් පටන් පදනම ඩොලර් බිලියන 53.8 ක් ගෝලීය සෞඛ්‍ය, දරිද්‍රතාවය පිටුදැකීම හා තවත් බොහෝ දේ සඳහා වැය කර ඇත.

    බිල් සහ මෙලින්ඩා දරුවන් තිදෙනෙකුගේ මාපිය යුවළකි.

    වසර ගණනාවක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස ලැයිස්තුගතව සිටි ඔහු මේ වනවිට ලොව සිව්වන ධනවතා ලෙස පත්ව සිටී.

    අද ඉඳන් හුදෙකලා වන ප්‍රදේශ

    0

    දිස්ත්‍රික්ක 5ක තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණයක කර තිබේ.

    යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පවතින කොවිඩ් -19 අවදානම සලකා එම තීරණය ගෙන ඇති බවය.

    කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ විල්ලෝරාවත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය.

    කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ බෝම්ඹුවල ග්‍රාම නිලධාරි කොට්ඨාසය.

    ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත පොලිස් බල ප්‍රදේශයේ ඇල්දෙණිය පල්ලිය පටුමග සහ රණවිරු ධර්මසිරි මාවත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස.

    රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ ගඟුල්විටිය ග්‍රාම නිලධාරි කොට්ඨාසය.

    රක්වාන පොලිස් බල ප්‍රදේශයේ පොතුපිටිය උතුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය.

    කලවාන පොලිස් බල ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරී කොට්ඨාසය.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් පොලිස් බල ප්‍රදේශයේ ඉන්ජස්ට්‍රි ග්‍රාම නිලධාරි කොට්ඨාසය.

    හැටන් පොලිස් බල ප්‍රදේශයේ ෆෝර්ඩයස් වත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය.

    ඩුබායි සේවය කළ ලාංකිකයකුට කෝටි 64කට අධික ලොතරැයි දිනුමක්

    0

    ඩුබායි හි පෞද්ගලික සමාගමක අලෙවි වෘත්තිකයෙකු ලෙස සේවය කරන 36 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු වන මොහොමඩ් මිෂ්ෆක් එරට ලොතරැයියක ඩිරාම් මිලියන 12 ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 64කට අධික) පළමු ත්‍යාගය දිනාගෙන තිබේ.

    මිෂ්ෆක් ශ්‍රී ලංකාවට නිවාඩුවට පැමිණ සිය පවුලේ අය සමඟ ගතකරමින් සිටින අතරතුර ගල්ෆ් ප්‍රවෘත්ති සේවයට අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම ජයග්‍රහණය පිළිබඳව තමා සතුටට පත්වන බවයි. “මට හුස්ම ගැනීමට හෝ කෙළින් ඉන්නවත් බෑ. මගේ ජංගම දුරකථනයෙන් මට එන ඇමතුම් ඉවරයක් නෑ. ”

    මිෂ්ෆක් සිය ජයග්‍රාහී ටිකට් පතේ තෑගි මුදල තවත් 20 දෙනෙකු සමඟ බෙදා ගැනීමට අපේක්ෂා කරයි. “මගේ කොටස ඩිරාම් 600,000 ක් පමණ වන අතර මේ සඳහා මම කෘතඥපූර්වක වෙමි. මගේ පියා ශල්‍යකර්මයකට භාජනය වූ අතර මෙම මුදල් ඊට වියදම් කරන්න පුළුවන් වීම ලොකු පහසුවක් වෙනවා” ඔහු පැවසුවේ තම වෘත්තියෙන් මසකට ඩිරාම් 7,000 ක් උපයන බවය.

    “ටිකට් පතට දායක වූ අනෙක් අය මා මෙන්ම අතිශයින් සතුටට පත්ව සිටිනවා. හැකි ඉක්මනින් තැගි මුදල ගන්න කියලා ඔවුන් මට කිව්වා. ”

    054978 ටිකට් අංකය සමඟ මිෂ්ෆැක් ලොතරැයි පළමු දිනුම දිනා ගත්තේය. ඔහු පසුගිය වසර 10 ක කාලය තුළ ඩුබායි හි පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ මිතුරන් සමඟ නැවතී සිටි. ඔහුගේ බිරිඳ දරුවන් දෙදෙනා සමඟ ශ්‍රී ලංකාවේ වාසය කරයි.

