තවත්

    කොවිඩ් ආයෙත් ඇවිත්…

    0


    කොවිඩ්-19 එන්.බී 1.8.1 ප්‍රභේදයට අයත් රෝගීන් ගෝලීය වශයෙන් ඉහළ යමින් සිටින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    ඔමික්‍රෝන් හි උප පරම්පරාවක් වන මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක් ලෙස නම් කර තිබේ. මේ වසරේ ජනවාරි මාසයේ දී මුල්වරට හඳුනාගත් මෙම ප්‍රභේදය මේ වනවිට ලෝකයේ රටවල් ගණනාවකින් හඳුනාගෙන ඇති බව චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

    මෙම තත්ත්වය හේතුවෙන් මෙරට ජනතාව ද හැකි සෑම විටම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම සහ විධි අනුගමනය කළ යුතු බවත් සෑම විටම එම පිළිවෙත් පිළිපැදීම නුවණට හුරු බවත් හෙතම පැවසීය.

    ව්‍යාජ ලියවිලි සමඟ දේශසීමාව හරහා යාමට උත්සහයක නිරතවීමකදී ඇල්බේනියාවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගෙන සිටින ශ්‍රී ලාංකිකයන් තිදෙනා මෙරට පාතාලයට හෝ මත්කුඩු ජාවාරමට සම්බන්ධ අයදැයි ජාත්‍යන්තර පොලිසිය මගින් විමර්ශනයක් මේ වන විට ආරම්භකර තිබේ.

    කඩකාමර බදුදී රජයට පාඩු කල තලවකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

    0

    තලවකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    ඔහු සභාපති ලෙස කටයුතු කරමින් සිටි වකවානුවේදී නගර සභාවට අයත් ගවමස් කඩ කාමරයක් අදා ලංසු පිරිනැමීමේ දී වැඩිම ඉල්ලුම්කරුට ලංසුව ලබානොදි අවම ලංසුවක් වෙත පිරිනැමිමෙන් රුපියල් 2,380,000ක මුදලක් රජයට පාඩු කිරීමෙන් දූෂණය වරදක් සිදුකිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සිදුවූ බව අල්ලස් කොමිෂන් සභාව සඳහන් කරයි.

    කොස් ගෙඩියක් වහලය කඩාගෙන ගැබිණි මවගේ උදරය ට වැටේ

    0

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ සුළඟින් කොස් ගසකින් වැටුණු කොස් ගෙඩියක් පස් මස් ගැබිණි මවකගේ කුසේ ගැටී කුස තුළ සිටි දරුවා මියයාමේ අනුවේදනීය සිදුවීමක් දැරණියගලින් වාර්තා වේ.

    දැරණියගල ලිහිණිවගල ගම්මානයේදී මෙම සිදුවීම වී ඇත්තේ පසුගිය 29 වෙනිදා රාත්‍රී කාලයේදීය.

    පස්මස් ගැබිණි මව 33 හැවිරිදි වියේ පසුවන්නියකි. ලෑලිවලින් ආවරණය කර ටකරන් සෙවිලිකරන ලද නිවසක ඇය ජීවත්ව ඇත.

    ඇය පසුගිය 29 වෙනිදා රාත්‍රී කාලයේ නිවස තුළ නිදාගෙන සිටියදී දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නිවස අසල ඇති කොස් ගසේ ගෙඩියක් වහලට වැටී ඇති බව පොලිසිය සඳහන් කරයි. එම කොස් ගෙඩිය වහලය කඩාගෙන නිවසේ ඇද මත නිදා සිටි ගැබිණි මවගේ උදරය උඩට වැටී ඇතැයි දැරණියගල පොලිසිය සඳහන් කළේය.

    නිවැසියන් සහ අසල්වැසියන් වහාම ඇයව රෝහල්ගතකර ඇතත් බිළිදාගේ ජීවිතය බේරාගැනීමට නොහැකි වී තිබේ. ඇය කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලිසිය සඳහන් කළේය.

    ඇල්බේනියාවේදී ඇල්ලූ 03 ගැන විමර්ශන

    0

    ව්‍යාජ ලියවිලි සමඟ දේශසීමාව හරහා යාමට උත්සහයක නිරතවීමකදී ඇල්බේනියාවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගෙන සිටින ශ්‍රී ලාංකිකයන් තිදෙනා මෙරට පාතාලයට හෝ මත්කුඩු ජාවාරමට සම්බන්ධ අයදැයි ජාත්‍යන්තර පොලිසිය මගින් විමර්ශනයක් මේ වන විට ආරම්භකර තිබේ.

    ඇල්බේනියාව සහ උතුරු මැසිඩෝනියා දේශ සීමාව අසල කාෆේ දේශ සීමාව හරහා ගමන් කිරීමට මෙම ශ්‍රී ලාංකිකයන් උත්සහයක නිරත වෙමින් සිටියදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇත. ඔවුන් ඉතාලියට පැන ගැනීමට සූදානම්ව සිට ඇති බව සඳහන්ය.

    පාතාලය ක්‍රියාකාරිකයන් මෙන්ම ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් ද වන කොස්ගොඩ රණා, පරෙයි සුද්දා සහ මිදිගම චූටි නැමැති අය මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවට වූ තොරතුරක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබේ.

    ජාත්‍යන්තර පොලිසිය මගින් ඒ සම්බන්ධයෙන් තොරතුරු හුවමාරුවක්ද සිදුකර ඇත. ඒ අනුව එම සැකකරුවන් තිදෙනාගේ විදෙස්ගමන් බලපත්‍ර පිටපත් මෙරටට ගෙන්වාගෙන කළ පරීක්ෂාවේදී පෙනී ගොස් ඇත්තේ ඔවුන් තිදෙනා එකී නම් සඳහන් පාතාල අපරාධකරුවන් නොවන බවය. ඒ අයගේ මුහුණු පරීක්ෂාවක්ද සිදුකර ඇති අතර එහිදීද ඔවුන් එම පාතාල අපරාධකරුවන් නොවන බව තහවුරුවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    එහෙත් මෙම ශ්‍රී ලංකිකයන්ගේ අනන්‍යතාව තවදුරටත් තහවුරුකර ගැනීමට විමර්ශන පැවැත්වෙන බවද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

    2026 අයවැයට ජනපතිගේ සූදානම

    0

    ඉදිරි අයවැය සැකසීමේදී දිස්ත්‍රික් මට්ටමින් ජනතාවගේ මූලික සහ කඩිනම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

    , 2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර පැවැති සාකච්ඡාවේදීය ජනාධිපතිවරයා ඒ බව අවධාරණයකර තිබේ. මෙම සාකච්ඡාව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

    දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සහ යටිතල පහසුකම් සංවර්ධනය සහ ජනතාවගේ වෙනත් කඩිනම් සංවර්ධන අවශ්‍යතා හඳුනා ගනිමින් එම ව්‍යාපෘති ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

    දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඊ. ඒ. රත්නසීල, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් එම්. අනෝමා නන්දනී මහත්ම මහත්මීන් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    කෙහෙළියගේ දියණියගෙන් අල්ලස් කොමිෂම පැය 3ක් ප්‍රශ්න කරයි

    0

    හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියගෙන් අල්ලස් කොමිසම අද (29) පැය තුනක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාගෙන ඇත.

    ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙණ ලෙසට ඇයට අල්ලස් කොමිසමෙන් සිදු කළ දැනුම් දීමකට අනුව ඇය හමුවට පැමිණ තිබුණාය.

    තම ගිණුමට ලැබුණු සියලු මුදල් ලබාගත්තේ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ දියණිය විසින් බව හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ නිශාන්ත බණ්ඩාර යන අය සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිනෙන ලෙස කළ දැනුම්දීමකට අනුව ඇය අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියාය.

