ආණ්ඩුවට බහුතරය නොතිබුණු ගාල්ල මහ නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ (පොහොට්ටුව) සමඟ එක්ව පිහිටුවීමට ජාතික ජනබලවේගය (මාලිමාව) අද (20) කටයුතු කළේය.
ඒ අනුව ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති වශයෙන් ජාතික ජනබලවේගයේ හල්විටිගල ගමගේ සුනිල් මහතා රහස් ඡන්දයෙන් තේරී පත් වූ අතර නියෝජ්‍ය නගරාධිපති වශයෙන් හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා ඒකමතිකව තෝරා ගැණිනි.
මාලිමාව සහ පොහොට්ටුව එක්ව නගරාධිපති ධුරය ලබා ගැනීම හේතුවෙන් විපක්ෂයෙන් ඉදිරිපත් වූ සමගිජන බලවේගයේ මොහොමඩ් මවුසුප් මොහොමඩ් මහතා පරාජයට පත්විය.
කිසිම පක්ෂයකට 50%කට වැඩි නියෝජනයක් නොලැබීම හේතුවෙන් විශේෂ කොමසාරිස්වරි ලෙස කටයුතු කළ දකුණු පළාතේ පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (20) රැස්වූ නාගරික මන්ත්‍රීවරු තමන්ගේ නගරාධිපති තේරීමේ අවස්ථාවට එක්ව සිටියහ.
සමගි ජන බලවේගයේ මොහාමඩ් මවුසුප් මොහොමඩ් මහතා සහ ජාතික ජන බලවේගයෙන් හල්විටිගල ගමගේ සුනිල් මහතා ගේ නම් පමණක් මෙහිදී නගරාධිපති අපේක්ෂකයන් ලෙස නාම යෝජනා විය.
එම අවස්ථාවේ දී නගරාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම විවෘත ඡන්දයක් ලෙස පවත්වන්නේ ද රහස් ඡන්දයක් ලෙස පවත්වන්නේ ද යන්න තීරණය කිරීමේ දී ජාතික ජන බලවේගය රහස් ඡන්දයක් ඉල්ලා සිටි අතර අනිකුත් පක්ෂ විවෘත ඡන්දයක් ඉල්ලා සිටියේය.
මේ හේතුවෙන් විශේෂ කොමසාරිස් ඒ සඳහා නම් අඩගසා කොළයක තම මතය ප්‍රකාශ කරන ලෙස දන්වා සිටි අවස්ථාවේ රහස් ඡන්දයක් සඳහා බහුතරය ප්‍රකාශ විය.
රහස් ඡන්දයක් තබන්න යැයි සභිකයන් 19 යෝජනා කර තිබූ අතර සභිකයන් 17 ගේ යෝජනාව වූයේ විවෘත ඡන්දයක් තැබිය යුතු බවයි.
මේ අනුව රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්වයක් ඇති විය. සමගි ජන බලවේගයේ, එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු නැගිට හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු සමඟ බහින්බස්වීමක් ඇතිකර ගත්හ.
මේ අතර සභාව එකම ගාලගෝට්ටියක් වෙද්දී පොලිස් නිලධාරීන් ද කැඳවූ කොමසාරිස්වරිය සභාව විනාඩි 30කට කල් තැබුවාය. ඉන් අනතුරුව සභාව රැස්වූ අවස්ථාවේ දී සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂ සහ පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු සභාවේ සිටියේ නැත. ඡන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස පැවැත්විණි.
එහි දී ජාතික ජන බලවේගයෙන් නගරාධිපතිධූරයට තරඟ කළ සුනිල් ගමගේ මහතාට ඡන්ද 19ක් හිමි වූ අතර සමගි ජන බලවේගයේ නියෝජිතයාට කිසිදු ඡන්දයක් හිමිව තිබුණේ නැත. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප කෙරිණි. නගරාධිපති තෝරාගැනීමෙන් පසුව සභිකයෝ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ගාල්ල මහ නගර සභාවේ හටපු නගරාධිපතිවරයකු වූ ප්‍රියන්ත සහබන්දු මහතා ඒකමතිකව තෝරා ගත්හ.