    “මගේ අඩු වැටුප නිසා මගේ පවුල ඩුබායි ගෙන ඒමට මට නොහැකි වුණා. මම දිනුවා යැයි කීමට රිචඩ් මට කතා කළ විට, මගේ සතුටට සීමාවක් නැති වුණා. ”

    මිෂ්ෆක් කියා සිටියේ තම මිතුරන් 20 දෙනා සමඟ පසුගිය වසර එකහමාරක කාලය තුළ ඔහු ටිකට් පත මිලදී ගෙන ඇති බවයි. බිග් ටිකට් පතට සහභාගී වීම සඳහා ඔවුන් සෑම මසකම මුදල් එකතු කරති.

    දිනාගත් මුදලින් වැඩි ප්‍රමාණයක් තම පවුලේ මූල්‍ය ගැටලු විසඳීමට සහ ශ්‍රී ලංකාවේ වෙසෙන තම දරුවන් දෙදෙනාට සහ බිරිඳට නිවසක් ඉදිකරන බව ද ඔහු පැවසීය.

    අද කොවිඩ් ආසාදිතයින්‌ 1900ක්

    0
    covid-19

    අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන්‌ 1913 දෙනෙකු හමුවී තිබේ.

    අද දින කොරෝනා දෙවන රැල්ලේ
    නව ආසාදිතයන්‌ 867 ක්‌ හඳුනාගෙන ඇත.

    මේ අනුව මෙරටින් හමුවූ සමස්ත කොවිඩ් ආසාදිතයින්‌ගේ සංඛ්‍යාව 107827කි.

    පාස්කු ප්‍රහාරය වලක්වා නොගත්තාට හේමසිරිට- පූජිත්ට චෝදනා 800ක් ගොනු කෙරේ

    0

    පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරයන මහත්වරුන්ට එරෙහිව චෝදනා 800ක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර තිබේ.

    මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයට උත්සහ කිරීම සහ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ආදීයද එම චෝදනා 800 අතර වේ.

    ත්‍රී පුද්ගල මහාධිකරණයක් හමුවේ මෙම චෝදනා විභාගතරන ලෙස නීතිපතිවරයා විසින් ඉල්ලීමක්ද කර තිබේ.

    කොවිඩ් දෙවැනි රැල්ලෙන් පෞද්ගලික අංශයේ අවම 15000කට රැකියා අහිමි වෙලා

    0

    COVID 19 වසංගතයේ දෙවන රැල්ල හේතුවෙන් පෞද්ගලික අංශයේ අවම වශයෙන් පුද්ගලයින් 15,000 කට ආසන්න පිරිසකට රැකියා අහිමි වී ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

    කම්කරු දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි සහ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ඉදිරිපත් කර ඇති පැමිණිලි මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇත.

    සංචාරක අංශයේ රැකියා අහිමිවූවන් ද මෙහිදී සැලකිල්ලට ගැනේ.

    ලෝක මාධ්‍ය නිදහස් දිනයට අගමැතිගෙන් පණිවුඩයක්

    0

    රටක් වශයෙන් මෙම වසංගත අභියෝගයට මුහුණ දෙමින් එය මැඩලීමේ කාර්යයේ දී ජනතාව දැනුවත් කරමින් ජීවිත අවදානම නොතකා මාධ්‍යවේදීන් ඉටුකරනු ලබන සුවිශේෂ කාර්යයභාරය සහ කැපකිරීම රජය සැමවිටම අගය කරන බව ලෝක මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    අග්‍රාමාත්‍යතුමා නිකුත් කළ නිවේදනය මෙසේ ය.

    ලෝක මාධ්‍ය නිදහස් දිනය යෙදෙන අද දිනයේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා දිවා රෑ වෙහෙසෙන සියලුම මාධ්‍ය ආයතන සහ ජනමාධ්‍යවේදීන්ට සුබ පැතුම් එක් කරනුයේ ඉමහත් සතුටිනි.