    කුඩු ටොන් එකහාමාරක් මහා මුහුදේදී මේ අවුරුද්දේ විතරක් අල්ලලා

    0

    මුහුදු මාර්ග ඔස්සේ බහුදින ධිවර යාත්‍රාවල සඟවා මෙරටට රැගෙන එමින් තිබියදී මෙම වසර තුළ හෙරොයින් සහ අයිස් ටොන් එකහාමාරකට අධික ප්‍රමාණයක් බහුදින යාත්‍රා 04ක් සහ සැකකරුවන් 22ක් සමඟ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම වර්ෂය තුළ මෙතෙක් සිදුකර ඇති වැටලීම් 04කදී මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 542 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1216 ක් අත්අඩංගුවටගත් මත්කුඩු අතර ඇත.

    මෙම වසරේ අප්‍රේල් 05 දින හෙරොයින් කිලෝ 191ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 671ක්, අප්‍රේල් 12 දින හෙරොයින් කිලෝ 77ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 42ක්, මැයි මස 28 දින හෙරොයින් කිලෝ 274ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 503ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

    තීරු බදු ගැන කථා කරන්න අපේ කට්ටියක් අමෙරිකාවට ගිහින්

    0

    අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා තිබෙන තීරු බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යම්කිසි සහනයක් ලබාගැනීමට අදාළව ඇමෙරිකානු නියෝජිතයන් සමඟ සිදුවන සාකච්ඡාවල දෙවැනි වටය ඇමෙරිකාවේ වොෂිංටන් නගරයේ දී ආරම්භ කර තිබේ.

    වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස, තීරුබදු සම්බන්ධයෙන් වන සාකච්ඡාවල දෙවන වටයේ සාකච්ඡා සඳහා සහභාගි වී තිබෙන අතර මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරිප්පෙරුම, ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහත්වරු ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ සඳහා එක්ව සිටිති.

    විචිත්‍ර ධර්ම දේශක බණ්ඩාරවෙල අමිතානන්ද හිමි අපවත් වෙති

    0

    ප්‍රකට ධර්ම දේශකයකු වූ බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අද (29) දහවල් කොළඹ ජාතික රෝහලේදී අපවත්වූහ.

    දෙල්ගොඩ යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානය ආරම්භ කළ අමිතානන්ද හිමියන් මෙරට තරුණ ප්‍රජාව බෞද්ධ දර්ශනය කෙරෙහි යොමුකිරීමට කටයුතු කළේය.

    ,දෙල්ගොඩ උඩුපිල දහම් මැඳුර, විපස්සනා භාවනා මධ්‍යස්ථානය, කොට්ටුන්න සිරි දේවමිත්ත යෝගාශ‍්‍රමය, කතරගම නීලකාරාම මහසෙන් භාවනා මධ්‍යස්ථානය, අත්තනගල්ල ඌරපොල දහම් මැඳුර යන ධර්ම නිකේතනයන් බිහිකරමින් ඒවාට උගත්, විනයධර ශිෂ්‍යවරයන් වහන්සේලා පත් කරමින්මහත්වූ ශාසනික සේවයක නිරතව සිටියහ.

    කැරම් බෝඩ් නඩුව- මහින්නදානන්දට 20  නලින්ට 25 දෙන්නම හිරේට

    0

    ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් 2015 ජනාධිපතිවරණ සමයේ රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ එවකට හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද(29) තීන්දු කළහ.


    ඒ අනුව හිටපු වෙළඳාමැති නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවම් නියම කළ අතර හිටපු ඇමති මහින්දානන්ද අලුත් ගමගේ මහතාට බරපතළ වැඩසහිත වසර 20 සිර දඬුවම් නියම කළේය.


    තීන්දුව නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ යේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය, මෙම විත්තිකරුවන් තම ධුරයේ බලතල අයුතු ලෙස පරිහරණය කරමින් වැරදි ක්‍රියාවක් සිදුකර ඇති බව සඳහන් කළාය.
    මෙම වරද හේතුවෙන් මහජන බදු මුදලින් අයකරගෙන තිබූ රුපියල් මිලියන 53කට අධික මුදලක් රජයට අහිමි වී ඇති අතර, ඉන් මහ ජනතාවට විශාල පාඩුවක් සිදුවූ බවත් ඇය පෙන්වා දුන්නාය.

    එම නිසා මෙවැනි වැරදි සිදුකිරීමට සූදානම් වන පුද්ගලයින්ට පාඩමක් කියාදෙන ආකාරයේ සහ දූෂණ විරෝධී පුද්ගලයින් අභිප්‍රේරණය වන ආකාරයයේ තීන්දුවක් ලබාදෙන ලෙසත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.


    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේන් වීරමන් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කළහ.

    ලංකා බැංකු සේවක වර්ජනයක්!

    0
    Businessman giving money in the envelope to his partner in the dark - bribery and venality concept

    ලංකා බැංකුව ඉතිහාසයේ වාර්තා කළ ඉහළම ආදායම ලෙස පසුගිය වසරේ දී බිලියන 107ක වාර්තාගත ආදායමක් ලැබීමෙන් පසු කළමනාකාරිත්වය සේවක සේවිකාවන් වෙනුවෙන් අනුමත කළ දිරි දීමනා පාරිතෝෂිතය කපා හැරීමට මුදල් අමාත්‍යාංශය කළ තීරණයට එරෙහිව අද(29) එම සේවකයෝ වර්ජනයක නිරත වෙති.

    ඒ අනුව අද උදෑසන 10.30 සිට සිය සේවා කටයුතුවලින් ඉවත් වූ ලංකා බැංකු සේවකයන් දෛනික රාජකාරිවලින්ද දහවල් 12.30 සිට ඉවත්ව යාමට තීරණය කර තිබේ.

    මෙයට අමතරව තවදුරටත් සහනයක් නොලැබේ නම් ලබන සතියේ දෛනික වැඩ වර්ජනයකට එක්වීමට ලංකා බැංකු සේවකයන් සූදානමින් සිටින බව ලංකා බැංකු සේවක සංගමය සහ ලංකා බැංකුවේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයත් සඳහන් කරයි.

     

    මුහුදෙන් ගෙනා මත්කුඩු කිලෝ 779ක් එක්ක 11ක් අත්අඩංගුවට

    0

    දකුණු ගැඹුරු මුහුදේ කළ විශේෂ මෙහෙයුමකින් බහුදින ධීවර යාත්‍රා දෙකකින් ප්‍රවාහනය කරමින් තිබු අයිස් සහ හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ 779යි ග්රෑම් 212ක් සමඟ සැකකරුවන් 11 දෙනෙක් අද(28) උදෑසන අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී ඇත.

    රාජ්‍ය බුද්ධි සේවය,පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ කලාපීය සම්බන්ධීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානය ඒකාබද්ධව මෙම වැටලීම කර තිබේ.

    අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර මෙතම්පෙටමයින් (අයිස්) මත්කුඩු කිලෝ 503 ග්රෑම් 618ක් සහ හෙරොයින් කිලෝ 275 ග්රෑම් 594ක් තිබෙන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තහවුරු කර තිබේ.

    අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක දික්ඕවිට වරායට ගෙන ඒමෙන් අනතුරුව සැකකරුවන් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර දීමට නාවික හමුදාව කටයුතු කළේය. ඒ අනුව අදාළ මත්ද්‍රව්‍ය තොග පරීක්ෂා කළ එම කාර්යාංශය විසින් ඒවා මත්ද්‍රව්‍ය බව සැකකරුවන් ඉදිරියේ පරීක්ෂා කොට තහවුරු කරමින් වරද කියා දී අත්අඩංගුවට ගැනිම තවදුරටත් තහවුරු කරන ලදි.

