fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිසේත් ආපස්සට ගන්නේ නෑ - ජනපති

    කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිසේත් ආපස්සට ගන්නේ නෑ – ජනපති

    කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි මහා නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට කියයි.

    එමෙන්ම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බව ද අද (27) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේ ජනාධිපතිවරයා සඳහන් කළේය.

    රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට සිදුවන හානිය අති විශාලය.

    එමෙන්ම රසායනික පොහොර ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 400කට අධික මුදලක් රජය වැය කරයි. විදේශීය ආයතන වෙත ඇඳී යන එම මුදල රටේ ගොවි ජනතාව වෙත ලබාදීමට කාබනික පොහොර භාවිතය මගින් හැකි වන බව ද ජනාධිපතිවරයා මහා සංඝරත්නයට පෙන්වා දුන්නේය.

    2015 ට පෙර රජයේ නිලධාරීන් තීරණ ගැනීමේදී පසුබට නොවීම නිසා කෙටි කාලයක් තුළ රට තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට හැකි වූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    එහෙත් එම නිලධාරීන් අසත්‍ය චෝදනා මත සිරගත වීම ඇතුළු විවිධ පීඩනයන්ට පසුගිය රජය සමයේ දී මුහුණ පෑමට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ වර්තමාන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් අනාගතයේ දී දඬුවම් විඳීමට සිදු වෙතැයි යන බියෙන් තීරණ ගැනීමට සහ ක්‍රියාත්මක වීමට මැලි වී ඇති බව සඳහන් කළේය. එම නිසා රට තුළ බොහෝ වැඩ කටයුතු අඩපණ වීම කණගාටුදායක තත්ත්වයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කරනු ලැබිණ.

    කොවිඩ් වසංගත මර්දනයට සාර්ථකව මුහුණ දෙමින් රටේ උන්නතිය උදෙසා ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියෝ ප්‍රසාදය පළ කර සිටියහ.

    කොවිඩ් මර්දනය සඳහා සිදුකෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිවරයා මහා නායක හිමියන් දැනුවත් කළේය. මහා නායක හිමියෝ සෙත් පිරිත් සඡ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ. මුතියංගණ රජමහා විහාරයේ භාරකාර ආචාර්ය පූජ්‍ය මුරුත්දෙණියේ ධම්මරතන හිමියෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    අනතුරුව, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන්, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ සංඝසභික ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල හිමියෝ, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිජූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන්‍, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය අතිපූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන්, ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල ස්වාමින් වහන්සේලා බැහැදැකගත් ජනාධිපතිවරයාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.