    මේ වනවිට තොරතුරු සන්නිවේදනය ලොව වේගයෙන්ම දියුණුවන විෂය පථයක් බවට පත්ව තිබේ. පසුගිය දශක කිහිපයක කාලය තුළ විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ජනතාවට තොරතුරු ගලා යාම වේගවත් විය.

    එහෙත් කාලීන අවශ්‍යතාව වී ඇත්තේ ස්වාධීන හා වගකීම් සහගත මාධ්‍ය භාවිතාවයි. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත වන්නේ නිවැරදි මාධ්‍ය භාවිතාව තුළිනි.

    ඒ වෙනුවෙන් කටයුතු කිරීම සියලු දෙනාගේම වගකීමක් මෙන්ම යුතුකම ක් ද වන බව මාගේ විශ්වාසයයි.

    මෙරට මාධ්‍ය නිදහස බරපතල ලෙස කප්පාදුවට ලක්ව තිබූ යුගයන් පිළිබඳව අප අමුතුවෙන් සිහිපත් කළ යුතු නැත. අප බලයට පත්ව සිටින සෑම අවස්ථාවකම තොරතුරු දැනගැනීමේ අයිතියත් මාධ්‍ය නිදහසත් සුරක්ෂිත කිරීමට කටයුතු කර ඇති බව සිහිපත් කරමි.

    ලොවම වසංගත තත්ත්වයකින් පීඩා විඳින මෙවන් වකවානුවක තොරතුරු මහජන යහපත උදෙසාය තේමාවෙන් මෙවර ලෝක මාධ්‍ය නිදහස් දිනය සැමරීම ඉතා කාලෝචිත වේ.

    රටක් වශයෙන් මෙම වසංගත අභියෝගයට මුහුණ දෙමින් එය මැඩලීමේ කාර්යයේ දී ජනතාව දැනුවත් කරමින් ජීවිත අවදානම නොතකා මාධ්‍යවේදීන් ඉටුකරනු ලබන සුවිශේෂ කාර්යයභාරය සහ කැපකිරීම රජය සැමවිටම අගය කරමි.

    දැනුමෙන් සන්නද්ධ විය යුතු ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය දියුණුව උදෙසා අධ්‍යාපන ශිෂ්‍යත්ව මෙන්ම මාධ්‍ය උපකරණ ලබාදීමට අප තැබූ පියවර ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇත.

    ජනතාවට නිවැරදි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කරමින් රටේ සමස්ත සමාජ, සංස්කෘතික හා ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා මාධ්‍ය නිදහස යෙදාගන්නැයි මම සියලුම ජනමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිමි.

    මහින්ද රාජපක්ෂ,
    ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ,
    අග්‍රාමාත්‍ය

    කොවිඩ් නිසා මෙරට මුහුදු සීමාවෙත් ආරක්‍ෂාව තර කෙරේ

    0

    ඉන්දියාවේ පවතින කොවිඩ් -19 වසංගත තත්වය හේතුවෙන් මුහුදු මාර්ග ඔස්සේ එරට වැසියන් හොර රහසේ මෙරටට සංක්‍රමණය වීමේ අවධානමක් මතුව ඇති බැවින් එය මැඩ පැවැත්වීමට පැය 24 පුරාම ක්‍රියාත්මක වන පරිදි වයඹ සහ උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

    ඒ අනුව, වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්‍ෂාව තර කිරීම සඳහා වෙරළබඩ සහ ගැඹුරු මුහුදේ නාවික හමුදා යාත්‍රා සහ නෞකා මුර සංචාර වැඩි කිරීමට පියවර ගෙන ඇත. මෙහිදී අන්තර්ජාතික මුහුදු සීමාව ආසන්නයේ නාවික හමුදා වේග මුර යාත්‍රා සහ වේග ප්‍රහාරක මුර යාත්‍රා මුර සංචාරයේ යෙදවීමටත්, ගොඩබිමට ආසන්න මුහුදේ ආරක්‍ෂාව තර කිරීමට වෙරළබඩ නිරීක්‍ෂණ මුර යාත්‍රා මුර සංචාරයේ යෙදවීමටත් කටයුතු කරන තිබෙන බව නාවික හමුදාව සදහන් කරයි.