    මෙම ධීවර යාත්‍රාවල කොටා තිබු නම්වලින් ඒවා දෙවුන්දර ප්‍රදේශයේ ධීවර යාත්‍රා බවට නොනිල වශයෙන් පෙනෙන්නට තිබිණි.

    මෙම ස්ථානයට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, නාවික හමුදාපති  සහ වැඩ බලන පොලිස්පතිවරයා පැමිණියහ. ජාතික වශයෙන් මෙවැනි මෙහෙයුමක ඇති වටිනාකම පැහැදිළි කළ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අදාළ මෙහෙයුමට එක්වූ නාවික හමුදාව ඇතුළු සියලු අංශ වෙත සිය ප්‍රණාමය පුද කළේය.

     

     

    ආබාධිත පුද්ගලයන්ට විශේෂ ආධාරක උපකරණ මිලදී ගන්න ආණ්ඩුවෙන් 50,000ක්

    0

    ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීමට රජය විසින් එක් පුද්ගලයෙක් සඳහා ලබාදෙන ආධාර මුදල රුපියල් 20,000/= ක සිට රු.50,000/= දක්වා වැඩි කර ඇත.

    රාජ්‍ය නිළධාරීන් සඳහා සංඥා භාෂාව අතිරේක විෂයක් ලෙස ස්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී තිබේ.

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශ පරිශ්‍රයේදී අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව මෙම තීරණය ගෙන තිබේ.

    ආබාධ සහිත භාවය පිළිබඳ සකස් කරන ලද වර්ගීකරණය සඳහා සභාවේ අනුමැතිය ලබාදීම, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෙබ් අඩවි පරිශීලනයට ප්‍රවේශ පහසුකම් සහිතව නිර්මාණය කිරීම, ද මෙහිදී තීරණය කර තිබේ.

    රජයේ සේවයට අලුතින් 15,000ක්

    0

    රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා 15073ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට ගුරු පුරප්පාඩු 199ක්, සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු පුරප්පාඩු 3661ක් සහිතව ගුරුවරුන් 6000කට ආසන්න සංඛ්‍යාවක්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට තනතුරු 1658ක් සඳහාත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තැපැල් දෙපාර්තමේන්තුවට තැපැල් සේවා නිලධාරීන් 02ක සහ 03 පුරප්පාඩු 300ක් ඇතුළු තනතුරු 493ක් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇත.

    රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සඳහා අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පත් කර ඇති නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවන් දෙකක් (02) මඟින් රේඛීය අමාත්‍යාංශ 18ක, පළාත් සභා 04ක සහ විශේෂ වියදම් ඒකක 02ක තනතුරු පුරප්පාඩු 15,073ක් සඳහා බඳවා ගැනීම නිර්දේශ කර තිබේ.

    පාතාල අපරාධකරුවන්ට පාස්පෝට් හොරට හඳන නඩේ ගැන තොරතුරු එළියට

    0

    විදෙස්ගතව සිටින ප්‍රබල පාතාල අපරාධකරුවෙක් වන කෝරාලගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ව්‍යාජ තොරතුරු ඇතුලත් කරමින් විදෙස් ගමන් බලපත්‍ර 03ක් සකස් කිරීම සම්බන්ධයෙන් සැකපිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (27) අත්අඩංගුවට ගත්තේය.

    මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

    පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන්ට ඇතුළු විවිධ පුද්ගලයින්ට ව්‍යාජ තොරතුරු යොදා විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ගැනීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය විසින් කරන ලබන පරීක්ෂණයකට අදාලව හෙළිවූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

    මෙම පාතාල අපරාධකරුට ව්‍යාජ ලෙස විදෙස්ගමන් බලපත්‍ර සකස්කර දීමට මැදිහත්කරුවන් වූ ඡායාරූප ශාලා හිමිකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 23 වෙනිදා අත්අඩංගුවට ගත්තේය.

    කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ගණේමුල්ලේ සංජීව ඝාතනය, ගම්පහ අධිකරණය ආසන්නයේදී පස් පොඩ්ඩා ඇතුළු සිව් දෙනෙක් මෝටර් රථයක් තුළ වෙඩි තබා ඝාතනය ඇතුළු ඝාතන රැසක් විදේශයක සිට මෙහෙයවා ඇතැයි අනාවරණය වී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ නැමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුය.

    මෙම පාතාල අපරාධකරු 2014 වසරේදී ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයකින් 2021 වසරේදී ඩුබායි රාජ්‍ය බලා ගොස් තිබිණි. මේ වන විට ඔහු යුරෝපීය රටක රැදී සිටින බව සඳහන්ය. ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහුට එරෙහිව රතු නිවේදනයක්ද නිකුත්කර තිබේ. එම රතු නිවේදනය නිකුත්කර ඇත්තේ 2021 වසරේදී ඔහු රටින් පිටවීමට යොදාගත් විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරුද ඇතුලත්කරමිනි.

    මෙම විදෙස්ගමන් බලපත්‍රය 2024 වසරේ දී කල් ඉකුත්වීම මත එය අලුත් කරවා ගැනීමට ඔහු විදේශගතව සිටියදී ම කටයුතු කර ඇති බව අනාවරණය වී තිබේ. ඒ සඳහා ඔහුගේ ඡායාරූපයක් සමඟ ව්‍යාජ නම්ගම් සහිත තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමුකර විදෙස්ගමන් බලපත්‍රයක් සකස්කරගෙන ඇති බවද විමර්ශනයේදී අනාවරණය වී ඇත. එම විදෙස්ගමන් බලපත්‍රය සකස්කරගෙන ඇත්තේද එක්දින සේවාව මගින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

    මෙම විදෙස් ගමන් බලපත්‍රයට අමතරව 2025 වසරේද තවත් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ඔහුගේ මුහුණ යොදා වෙනත් නම් වලින් සකස්කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගෙන ඇත. ඒ අනුව මෙම විදෙස් ගමන් බලපත්‍ර 03 සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහය ඇතිව මෙම විදෙස් ගමන් බලපත්‍ර සකස්කරගෙන ඇති බවය. රුපියල් මිලියන ගානක මුදලක් ඒ වෙනුවෙන් හුවමාරුවී ඇති බවද පෙනී ගොස් තිබේ.

    දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හෙළිකරගෙන ඇත්තේ මෙම ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සඳහා ඡායාරූප ඇතුළු ලියකියවිලි ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇත්තේ බත්තරමුල්ලේ සහ කොහුවල පිහිටි ඡායාරූප ශාලා දෙකක් ඔස්සේ බවය. ඒ අනුව එම ඡායාරූප ශාලා හිමිකරුවන් දෙදෙනා පසුගිය 23 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා ප්‍රශ්න කිරීමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ වට්ස් ඇප් ඔස්සේ කෙහෙල්බද්දර පද්මේ විසින් එවූ ඡායාරූප සංස්කරණයකර ව්‍යාජ තොරතුරු සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමුකිරීම සම්බන්ධයෙනි.

    එම ඡායාරූප සහ තොරතුරුවලට අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහය ඇතිව ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර සකස්කර ඇති බවත් ඒ සඳහා ව්‍යාජ ජාතික හැදුණුම්පත් සහ උප්පැන්න සහතික පවා යොදාගෙන ඇති බව පෙනී ගොස් තිබේ. ගමන් බලපත්‍රය සකස් කිරීමේදී යොදා ගන්නා ඉල්ලුම්කරුගේ ඇගිලි සලකුණ ද ව්‍යාජ ලෙස යොදා ඇතැයි අනාවරණය වී ඇත.

