විදුලි කාන්දුවකින් පැලට ගිනි ඇවිලීමකින් මිය ගියේ යැයි කී පොළොන්නරුවේ මව්පුතු යුවලගේ මරණය මිනිස් ඝාතනයක් බව හෙළිවී ඇත.
මවට වෙඩි තබාද පුතාට පිහියෙන් ඇනද ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
මෙම ඝාතනය ඉකුත් 20 වෙනිදා සිදුව ඇත්තේ පොළොන්නරුව – හබරන – කිතුල් උතුව ගම්මානයේදීය. මව 45 වියැති අතර පුතා 13 වියැතිය. මෙම කාන්තාවගේ සැමියා නොමැති බව පොලීසිය කියයි. පැල් රැකීමට ගිය අවස්ථාවේදී පැලට ලබාගෙන තිබුණු අනවසර විදුලි රැහැනක ඇතිවුණු කාන්දුවකින් ගිනි ගැනීමක් ඇතිව ඔවුන් දෙදෙනා පිළිස්සී මිය ගොස් ඇතැයි මුලදී පොලීසිය සැක පහළ කළේය.
එහෙත් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍යවරයා පොලීසියට දැනුම් දී ඇත්තේ මවගේ සිරුරෙහි ෂොට්ගන් වර්ගයේ අවියකින් තැබූ වෙඩිල්ලක මූනිස්සම් කැට ඇති බවත් පුතාගේ සිරුරේ තියුණු ආයුධයකින් කළ පහරදීමක් දක්නට ලැබෙන බවත්ය.
ඒ අනුව පොලීසිය ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනයක් පවත්වා මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 24 හැවරදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම තරුණයා මෙයට වසරකට පමණ පෙර ඝාතනයට ලක්වූ කාන්තාවගේ නිවස බිද මුදල් හා දේපොල සොරා ගැනීමක් කර තිබේ. ඊට එම තරුණයාව පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර ඇත. මේ වන විට ඔහු සිටින්නේ ඇප මතය. ඔහු විටෙන් විට මෙම කාන්තාව සොයා පැමිණෙමින් පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නට බලපෑම් කරන බව හෙළිවී ඇත. එම කාන්තාව ඊට පෙර දිනයේ මෙම තරුණයා පැමිණී අවස්ථාවේදී බැන වැදී ඇති බවත් 19 වෙනිදා රාත්‍රියේ ඔහු බීමත්ව ගිනි අවියකුත් රැගෙන පැලට පැමිණ වෙඩි තබා ඇත්තේ ඒ අනුව බවත් පොලීසිය කියයි. වෙඩි තබන හඩින් පුතා ඇහැරී කෑගසන විට ඔහු පුතාට පිහියෙන් ඇන මරා ඔවුන් දෙදෙනාව පැලේ තිබුණු ඇදක් මත එකට තබා එම ඇද මෙට්ටයට ගිනි තබා ඇතැයි ද පොලීසියය කියයි. පසුදින ඔහු එතැනට පැමිණ බොරුවට දුක් වී අතැයිද හෙළිවී තිබේ.
තරුණයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සියල්ල හෙළිකරගත් පොලීසිය පිහිය මඩ වලකට විසිකර තිබියදීත් ගිනි අවිය නිවසේ සගවා තිබියදීත් සොයාගත් බව උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සදහන් කළේය.