    වෙරළ තීරයේ ආරක්‍ෂාව තර කිරීම සඳහා නාවික හමුදා පාමුර සංචාර මෙන්ම තෝරා ගත් ස්ථානයන්හි නාවික හමුදා වෙරළ නිරීක්‍ෂණ ස්ථාන ස්ථාපිත කිරීමටත් කටයුතු කර ඇත.

    නීති විරෝධී සංක්‍රමණිකයින් පැමිණිම සම්බන්ධයෙන් කිසියම් සැක සහිත ක්‍රියාකාරකමක් නිරීක්‍ෂණය වුවහොත් වහාම අදාළ බලධාරීන් වෙත දැනුම් දෙන ලෙසත් විදේශීය පුද්ගලයින් සමඟ මුහුදේදී සම්බන්ධයන් පැවැත්වීමෙන් වළකින ලෙසත් ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් නාවික හමුදාවට දැනුම් දෙන ලෙසත් මේ වන විටත් නාවික හමුදාව විසින් ධිවර ප්‍රජාව දැනුවත් කරමින් ඉල්ලා තිබේ.

    තිසර පෙරේරා ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගනී

    0

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඔහු ඒ බව අද (03) දැනුම් දී ඇත.

    තිසර පෙරේරා එක්දින ජාත්‍යන්තර තරග 166 කට සහභාගිවී ලකුණු 2338 ක් රැස්කර ගෙන තිබේ. ඔහු පන්දු යවන්නෙක් ලෙස කඩුලු 175 ද බිද හෙළීමට ඔහු සමත්ව ඇත.

    ශ්‍රී ලංකා T 20 කණ්ඩායමද නියෝජනය කරමින් තරග 84 කට සහභාගිවී ඇති තිසර පෙරේරා එහි නායකත්වයද දරා තිබේ. ඔහු ටෙස්ට් පිටියට සමුදෙක්කේ 2016 වසරේදීය.

    අපරාධකරුට දැඩි දඩුවම්

    0

    කෝපි කඩේ පිලටවී තේ කහට කෝප්පය තොල ගාමින් හුන් අමරබන්දු සුපුරුදු පරිදි සීපිං මුදලාලි සමග කතාවට වැටුණි. ඒ කතාවත් මැක්කගෙ කතාව මෙන් අවසන් නතරවී පොපියන්නට වූයේ දේශපාලනය ළගය.

    “අමරෙ අයියා දැක්කද ගිය සතියෙ පාර්ලිමේන්තුව, ආයෙත් මිරිස් කුඩු ගෝරියක් පටන් ගන්න කළියෙං හොදවෙලාවට කතා නායක තුමා සභාව කල් තිබ්බෙ” සීපිං මුදලාලි කීවේය.

    “අම්මපා ඔව් මලයා.. මටත් ඇහුනා ගෝසාව.. මම හිතුවෙ පාරෙ බලු රෑන ආයෙත් වංගියක් හපාගන්න ගත්තැයි කියාල.. බැලින් නං මේ අප්පල රට වෙනුවෙං මරාගන්නවා.. අම්මපා මේවට කොහෙන් හිනා වෙන්නද මන්ද..” අමරබන්දුගේ කතාවට දාං ලෑල්ලේ ඉත්තො අදිමින් හුන් කොල්ලො දෙන්නාටද සිනහ පහළ කළේය.

    ඔවුන්ගේ සතුටු සාමීචියට කණකොකා හඩලමින් කෝපි කඩයට යාබද මාවතෙන් හදිසියේ මතුවූ කාලගෝට්ටිය ඔවුන්ගේ සතුටු මනස ක්ෂණයෙන් ඒ අතට ඇද ගත්තේය. නීතිය කරන තරු පටි මහත්තයෙක් හීන්දෑරි කොලුගැටයෙක් බෙල්ලෙන්ම කුදලාගෙන දක්කාගෙන පැමිණෙයි. ඒ අතරවාරයේ හෙතෙම ඔහුගේ අතෙහි පොඩි පට්ටම් වෙමින් සිටි කොලු ගැටයා හට නොයෙකුත් දෑ කීවේය.

