මත්කුඩු ලෝලීන් යොදා ගෙන නිවාස සහ ආයතනවලට පැන දේපොල සොරාගැනීම්වල නිරතව සිටි අයගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා නාරාහේන්පිට පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
නාරාහේන්පිට උද්‍යාන පාරේ පිහිටි ප්‍රංශ පාසල සහ නිවසක් බිඳ දේපොල සොරාගැනීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී මෙම සැකකරු ගැන තොරතුරු හෙළිවී තිබේ.
මත්කුඩු සමඟ පසුගිය 12 වෙනිදා මත්කුඩු ලෝලීන් දෙදෙනෙක් පොලිසියට හසුවී ඇති බවත් අයගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ මෙහෙයැවීම මත ප්‍රංශ පාසල සහ නිවසකට ඇතුළු වී දේපොල සොරාගත් බව හෙළිවී ඇත්තේ ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම නිලධාරියා නාරාහේන්පිට පොලිස් ස්ථානයේ ද අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කලකට පෙර කටයුතු කර ඇති බවත් කුරුදුවත්ත පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කර ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
මෙම නිලධාරියා අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අයෙක් බව ද අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. ඔහු සමග අත්අඩංගුවටගත් සෙසු සැකකරුවන් දෙදෙනාද මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන් බව හෙළිවී ඇත.
නාරාහේන්පිට උද්‍යාන පාරේ පිහිටි ප්‍රංශ පාසල බිඳ රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමක් ලැප්ටොප් පරිගණක ඇතුළු දේපොල සොරකම් කිරීමක් සහ නිවසක් බිඳ රුපියල් ලක්ෂ එකහාමාරක් පමණ වටිනා දේපොල සොරකම් කර තිබේ.
මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු රාජකාරියේ නිරතව සිටියදී අයගමදී බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. නාරාහේන්පිට නිවසක් බිඳ සොරාගත් සියළු දේපොල ද ප්‍රංශ පාසලින් සොරාගත් භාණ්ඩ අතරින් එක් ලැප්ටොප් යන්ත්‍රයක්ද, වේරගොඩැල්ල, සේද මාවතේ පිහිටි නිවසකින් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.