    විදෙස්ගමන් බලපත්‍රයේ අයදුම්කරු සජීවී ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිය එක් දින සේවාව මගින් විදෙස් ගමන් බලපත්‍ර සකස්කිරීමට අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කෙහෙල්බද්දර පද්මේ ට අමතරව විදෙස්ගතව සිටින තවත් පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් කිහිප දෙනෙක්ටද ව්‍යාජ තොරතුරු යොදා විදෙස් ගමන් බලපත්‍ර සකස්කර ඇති බව ද විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වනු ලබයි. ඒ අනුව ඉදිරියේදී තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

    කෙහෙල්බද්දර පත්මේට ව්‍යාජ තොරතුරු යොදා විදෙස් ගමන් බලපත්‍ර තුනක් සකස්කර දීමට සම්බන්ධ වූ ඡායාරූප ශාලා හිමිකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 23 වෙනිදා ඉදිරිපත් කරනු . එහිදී ඔවුන් දෙදෙනා ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

    මේ අවුරුද්දේ ඉහළම පිරිවැටුම වාර්තා කිරීම ට කොටස් වෙළඳපොල සමත්වේ

    0

    වසරේ ඉහළම පිරිවැටුම වාර්තා කරමින් දෛනික ගණුදෙනු අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 18.7 ක අගයක් වාර්තා කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොල සමත්ව තිබේ.

    ඊට අමතරව කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,657.63 ක් ලෙස වාර්තා වී තිබෙන අතර ඊයේ (27) දිනයේ එහි වර්ධනය පෙර දිනයට සාපේක්ෂව ඒකක 161.39 කි. එය සියයට 0.98 ඉහළ යාමකි.

    දුම්රිය රියදුරන් 430ක් ඉන්න ඕනේ නැත දැන් ඉන්නේ 275යි

    0

    දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක හිඟය හේතුවෙන් දෙපාර්තමේන්තුවේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා විටින් විට බාධා මතුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.

    දුම්රිය ධාවනය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව දුම්රිය රියදුරන් 430ක් පමණ අවශ්‍ය වන නමුත් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ රියදුරන් 275ක් බවද ඔහු කියයි.

    දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් වෙනුවෙන් පසුගිය කාලය පුරාවට නිසි අවසරය නොලැබුණු බවත් මේ හේතුවෙන් දෙපාර්තමේන්තුවේ සේවාවන් පවත්වා ගැනීමේදි යම් යම් ගැටළු මතුවන බව ඔහු පෙන්වා දෙයි.

    වර්ථමානයේ සේවයේ යෙදී සිටින දුම්රිය රියදුරන් වැඩි දුම්රිය වාර ගණනක් සඳහා සේවයේ යෙදවීමට සිදුව ඇති බවත් යම් අවස්ථාවක ඔවුන් නිවාඩු ලබා ගත හොත් දුම්රිය සේවය පවත්වාගෙන යාම සඳහා ගැටළු මතුවන බවද ඔහු අවධාරණය කරයි.

    පසුගිය 25 සහ 26 යන දෙදින සිදුවූයේද එවැනි තත්ත්වයක් බවද ඔහු පැවසීය.

    ලෝකයේ පළමු රොබෝ බොක්සිං සටන චීනයේදී

    ලෝකයේ පළමු මානවරූපී රොබෝ බොක්සිං සටන චීනයේදී පැවැත්වුණා. චීන මාධය සමූහයයි එය සංවිධාන කළේ.

    චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කරන “CMG ජාත්‍යන්තර රොබෝ තරඟ මාලාවේ ” විශේෂ වැඩසටහනක් පසුගිය දා චීනයේ Hangzhou නගරයේදී අවසන් වුණා. මෙවර මානවරූපී රොබෝවරුන්ගේ බොක්සිං සටනක් ලෙසයි එය පැවැත්වුනේ.

    මෙය මානවරූපී රොබෝවරුන් සහභාගී වන ලොව ප්‍රථම සටන් තරඟය වන අතර, එය ගෝලීය ප්‍රේක්ෂකයින් සඳහා නිර්මාණය කරන ලද විද්‍යා ප්‍රදර්ශන තරඟයක් ද වනවා. මෙම තරඟය චීන මාධ්‍ය සමූහයේ දේශීය හා විදේශීය වේදිකා හරහා සජීවීව විකාශනය කෙරුණා.

    වට තුනකින් සමන්විත වුණ මේ තරගාවලියේදී පහරදීම්වලට අනුව ලකුණු ලබා දෙනු ලැබුවා. අවසන් වටයේදී තීරණාත්මක දණහිස් පහරක් එල්ල කර ප්‍රතිවාදියා බිම හෙළමින් “AI Strategist” රොබෝ කණ්ඩායම ජයග්‍රහණය ලබා ගත් බවයි වාර්තා වන්නේ

    මේ බොක්සිං තරගය අති නවීන රොබෝ තාක්ෂණයේ විශිෂ්ටත්වය පෙන්නුම් කරන විශේෂ අවස්ථාවක්.

    නිළි රැජිණ මාලිනී ජීවන රඟමඩලෙන් බැස ගියාය

    0

    හෙළයේ නිලි රැජිණ නිදහස් චතුරශ්‍රයේ දී සමුගෙන ගියාය. ඇය වෙනුවෙන් බොහෝ කවි කතා සමාජ මාධ්‍යයේ ලියැවිණි. බොහෝ දෙනෙකුට ඇය දැන හඳුනන බව කීමට අවශ්‍ය වූහ. තවත් බොහෝ දෙනෙක් මාලිනි ෆොන්සේකා නමැති ඒ අසහාය නිලි රැජිණගේ අභාවයෙන් වුවද විරාජමානවීමට උත්සාහ කළහ.

    දශක හයකට අධික කාලයක් ජන හදවත් තුළ රැජිණක් වීම පහසු නැත. තමන්ගෙ කිරුළ දරා සිටීමට තරම් නිහතමානී වීම ද සුළු පටු නොවේ. මාලිනි සමාජය ට දුන්නේ එවැනි විසල් ප්‍රතිභාවකි. රිදී තිරයෙත් සමාන්‍ය සමාජයෙත් එවැනි ආකස කුසුමක් වීමට හැමෝටම බැරිය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  නිළි රැජිනගේ අවසන් මෙහොත වෙනුවෙන් නිකුත් කළ ශෝක ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවේ අගමැතිනි හරිනි අමරසූරියයි. මාලිනිගේ සමුගැනීම සිරිලක සිනමා ක්ෂේත්‍රයේ සදාකාලික හිස්තැනක් වනු ඇති බව ඔහුගේ පණිවිඩයෙන් කියැවිණි.

    එය මෙසේය. ඇතැම් අහිමිවීම් නැවත පුරවාලිය හැකි ආදේශ සහිත ඒවාය. ඇතැම් ඒවා දුෂ්කරය. එමෙන්ම ඇතැම් ඒවා යළි කිසි දිනෙක සම්පූර්ණ කළ නොහැකි ඒවාය. සමුගත් නිළි රැජිණගෙන් හිස්වූ අසුන සිරිලක සිනමා ක්ෂේත්‍රෙය් සදාකාලික හිස්තැනක් වනු ඇත.

    දහස් ගණන් ජනතා සෝ සුසුම් මැද මාලිනි ෆොන්සේකා නැමැති ඒ අසහාය නිලිය සමුගෙන ගියාය. ඇය ජිවන රඟ මඩලට සමුදුන්නේ උවද ඇයගේ ප්‍රතිභාපූර්ණ රංග කුසලතාව මෙරට නොමැකෙන සිහිවටනයක් වනවා නොඅනුමානය. 