    “මෙච්චර දෙයක් කරල උඹ බේරිලා ඉන්න, ඒවා කොහොද පුතෝ අපේ දෙපාර්තමේන්තුවත් එක්ක.. ඔය වගේ අළුගුත්තේරු වැඩක් කරල අපෙං බේරිලා ඉන්න.. හිතුව මදි..”

    නීතිය රකින ලොකු මහත්මයා කෑමොර දෙන හඩට කෝපි කඩයද දෙවනත් විය.

    Police-cartoon-

    “මොකක්ද යකෝ ඒ සන්තෑසිය” කවදත් ගමේ තොටේ සිදුවන ඕනෑම කටයුත්තකට අවදානම නොබලා හොස්ස පොවන පුරුද්ද ඇති අමරබන්දු පුරුද්දට වාගේ අතෙහි වූ කහට මණ්ඩිය එළිපත්තට හලාදමා කාලගෝට්ටිය ඇතිවෙමින් තිබූ දෙසට අඩිය ඉක්මන් කළේය. 

    “හප්පද බොල.. මොකක් නමුත් ලොකු අපරාධ කාරයෙක් අල්ලල වගෙයි.. පාස්කු බෝම්බ සිද්ධියෙ මහ මොළකරු වෙන්න ඇති” මුදලාලිද එසේ කියමින් මුදල් ලාච්චුවට අගුල දැම්මේ එළියට බැස විපරම් කිරීමේ අදහසිනි.

    ඝණ්ටාර මාක් සරොමත් ඒ මේ කරමින්ම අඩිය ඉක්මන් කළ අමරබන්දු හට නීතිය කරවන ලොකු මහත්මයා දුරතියාම හදුනා ගැනීමට එතරම් අපහසු නොවීය. ඔහුගේ වත රූපවාහිනී තිරයේ දිනපතා දකින්නාසේම පැහැපවත්ව දිස්නය දෙන්නේය, එසේම සුන්දරය.

    “හප්පේ මේ අපේ නීතිය කොරවන දෙපාර්තුමේන්තුවේ මාධ්‍යය සන්දර්ශනතුමානෙ.. අනේ ගැත්තාට සමාවන සේක මාධ්‍යය ප්‍රකාශක තුමානෙ… කවුද අප්පේ මේ කුදලාගෙන යන්නෙ? පාස්කු බෝම්බ කාරයෙක්වත්ද?” අමරබන්දුගේ පැනයෙන් මාධ්‍යය ප්‍රකාශකතුමාගේ සුන්දර වත කේන්තියෙන් අදුරු වන්නට එතරම් වේලාවක් ගතවූයේ නැත.

    “මොන කුණුහරුපද ලොකු උන්නැහේ මේ කතා කරන්නේ.. පාස්කු.. මොන පාස්කුද ඒව දැන් යල් පැනලනෙ.. අනික ඒවට අදාල කොමිෂන් වාර්තාව ඔය තියෙන්නෙ..ඊට වඩා මොකක්ද?” හෙතෙම කියාගෙන ගියේය. ඔහුගේ පිලිතුරෙන් අන්දමන්ද වූ අමරබන්දු අවදානමද පසෙකලා නීතිය කොරවන මාධ්‍යය උත්තමයගෙන් තවදුරටත් ප්‍රශ්න කළේය.

    “එතකොට මේ මොකාද?” හෙතෙම පෙරළා ඇසුවේය.

    “මේකද..මේ පාස්කු බෝම්බකාරයටත් එහා ගිය අපරාධකාරයෙක්” නීතිය කරවන මාධ්‍යයතුමා මහත් ඝර්වයෙන් කීවේය. කොටින්ම ඔහුගේ වතෙහි වහනය වූ ඝර්වය අමරබම්න්දු ඇතුලු සෙස්සන්ගේ මුහුණුමතද පහසුවෙන්ම පතිතවිය.

    “අම්මප මහත්තය.. මූ මොනව කරපු පාහරයෙක්ද?” අමරබන්දුහට අපරාධකරුගේ පැටිකිරිය දැනගන්නාතුරු ඉස්පාසුවක් නැත.

    “මූ..ද… මූ වැඩක් නැහැ උන්නැහෙ කතා කරලා.. අපි වියානා සම්මුතියෙන් බැදිල ඉන්නවා විදේශීය නියෝජිතයෙක් අපේ රටට පැමිණියහම ඒ උත්තමයට උපරිම රාජ්‍යය ආරක්ෂාව ලබල දෙන්න..” නීති උත්තමයාගේ පිලිතුරෙන් අමරබන්දුගේ මනස පැටලුනි.

    “ඒ කිව්වෙ මහත්තය.. මේකා ඔය කිව්ව සම්මුතිය හොරකං කොරලද.. මූව තියන්න වටින්නේ නැහැනෙ අම්මපා..” අමරබන්දු කේන්තියෙන් පැවසුවේය.

    “මොන… වියානා සම්මුතිය හොරකම් කළා නම් ඉවසන්න තිබුණා මේකා කරපුවා ඊටත් එහා..” ඔහු අමරබන්දුගේ කුතුහලය අවුස්සමින් කීවේය.

    “එතකොට.. මොකක්ද මූ කරල තියෙන්නෙ.. විදේශ උත්තමයට වින කටින්නවති ගිහින්ද?” එවරනම් අමරබන්දුගේ ඉවසීම දෝරෙ ගළන්නට ඔන්න මෙන්නය.

    “ලොකු උන්නැහේ මේ පිස්සු කතා කරනවා.. මේ පාහරයා බොරැල්ල හන්දියේ ඉදගෙන විදේශ නියෝජිතයගෙ වාහනයට හොන් එක ගහලා.. ඒකයි මේ මූව වහාම අච්චු කරන්න ගෙනියන්නේ” කියමින් හෙතෙම හිච්චි එකාව කුදලාගෙන එතනින් මාරු විය. ඒ අනුව අමරබන්දුට නීති මාධ්‍යය උත්තමයා පැවසූ දේ තවමත් හරිහැටි පැහැදිලි නැතුවා සේය.

    තිලංග ෆොන්සේකා

    කාටූන් – රංජන් පරනවිතාන

    පොලිස් නිලධාරීන් අදත් බීච් සහ පාර්ක් යන හේතුව

    0

    බස්නාහිර පළාතේ උද්‍යාන සහ වෙරළ ඇතුළු පොදු ස්ථාන පරීක්ෂා කිරීමට පොලීසිය මෙහෙයුමක් දියත් කර තිබේ.

    ඒ නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරන පුද්ගලයින් පිළිබඳ සොයා බැලීම සඳහායි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති (නියෝජ්‍ය පොලිස්පති) අජිත් රෝහණ මහතා පැවසුවේ මෙහි විශේෂ මෙහෙයුම ඊයේ (ඉරිදා) පස්වරු 03-06 සිට වෙරළ, උද්‍යාන, ආපනශාලා සහ වෙනත් පොදු ස්ථානවල සිදු කළ බවයි.

    පුද්ගලයන් 10926 ක පුද්ගලයන් 6326 කට ආසන්න සංඛ්‍යාවක් නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර ඇත.

    නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 38 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

    අනාරක්ෂිත ලෙස මහජනතාවට ආහාර අලෙවි කළ පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

    අද පෙරවරු 06 ට අවසන් වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 215 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

    පොලිස් නිරෝධායන නීතිය ක්‍රියාත්මක වන බවට සොයාබලන මෙහෙයුම අදටත් අඛණ්ඩව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    දිලුම් අමුණුගම ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දෙයි

    0

    රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය ඇමතිධූරයේ දිලුම්අ අමුණුගම මහතා අද (03) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

    නව රාජ්‍ය අමාත්‍යධූරයේ අමුණුගම මහතා දිවුරුම් දෙන්නේ වාහන නියාමනය, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරවය.

    ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

    0
    Bangladesh captain Mushfiqur Rahim (C) and teammates celebrate their victory over Sri Lanka by four wickets on the fifth and final day of the second and final Test cricket match between Sri Lanka and Bangladesh at The P. Sara Oval Cricket Stadium in Colombo on March 19, 2017. / AFP PHOTO / Ishara S. KODIKARA (Photo credit should read ISHARA S. KODIKARA/AFP/Getty Images)

    පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් සංචාරක බංලාදේශය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම අද (03) ලකුණු 209 කින් ජය ගත්තේය.

    ඒ අනුව දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලියෙන් ද ශ්‍රී ලංකාවට ජය හිමි විය.

    පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07 ක් දැවී ලකුණු 493 ක් රැස්කර තිබියදී ඊයේ (02) ඉණිම අත්හිටුවනු ලැබීය. අනතුරුව පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායම අයහපත් කාලගුණික තත්වය හමුවේ ඊයේ (02) සවස ඉණිම අවසන් කරන විට කඩුලු 05 ට ලකුණු 177 ක් රැස්කරගෙන සිටියේය.

    ඉඩම් පවරා ගැනීමකට එරෙහි ආදීවාසී නායකයාගේ පෙත්සම විභාගයට

    0

    බඩඉරිඟු වගාව සඳහා සිය පාරම්පරික නිජබිම් එළිකොට පෞද්ගලික සමාගම් වෙත එම ඉඩම් පවරාදීමට මහවැලි අධිකාරිය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ විසින් ගොනුකර ඇති පෙත්සම ලබන ජූලි මස 13 වෙනිදා සලකා බැලීම අභියාචනාධිකරණය අද (03) තීරණය කළේය.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියෙහි අද (03) මෙම පෙත්සම කැඳවනු ලැබීය.

    මෙම පෙත්සම මීට පෙර කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට දන්වා තිබුණේ වැදි ජනතාවට අයත් පාරම්පරික ඉඩම් අත්පත්කර ගැනීමක් එහිදී සිදුවී නොමැති බවය. එහිදී විනිසුරු මඩුල්ල ඉල්ලා සිටියේ පවරා ගැනීමට සූදානම් වන ඉඩම් පිළිබද විස්තර ඇතුලත් සිතියමක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

    දක්ෂණ අධිවේගයේ අන්තර් හුවමාරු තුනක ගාස්තු අයකිරීම් ඇන හිටී

    0

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව, කඩුවෙල සහ අතුරුගිරිය යන අන්තර් හුවමාරුවල සේවයේ නිරතව සිටි සේවකයින් කිහිප දෙනෙක්ට කොවිඩ් 19 වෛරස ආසාදනය වීම හේතුකොට ගෙන එම අන්තර් හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවන සහ පිටවන ස්ථානවලින් ගාස්තු අය කිරීම අද (03) පෙරවරුවේ සිට තාවකාලිකව අත්හිටවූ බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා පවසයි.

    නමුත් අතුරුගිරිය, කොට්ටාව සහ කඩුවෙල යන අන්තර් හුවමාරුවලින් ඇතුළු වන රථ වාහනවලට පිටවන ස්ථානයේදී ගාස්තු ගෙවිමේ හැකියාව පවතින බවද ඔහු සදහන් කළේය.

    අද (03) වන විට කොට්ටාව අන්තර් හුවමාරුවේ සේවකයින් 12 දෙනෙකුටත්, කඩුවෙල අන්තර් හුවමාරුවේ සේවකයින් 04 දෙනෙකුට හා අතුරුගිරිය අන්තර් හුවමාරුවේ එක් සේවකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව මිහාල් ලොඩ්වික් මහතා වැඩිදුරටත් පැවසුවේය.

    කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව 94000කට දීලා

    0
    covid vaccine

    කොවිඩ්-19 මර්දනය සඳහා වන එන්නත් වැඩපිළිවෙලේ දෙවන මාත්‍රාව මේ වනවිට 94436කට ලබාදී තිබේ.