    මදුරු මර්දන සතිය තුළ මදුරුවන් බෝ වියහැකි ස්ථාන 31,145ක් හදුනාගනී

    0

    නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වීමත් සමඟ ඉදිරි කාලයේ දී තවදුරටත් ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතියි.

    මේ නිසා සතියක විශේෂ මඳුරු මර්දන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා මෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත ලබාදුන් උපදෙස් දී තිබිණි.

    ඒ අනූව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය හා එක්ව විශේෂ මදුරු මර්දන වැඩසටහනක් පසුගිය මැයි මස 19 වන දින සිට 24 වන දින දක්වා දිස්ත්‍රික්ක 15 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 95 ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරනු ලැබීය.

    එම විශේෂ මදුරු මර්දන වැඩසටහනේ දී දිවයින පුරා නිවාස 119,677, පාසල් 257, වෙනත් අධ්‍යාපන ආයතන 304, රජයේ ආයතන 789, පෞද්ගලික ආයතන 5025, ඉදිකිරීම් පරිශ්‍ර 700, කර්මාන්ත ශාලා 195, පොදු ස්ථාන 263, ආගමික සිද්ධස්ථාන 514, අනෙකුත් ස්ථාන 1100 ඇතුළත්ව පරීක්ෂා කළ මුළු පරිශ්‍රයන් ගණන 128,824 කි.

    මෙහි දී මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 31,145 ක් හඳුනාගත් අතර මදුරු කීටයන් සහිත පරිශ්‍ර 6077 ද, හඳුනා ගැනීමට හැකිවිය. මෙහි දී රතු නිවේදන නිකුත් කිරීම් 3916 සිදුකළ අතර පරිශ්‍ර 1470 කට ද, නිතී මඟින් ක්‍රියා කිරීමට ද පියවර ගන්නා ලදී.

    මෙම විශේෂ මඳුරු මර්දන වැඩසටහනේ දී පරිශ්‍ර පරීක්ෂාව, රතු නිවේදන නිකුත් කිරීම, නීති මගින් ක්‍රියා කිරීම, ප්‍රමුඛ කර ගනිමින් කටයුතු කළ අතර රෝග පැතිරීම පාලනය කිරීම, ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම ද මෙහි තවත් අරමුණු වූ බව, මෙම වැඩසටහන මෙහයවීම සඳහා මුලිකත්වය ලබාදුන් ඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

    මෙම වැඩසටහනෙන් ලබා ගත් ප්‍රගතිය දිගුකාලීනව පවත්වා ගෙන යාම සඳහා තම නිවාස සහ කාර්යාල අවට පරිසරය මදුරුවන් බෝ වියනොහැකි ලෙස පවත්වාගෙන යන ලෙසත්, අවම වශයෙන් සතියකට එක් දිනක පැයක කාල සීමාවක් හෝ වෙන්කර තම නිවාස / කාර්යාල පරිශ්‍ර පරීක්ෂා කර එම ස්ථාන පිරිසිදු කිරීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙරට ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටී.

    මෙම මඳුරු මර්දන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, ජාතික සිවිල් ආරක්ෂක බලකාය සහ විවිධ ස්වේච්ඡා සංවිධාන විසින් විශාල සහයෝගයක් සෞඛ්‍ය අංශ වෙත ලබා දුන් බවත් එම සියලු දෙනාටමත් විශේෂයෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයටත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වශයෙන් සිය ස්තූතිය පුදකර සිටින බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

    පිලිපීන ජාතිකයාට වැලිගමදී පරදෙන වීඩියෝව පරණයි.

    0

    මෙරට සංචාරයක නිරතව සිටි පිලිපීන ජාතිකයෙකුට වැලිගම දී පහරදෙන අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන වීඩියෝව 2024 වසරේ පෙබරවාරි මාසයේදී සිදුවූවකට අදාල එකක් බවත් එම පහරදීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට පවා එකල ඉදිරිපත්කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කරයි.

    තමාට කළ පහරදීම සම්බන්ධයෙන් මෙරට සංචාරයකට පැමිණ සිටි එම පිලිපීන ජාතිකයා විසින් වැලිගම පොලිසියට 2024 වසරේ පෙබරවාරි 14 වෙනිදා පැමිණිල්ලක්ද කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    එම පැමිණිල්ලට අනුව කළ විමර්ශනයේදි පෙනි ගොස් ඇත්කේ මෙම විදේශිකයා සංචාරයක් සඳහා මෙරටට පැමිණ කැමරාවකින් ඔහු සිදුකරන ක්‍රියාකාරකම් පටිගත කරමින් වැලිගම ප්‍රදේශයේ සංචාරය කරමින් සිට ඇති බව යැයිද බුද්ධික මනතුංග මහතා සඳහන් කරයි.

    එබැවින් පෙර සිදුවිම් නැවත නැවත සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය කරවීමට කටයුතු කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් රට අපකීර්තියට පත් කිරිමට හෝ වෙනත් අරමුණකින් එසේ සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඔවුනට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇතැයිද බුද්ධික මනතුංග මහතා අවධාරණය කළේය.

    එසේ ඔහු සිදුකරන ක්‍රියාකාරකම් පටිගත කරමින් වැලිගම පැලෑන වෙරළ තිරයේ පිහිටි දිය මත ලිස්සායාම පුහුණුකරනු ලබන ස්ථානයකට ගොස් දර්ශන පටිගත කිරීමේදී එම ස්ථානයේ සේවකයෙකු ඊට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බවත් බුද්ධික මනතුංග මහතා පැවසීය. එහිදී ඇතිවූ ආරවුලක් මත මෙම විදේශීය ජාතිකයාට එම සේවකයා විසින් අතින් පයින් පහරදිමක් සිදුකර ඇතැයි අනාවරණය වී තිබෙන බවද ඔහු පැවසීය.

    මෙම පහරදීම සම්බන්ධයෙන් වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් 24 හැවිරිදි පැලෑනේ පදිංචිකරුවෙක් වූ සේවකයා අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ද ඉදිරිපත් කර ඇත. ඊට අදාල නඩු විභාගය ලබන සැප්තැම්බර් 11 වෙනිදා නැවත කැදවීමටද නියමිත බව බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

    මෙසේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණමය ක්‍රියාමාර්ග පවා ගෙන තිබියදී මෙන්ම පොලිසිය විසින් විමර්ශන පවත්වා නීතිමය පියවර පවා ගෙන තිබියදී පවා පැරණි වීඩියෝවත් මෑතකදී සිදුවූවක් ලෙස හුවා දක්වමින් යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් නැවත නැවත සංසරණය කරවීමට ක්‍රියාකර ඇති බව එම වීඩියෝව සම්බන්ධයෙන් කළ නිරික්ෂණයේදී පෙනී ගොස් ඇතැයි ද බුද්ධික මනතුංග මහතා පැවසීය.

    රන් පැහැති T56 අවියේ සැඟවුණු කතාව එළියට

    0

    හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී කාන්තාවන් දෙදෙනෙක් සමඟ අත්අඩංගුවටගත් රන් පැහැති ටී 56 අවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක් වන හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක විසින් ඔහුගේ නිවසේ සේවයකළ අරක්කැමියෙක් මගින් අත්අඩංගුවේ පසුවන කාන්තාවකට ලබාදී ඇති එකක් බව පොලිස් විමර්ශන වලින් හෙළිවී තිබේ.

    එම අරක්කැමියාවද පොලිසිය පෙරේදා (22) රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ සම්බන්ධයෙන් අරක්කැමියාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු බොහෝ තොරතුරු හෙළිකර ඇත.

    රුවන්වැල්ලේ හෝටලයක සේවයේ නිරතව සිටියදී ඔහුව අත්අඩංගුවටගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    මෙම ගිනි අවිය අදාල දේශපාලනඥයාගේ දැනුම්දීමකට අනුව සිය නිවසට රැගෙනවිත් භාරදෙනු ලැබුවේ මෙම අරක්කැමියා විසින් බවට අත්අඩංගුවේ සිටින කාන්තාවක් විසින් කළ හෙළිකිරීමකට අනුව අරක්කැමියා අත්අඩංගුවට ගෙන තිබේ.

    හැච්ලොක් සිටි නිවාස සංකීර්ණයට යාබද ප්‍රදේශයක පිහිටි නිවසක දුමින්ද දිසානායක රැදී සිටි නිවසක් ඇති බවත් අරක්කැමියා සේවයේ නිරතව සිට ඇත්තේ එම නිවසේ බවත් විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කිරීමත් සමඟ දිසානායක මහතා විසින් බෑග් දෙකක දමා මෙම ගිනි අවිය අරක්කැමියා අතට දී අදාල කාන්තාවගේ නිවසට ගොස් භාරදෙන ලෙස දැනුම්දී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

    තමා පාගමනින්ම හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ එලිබෑන්ක් ටවර් වෙත ගොස් එහි ඉහළ මහලක ඇති නිවසකට ගොස් එම බෑගය කාන්තාවට භාරදුන් බව ප්‍රශ්න කිරීම් හමුවේ අරක්කැමියා විසින් පවසා තිබේ.

    එම නිවස හිමි කාන්තාව 69 හැවිරිදි වියේ පසුවන්නියකි. ඇය සමඟ පොලිසිය ඇගේ පුතාගේ විවාහක බිරිඳ වන කසකස්තාන ජාතික කාන්තාවක්ද අත්අඩංගුවට ගත්තේය. ඒ ඉකුත් 20 වෙනිදා සවස් කාලයේදීය. එම කසකස්තාන ජාතික කාන්තාව අවුරුදු 40ක් වයසැති තැනැත්තියකි. ඇය සිය සැමියා සමඟ පදිංචිව සිටින්නේ පැලවත්තේ බව පොලිසිය සඳහන් කරයි.

    හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින්නේ 69 හැවිරිදි කාන්තාව පමණක් බවත් ඇගේ සැමියා නොමැති බව ද විමර්ශන වලින් අනාවරණය වී ඇත. ඇයට දියණියක් සිට ඇති අතර ඇය වසර කිහිපයකට පෙර හැවලොක් සිටි නිවාස සංකීර්ණයේ ඉහළ මහලකින් පැන සියදිවි හානිකරගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි. එම දියණිය වයස අවුරුදු 25කට අඩු තැනැත්තියක් බවත් පොලිසිය සඳහන් කරයි. රාත්‍රී සමාජ ශාලා වෙත යාමට මුදල් නොදීම හේතුවෙන් සිය මව සමඟ උරණ වී ඇය සියදිවි හානිකරගෙන තිබුණු බව පොලිස් විමර්ශන වලින් එකල කියැවිණි.

    නිවස හිමි 69 හැවිරිදි කාන්තාට ඇති ස්ථීර ආදායම් මාර්ගයක් ගැන තොරතුරු මෙතෙක් හෙළිවී නැති බවත් ඇය අදාල දේශපාලනඥයා සමඟ ඉතා කිට්ටුවෙන් සම්බන්ධකම් පවත්වා ඇති බව පෙනී යන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    පසුගිය 20 වෙනිදා ඇය සිය ලේලිය වූ කසකස්තාන ජාතික කාන්තාව සමඟ නිවාස සංකීර්ණයෙන් පිටව ගොස් ඇත්තේ බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක නැගීය. ඒ යන විට ඇය බෑගයක් රැගෙන විත් මෝටර් රථයේ ඩිකියට දමාගෙන ඇති බවද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. සිය පුතාගේ දරුවා චාරිකාවක් යාමට ඇදුම් ඇසුරාගැනීමට බෑගයක් තිබේනම් රැගෙන එන ලෙස තමාට පැවසූබවත් ඒ අනුව නිවසේ තිබුණු බෑගයක් තමා ලේලිය සමඟ රැගෙන ගිය බවත් ඇය ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. දරුවාට බෑගය ලබාදෙන විට ඒ තුළ මෙම ගිනි අවිය හමුවූ බවත් එය සෙල්ලම් භාණ්ඩයක් විය හැකි යැයි සිතා ගිනි අවිය ඩිකියේ තබා බෑගය දරුවන්ට දුන් බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබේ. අවිය මෝටර් රථයේ ඩිකියේ තිබියදී සුපිරි සාප්පු සංකීර්ණයකටද ඔවුන් දෙදෙනා ගොස් ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

    මෙම කාන්තාවත් කසකස්තාන් ජාතික ලේලිත් නැවත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයට පැමිණ ඇත්තේ සවස් කාලයේදීය. ඒ පැමිණි ඔවුන් මෝටර් රථය නිවාස සංකීර්ණයේ එලිබෑන්ක් ටවර් ගොඩනැගිල්ලෙහි රථ ගාලේ නතරකර ඇත. 69 හැවිරිදි කාන්තාවගේ දැනුම්දීමට අනුව ඩිකියේ තිබුණු ගිනි අවිය කසකස්තාන ජාතික කාන්තාව විසින් අතට ගෙන සෙල්ලම් බඩුවක් රැගෙන යන ආකාරයට මෝටර් රථය නතරකර තිබුණු ස්ථානයේ සිට විදුලි සෝපානය වෙත ගමන්කර ඇති බව පොලිසිය සඳහන් කළේය. මෙම ගොඩනැගිල්ලෙහි ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි ආරක්ෂකයින් අතර විශ්‍රාමික යුධ හමුදා සෙබලෙක් සිට ඇත. කසකස්තාන ජාතික කාන්තාව විසින් රැගෙන යමින් සිටි රන් පැහැති ටී 56 අවිය ගැන ඔහුට සැකයක් ඇතිවී තිබෙන බව පොලිසිය සඳහන් කළේය. ඇය එම ගිනි අවිය රැගෙන යන ආකාරයට අනුව තරමක් බරැති බව පෙනී ගොස් ඇති බැවින් ආරක්ෂක නිලධාරියා එම අවිය සැබෑ අවියක් විය හැකිබවට අනුමාන කරමින් කාන්තාවගේ අතවූ එම අවිය ගැන ප්‍රශ්නකර තිබේ. එහිදී ඔවුන් පවසා ඇත්තේ එය සෙල්ලම් අවියක් බවත් දරුවන් විසින් සෙල්ලම්කර වාහනයේ ඩිකියට එය දමා ඇති බව 69 හැවිරිදි කාන්තාව පවසා ඇති බව සඳහන්ය. එයින් සෑහීමට පත්නොවූ ආරක්ෂක නිලධාරියා එම අවිය
    තමා අතට ගෙන පරීක්ෂාකර බැලීමේදී එය සෙල්ලම් අවියක් නොව, සැබෑ ටී 56 අවියක් බව තහවුරු වී තිබේ. ඒ අනුව 21238644 අංකය දරණ එම ටී 56 අවිය සියභාරයටගත් ඔහු ඒ බව සිය උසස් නිලධාරීන් මගින් වැල්ලවත්ත පොලිසියට දැනුම්දීමට පියවර ගෙන තිබේ.