    මෙරට සිටින චීන ජාතිකයන්ට චීනයේ නිෂ්පාදනය කළ සයිනෝෆාම් එන්නතේ දෙකන මාත්‍රාව ද 2435 දෙනෙකුට ලබාදුන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

    අද ලොක්ඩවුන් කළ ප්‍රදේශ

    0

    තවත්‌ ප්‍රදේශ කිහිපයක්‌ මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදපති ජෙනරාල්‌ ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    • නුවරඑළිය දිස්ත්‍රික්කයේ
      හඟුරන්කෙත පොලිස්‌ බලපුදේශයේ

    රත්මැටිය යන ග්‍රාම නිලධාරි වසම

    • කළුතර දිස්ත්‍රික්කයේ
      පානදුර දකුණ පොලිස්‌ බලප්‍රදේශයේ

    පිංවත්ත ග්‍රාම නිලධාරි වසම
    නාරම්පිටිය, ග්‍රාම නිලධාරි වසම
    පිංවත්ත බටහිර යන ග්‍රාම නිලධාරි වසම

    • බණ්ඩාරගම පොලිස්‌ බලප්‍රදේශයේ

    බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම

    • කොළඹ දිස්ත්‍රික්කයේ
      පාදුක්ක පොලිස්‌ බලප්‍රදේශයේ

    උග්ගල්ල ග්‍රාම නිලධාරි වසම

    • මඩකලපුව දිස්ත්‍රික්කයේ
      මන්මුනෙයි උතුර පොලිස්‌ බලප්‍රදේශයේ

    තිස්සවීරසිංගමි චතුරස්‍රය ග්‍රාම නිලධාරි වසම

    • වත්තල පොලිස්‌ බලප්‍රදේශයේ

    අල්විස්‌ වත්ත ග්‍රාම නිලධාරි වසම

    ලෝක මාධ්‍ය නිදහස් දිනය 2021

    0

    තොරතුරු මහජන ශුභසිද්ධිය උදෙසාය

    මහරගමත් ගමක් ලොක්ඩවුන්

    0

    මහරගම ඇරැව්වල උතුර ප්‍රදේශය හෙට (3) උදෑසන 5 සිට හුදෙකලා කර තිබේ.

    ශ්‍රී ලංකා ග්‍රේට්ස් සහ ටීම් ශ්‍රී ලංකා T 20 තරගය කල්යයි

    0

    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් ගෙන් සමන්විත “ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම“ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු සංචිත ක්‍රීඩකයින්ගෙන් සමන්විත “ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම“ අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ලබන 04 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබුුණු පන්දුවාර 20 යි 20 තරගය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් කල්දමා ඇත.

    ග්‍රේට්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට කොවිඩ් 19 වෛරස ආසාදනය වීමද මෙම තරග කල්දැමීමට මුල්වී ඇතැයි සදහන්ය.

    ජෛව බුබුලක් ලෙස මෙම තරගය පැවැත්වීමට තීරණය කෙරුණත් පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙම තරගය කල්දැමූණු බව තරග සංවිධායකයින් සදහන් කරයි.

    මෙම තරගයෙන් ලැබෙන සියලු ආදායම් කොඩිව් එන්නත් කරන අරමුදලට පරිත්‍යාග කරන්නට තරග සංවිධායකයින් සැළසුම්කර තිබුණි.

    කොවිඩ් ආසාදිතයන් ගණන අද 1800 පසුකරයි

    0

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූවන්ගේ ගණන අද (02) දිනයේ 1843 දෙනෙක් ලෙස වාර්තා විය.

    ඒ අනුව මෙරටින් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් 19 වෛරස ආසාදිතයන් ගණන වන්නේ මෙයයි.

    කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 1228 දෙනෙක් අද (02) දහවල් වන විට හදුනාගෙන තිබුණු අතර සවස් වන විට තවත් 615 දෙනෙකු හදුනා ගැනීමත් සමග අද දිනයේ කොවිඩ් ආසාදිත ගණන 1843 දක්වා ඉහළ ගියේය.