    වැල්ලවත්ත පොලිසියේ නිලධාරීන් හැවලොක් සිටි නිවාස සංකීර්ණයට පැමිණ ගිනි අවියත් සමඟ මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් ප්‍රශ්න කිරීමේදී පවා ඔවුන් මුලින් පවසා ඇත්තේ ගිනි අවිය සෙල්ලම් භාණ්ඩයක් බවය. රැදවුම් නියෝගයක් ලබාගෙන කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ 69 හැවිරිදි කාන්තාව පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයා වන හිටපු ඇමතිවරයා විසින් මෙම අවිය බෑග් දෙකක දමා සිය නිවසට ගෝලයෙක් අත එවූ බවය.

    මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්විය යුතු බැවින් වැඩිදුර පරීක්ෂණ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වෙත ඊයේ (22) දින භාරදීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    තවදුරටත් සාක්ෂි රැස් කිරීමකින් අනතුරුව ලැබෙන සාක්ෂිමත අදාල දේශපාලනඥයාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරනු ඇති බව ද එම නිලධාරියා කීය. මෙවැනි රන් පැහැති අවි බහුලව භාවිතා කරනු ලබන්නේ මැදපෙරදික කලාපයේ ජීවත්වන ධන කුවේරයන් බව ද එම නිලධාරියා පැවසීය.

    මෙම අවිය මැද පෙරදිගින් අදාල දේශපාලනඥයාට ලද එකක්ද විය හැකි බවටද සැක කරයි.

    වීරකැටියට කෝටි 200 ක කුඩු ආ හැටි

    0

    වීරකැටිය පොලිසිය අතුබෝදය ප්‍රදේශයේ කළ වැටලීමකදී ගරාජයක හිමිකරුවෙක් වන ටිංකිරින් කරුවෙක් සහ බේකරි කරුවෙක් සමඟ අත්අඩංගුවටගත් රුපියල් කෝටි 200ට අධික වටිනාකමක් ඇති හොරොයින් කිලෝ 101ක් අඩංගු පැකට් 92 රැගෙනවිත් ඇත්තේ ලොරි රථයක බද කොටසේ ඉතා සුක්ෂමව සඟවා බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

    එම ලොරි රථය සහ එම රථයේ මත්කුඩු තොගය අසුරා තිබුණු අයුරු දැක්වෙන ජායාරූප කිහිපයක්ද එක් සැකකරුවෙකුගේ ජංගම දුරකථනයේ තිබී පොලිසිය සොයාගෙන ඇත. ඒ ඔස්සේ මත්කුඩු තොගය අතුබෝදරට රැගෙන ආ ලොරි රථය සොයා විමර්ශන පැවැත්වෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    මෙම මත්කුඩු තොගය ඩුබායි හී රැදී සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකුට අයත් එකක් බවට තොරතුරු අනාවරණය වී තිබේ. මත්කුඩු තොගය සැගවූ ලොරිය අතුබෝදරට රැගෙන ආ අවස්ථාවේදී ඩුබායි සිටින ජාවාරම්කරු විසින් අවස්ථා කිහිපයකදීම සැකකරුවන්ට ඇමතුම් ලබාදී ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    මෙම මත්කුඩු තොගය සඟවා තිබී ඇති ස්ථානයේ බේකරියක් සහ ගරාජයක් සහ නිවසක් ඇති බව පොලිසිය සඳහන් කරයි. මත්කුඩු තොගය සඟවා තිබුනේ යැයි පොලිසිය ස ඳහන් කරනු ලබන්නේ නිවස තුළය. ටිංකරින්කරු සහ බේකරිකරු අවුරුදු 23 සහ 24 යන වයස්වල පසුවන්නන්ය. මෙම සැකකරුවන්ට සතියකට පමණ පෙර කොළඹ රැදී සිටින බව කියන ඔවුන් දන්නා කියන වීරකැටියේ පදිංචි පුද්ගලයෙක් දුරකථන ඇමතුමක් දී ලොරි රථයකින් යමක් එවන බවත් එය ආරක්ෂිතව සගවා තබාගෙන සිටින ලෙසත් පවසා ඇති බව සඳහන්ය. ඊට දින 04කට පසු ලොරි රථය නිවස ඉදිරිපිට ඇති බවට දුරකථන ඇමතුමක් දෙමින් අදාල පුද්ගලයා පවසා ඇති බව කියැවේ. එම ඇමතුමට අනුව ලොරි රථය අසලට ගිය විට එහි බදේ පිටතට නොපෙනෙන ලෙස මත්කුඩු තොගයක් අසුරා ඇති බව දුරකථන ඇමතුමකින්ම දැනගන්නට ලැබුණු බව සැකකරුවන් පොලිසියට පවසා ඇත. යුද්ධය පැවති සමයේදී එල්.ටී.ටී.ඊ.ය පිපිරවීම් සඳහා වාහන වල බදයේ පුපුරණ ද්‍රව්‍ය අසුරා තිබුණු ආකාරයට මෙම ලොරියේ මත්කුඩු අසුරා තිබී ඇති බව ඡායාරූප විමර්ශනයේදී පෙනී ගියේ යැයි පොලිසිය සඳහන් කළේය.

    ලොරි රථය නිවස වෙත පැමිණෙන තුරු ඒ තුළ ඇත්තේ මත්ද්‍රව්‍ය බව නොදැන සිටි බව සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීමේදී පවසා තිබේ. “බය වෙන්න එපා. ඕව කුඩු නෙමෙයි. පොලිසියට හවුඋනත් මුකුත් වෙන්නේ නැහැ“ යැයි මෙම මත්කුඩු තොගය සැඟවීමට එවූ පුද්ගලයා දුරකකථනයෙන් පවසා ඇත.

    ලොරි රථයකින් රැගෙන විත් සැඟවූ මෙම මත්කුඩු තොගය ගැන තොරතුරු ලැබී ඇත්තේ පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ කාර්යාංශයේ වීරකැටිය පොලිස් ස්ථානයේ සේවයේ නිරත නිලධාරියෙකුටය. ඒ පෙරේදා (21) රාත්‍රී කාලයේදීය. එම නිලධාරියා ඒ බව වීරකැටිය පොලිස් ස්ථනාධිපති දැනුවත් කිරීමෙන් අනතුරුව වැටලීම දියත්කර ඇත්තේ ඊයේ (22) අලුයම් කාලයේදීය. එම වැටලීමේදී සඟවා තිබූ හෙරොයින් තොගය හමුවූ බව පොලිසිය සඳහන් කළේය.

    පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක්ද ඊයේ වීරකැටියට පැමිණ අල්ලාගත් මත්කුඩු තොගය පරීක්ෂාවට ලක්කර ඇත. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සවස් කාලයේ පැමිණ විමර්ශන සිදුකර තිබුණි. ඒ මෙම මත්කුඩු සැබෑ ලෙසම මත්කුඩු දැයි තහවුරුකර ගැනීමටය.

    මෙම පරීක්ෂාවන්ගෙන් පසු සැකකරුවන් රැදවුම් නියෝග මත රදවාගෙන විමර්ශන පවත්වන අතර ලොරි රථය සහ රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ඊයේ සිට ක්‍රියාත්මකය. මෙම මත්කුඩු තොගය මෙම ස්ථානයට රැගෙනවිත් සැගවීමට අවශ්‍ය කටයුතු සම්බන්ධිකරණය කළ පුද්ගලයා කොටුකර ගැනීමටද විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේය.

    මහ බැංකුව පොලී අනුපාතික පහළ දමයි

    0

    මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට මහ බැංකුව තීරණය කර ඇත.

    මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ(21) දින පැවති සිය රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබිණි.

    දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.

    මෙම ලිහිල් කරන ලද  මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, ගෝලීය අවිනිශ්චිතතා සහ පවතින අඩු  උද්ධමන පීඩන මධ්‍යයේ උද්ධමනය 5%ක ඉලක්කය කරා ළඟාවීම සඳහා සහාය වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස බව මහ බැංකුව සඳහන් කරයි.

    19 තරුණිය දූෂණය කළ පොලිස් සැරයන්ට වූ දේ

    0

    වයස අවුරුදු 19ක තරුණියක් දූෂණය කළ පොලිස් සැරයන්වරයෙක් හඟුරන්කෙත පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    හඟුරන්කෙත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත මෙම පොලිස් සැරයන්වරයා 54 හැවිරිදි වියැතිය.

    රිකිල්ලගස්කඩවල පදිංචිකරුවෙක් වන මෙම සැරයන්වරයා මෙම අපරාධය සිදුකර ඇත්තේ ඊයේ (21) දිනයේදී බවත් ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවටගත් බවත් පොලිසිය සඳහන් කරෙයි.

    ඉඩම් ආරවුලක් ගොඩින් විසදන්න ලක්ෂ 05ක් ගන්න කොටම ඕ.අයි.සී. කොටු

    0

    ඉඩම් ආරවුලක් සමථයකට පත්කිරීමට රුපියල් ලක්ෂ 05ක අල්ලස් මුදලක් ලබාගත් වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුර පුෂ්පකුමාර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් ස්ථානයේ ඔහුගේ නිල කාමරයේදී මෙම අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිෂමේ විමර්ශන අංශයේ නිලධාරීන් ඊයේ (21) සවස අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

    ලක්ෂ 80 ක වංචාවට බැංකුවක 05ක් අල්ලයි

    0
    Man on the chair in Handcuffs. Rear view and Closeup ,Men criminal in handcuffs arrested for crimes. With hands in back,boy prison shackle in the jail violence concept.

    මහජන බැංකුවේ බණ්ඩාරවෙල ශාඛාවේ සිදුව ඇති රුපියල් ලක්ෂ 80කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණීජ අපරාධ විමර්ශන අංශය බැංකු සේවකයින් පස් දෙනෙක් ඊයේ අත්අඩංගුවට ගත්තේය.

    රුපියල් 8,054,513.07ක් වූ මෙම වංචාව සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකර වංචා කිරීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර සැකකාරියන් දෙදෙනෙක්ද සිටින්නීය.

    ඒ එක් කාන්තාවක් අවුරුදු 67ක් වයසැති විශ්‍රාමික බැංකු සහකාර කළමනාකාරීවරියකි. ඇය බණ්ඩාරගම පදිංචිකාරියක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දෙවැනි කාන්තාව සහකාර බැංකු කළමනාකාරියකි. අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ප්‍රාදේශීය කාර්යාලයේ සේවිකාවක් වන ඇය 58 හැවිරිදි වියැතිය. ඇයද බණ්ඩාරවෙල පදිංචිකාරියකි.

    තුන්වැන්නා බදුල්ල මුතියංගන ශාඛාවේ සේවයේ නිරතව සිටි 67 වියැති විශ්‍රාමික නියෝජ්‍ය කළමනාකරුය. ඔහුද බණ්ඩාරවෙල පදිංචිකරුවෙකි.

    සිව් වැන්නා දියතලාව ශාඛාවේ සේවයේ නිරතව සිටි බණ්ඩාරවෙල පදිංචිකරුවෙකි. 36 හැවිරිදි වියේ පසුවන බණ්ඩාරවෙල පදිංචිකරුවෙකි.

    පස් වැන්නා බණ්ඩාරවෙල ශාඛාවේ සේවයේ නිරතව සිටි විශ්‍රාමික කළමනාකරුය. වයස අවුරුදු 69ක් වන ඔහු හැලි ඇල පදිංචිකරුයෙකි.

    ලිංගික හිංසන සිදුවන ආකාරයට මහාධිකරණ විනිසුරුවරියට කෙටි පණිවුඩ යැවූ නීතීඥවරයා අල්ලයි

    0
    Man on the chair in Handcuffs. Rear view and Closeup ,Men criminal in handcuffs arrested for crimes. With hands in back,boy prison shackle in the jail violence concept.

    වයඹ පළාතේ මහාධිකරණයක විනිසුරුවරියකට ලිංගික හිංසනය වන ආකාරයේ කෙටි පණිඩුය යොමු කළ නීතීඥවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික පරිගණක අපරාධ විද්‍යාගාරයේ නිලධාරීන් විසින් ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම නීතීඥවරයා සමාජ මාධ්‍ය ඔස්සේ මෙම කෙටි පණිවුඩ යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    පනිරෙන්ඩාවේ පදිංචිකරුවෙක් වන මෙම නීතීඥවරයා අවුරුදු 60ක් වයසැති අයෙකි. මේ සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරිය විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා නීතිපති උපදෙස් මත අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

    සැකකාර නීතීඥවරයා අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.

    ව්‍යාජ වීසාවෙන් ප්‍රංශයට පනින්න හැදූ බංග්ලාදේශ ජාතිකයන් 06ක් කොටු

    0

    ව්‍යාජ ලෙස සකස් කළ වීසා මගින් මෙරට සිට ප්‍රංශය බලා යාමට සූදානම් වූ බංගලාදේශ ජාතිකයන් 06 දෙනෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොල ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (21) රාත්‍රියේදී අත්අඩංගුවට ගත්තේය.

    මෙම බංගලාදේශ ජාතිකයන් අතර කාන්තාවක්ද සිටින්නීය. ඇය 35 හැවිරිදි වියේ පසුවන්නියකි.

    සෙසු සැකකරුවන් අවුරුදු 33ත් 43ත් අතර වයස්වල පසුවන්නන්ය.

    සංචාරක වීසා මගින් මෙරටට පැමිණ ඇති ඔවුන් කටුනායක ගුවන් තොටුපොල ආසන්න ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිට ඇති බවද අනාවරණය වී තිබේ.

    මේ ආකාරයට යුරෝපීය රටවලට ඇතුළුවීමේ සූදානමින් මෙරටට පැමිණ රැදී සිටි බංගලාදේශ ජාතිකයන් රැසක් මෑත කාලයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.

    කසිප්පු පෙරන්න ඔරුවෙන් ගිය පුද්ගලයා කිඹුලෙක් ඩැහැගනී

    0

    ඔරුවක නැගී කලපුව හරහා ගමන් කළ පුද්ගලයකුව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව වාලච්චේන පොලිසිය සඳහන් කරයි.

    සුංගන්කේනි කලපුවේ සිට පුලිපංචිකල් කලපුවට තවත් අයෙක් සමඟ ඔරුවෙන් ගොස් බසින විට කිඹුලා ඔහුව ඩැහැගෙන ගොස් ඇත.

    පසුගිය 20 වෙනිදා සවස් කාලයේදී මෙම සිදුවීම වී ඇති බව පොලිසිය සඳහන් කළේය. කිඹුලා විසින් ඩැහැගෙන ගිය පුද්ගලයාගේ සිරුර ඊයේ (21) කලපුවේ තිබී හමුවී ඇත. සිරුරේ යට කොටස කිඹුලා විසින් කා දමා ඇතැයි පොලිසිය කියයි.

    මෙසේ කිඹුල් ප්‍රහාරයකින් මියගොස් ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවන සුංගන්කේනි හී පදිංචිකරුවෙකි. විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ ඔහු සහ අනිත් පුද්ගලයා පුලපංචිකල් කලපුව වෙත ගොස් ඇත්තේ නීති විරෝධි මත්පැන් පෙරීම සඳහා බවය.